පනත ආවාට පස්සේ විදුලි මාෆියාව දාන අමුතු සෙල්ලම

1895

ලංකා විදුලිබල මණ්ඩලය වෙනම රාජ්‍යයක් බවට පත්කර ගත් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීහු පවතින රාජ්‍ය පාලනයන්ට පවා අභියෝග කරමින් කලක සිට සමස්තය වනසා දමමින් සිටියහ.

අප දන්නා මහා ත්‍රස්තවාදියා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් එහා ගිය ත්‍රස්තවාදයක් එහිදී ඔවුහු රටේ ජනතාව වෙත මුදා හරින්නට වූහ. එසේ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීන් භිෂණය පතුරවන ආකාරය අපි අනේක වාරයක් මේ රටට පැහැදිලිවම අනාවරණය කළෙමු.

අප එය අරඹනු ලැබුවේ මහින්ද රාජපක්‍ෂයන් මේ රටේ ජනාධිපතිවරයාව සිටි කාලයේ පටන්ය. පැහැදිලිව කිවහොත් ඊට වසර දහයක පමණ අතීතයක් ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂයන්ට මෙන්ම ඉන් පසුව බලයට පැමිණි කිසිවකුටත් මේ ත්‍රස්තවාදයට තිත තබන්නට කොන්දක් තිබුණේම නැත.

ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීම වෙනුවට බලයට පැමිණි සියල්ලෝ කරනු ලැබුවේ බලය රැකගනු පිණිස පතෝල හැසිරීමක යෙදෙමින් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීන් නැලවීම වූහ.

අද දවසේ රට ඉදිරියේ ඇති විදුලි අර්බුදයට බලපෑ ප්‍රබලම හේතුව ලෙසද එය පෙන්වා දිය හැකිය. ගෙවී ගිය එම කාල සීමාව තුළ කලින් කලට විවිධ ඇමැතිවරු විදුලිබල මණ්ඩලය භාර ගත්හ. එසේ කිරීමෙන් පසු ජනතාව ඉදිරියට පැමිණි ඒ ඇමැත්තෝ කියන ලද සුරංගනා කතාද බොහෝය. එහෙත් විදුලිබල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය ඉදිරියේ ඔවුහු සියලු දෙනා හැසිරුණේ වලිගය පශ්චාත් භාගයේ ඔබා ගත් බයාදු සුනඛ පෝතකයන් පරිදි වූහ. එහෙත් එකී තත්ත්වය උඩු යටිකුරු කරන්නට ඉකුත් බ්‍රහස්පතින්දා වත්මන් විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කටයුතු කළේය. එහිදී ඇමැතිවරයා කරනු ලැබුවේ කුමක්ද?

මෙතෙක් කලක් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීන් රටේ ජනතා මුදල් සූරා කෑම පිණිස යොදා ගනු ලැබූ එක් ප්‍රධාන මෙවලමක් තිබිණි. එය වූයේ 2009 අංක 20 දරන විදුලිබල මණ්ඩල පනතය. විදුලි ඉංජිනේරුවන් කාලයක සිට පුනර්ජනනීය විදුලි උත්පාදනයට වැට බඳින ප්‍රධාන මෙවලමක් කරගත් විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට ලක්කර එය පාර්ලිමේන්තුවේ ගෙනවිත් සම්මත කරගැනීම තුළින් කංචන විජේසේකර එකී පරිවර්ථනය සිදු කරන අතරේ රටම බලා සිටියදී විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදයටද අත දිගහැර දරුණු කනේ පහරක් එල්ල කළේය.

විදුලිබල ඇමැතිවරයා ලෙස කංචන විජේසේකර මහතා එකී සංශෝධන පනත පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් මැයි මස 17 වැනිදාය. එතැන් සිට එයට එරෙහිව මතුවූ හඬ ඉතා ප්‍රබල එකක්ම විය.

කෙසේ වෙතත් එකී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ විවාදය සහ අවසන් ඡන්ද විමසීම සිදු කෙරුණේ ඉකුත් නවය වැනිදාය. ඊට පෙරදින එනම් 08 වැනිදා පාර්ලිමේන්තුව ඇමතූ කංචන විජේසේකර මහතා දැඩිව සඳහන් කරනු ලැබුවේ කෙසේ හෝ විදුලබල මණ්ඩල පනත රට ඉදිරියට රැගෙන එන බවය.

කංචන විජේසේකර ඇමැතිවරයා එසේ පවසද්දී භූමිතෙල් සහ ගැරඬි න්‍යායෙන් රඟන්නට වූයේ කවුරුන්ද? සියල්ලන්ට වඩා ඇමැතිවරයාට එහිදී ප්‍රතිචාර දක්වන්නට වූයේ විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීන්ය. වහා මාධ්‍ය හමුවක් කැඳවූ ඔවුහු විදුලිබල මණ්ඩල පනතට එරෙහිව 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් අරඹන බව පවසමින් රජයට අභියෝග කළහ.

තමන් වැඩවර්ජනය කිරීමෙන් පසු 09 වැනිදා පෙරවරුවේ සිට මුළු රටේම විදුලිය බිඳ වැටෙනු ඇතැයිද ත්‍රස්තවාදීහු පැවසූහ. සිය වැඩවර්ජනයට අදාළ ඉල්ලීම් කිහිපයක්ද එහිදී ඔවුන් ඉදිරිපත් කර තිබිණි. එකී ඉල්ලීම් වූයේ මොනවාද?

පනත ආවාට පස්සේ විදුලි මාෆියාව දාන අමුතු සෙල්ලම

තරගකාරී ලංසු ක්‍රමයකින් තොරව දේශීය අයෝජකයන්ට අවස්ථාවක් නොදී සුළං සහ සූර්ය විදුලි උත්පාදනය අදානි සමූහයට පැවරීම අත්හිටුවීම, තරගකාරී ලංසු ක්‍රමය අහෝසි කරමින් දූෂණයට මඟ පෑදීම නතර කිරීම, ලංවිම පුද්ගලීකරණය වෙත ඇද නොදැමීම සහ ලංවිම සභාපතිවරයා ඉවත් කිරීම ඔවුන්ගේ ඉල්ලීම් විය.

මෙහිදී සභාපතිවරයා ඉවත්කිරීම යන්න විදුලි ඉංජිනේරු ත්‍රස්තයන් සඳහන් කර තිබුණේ තම ඉල්ලීම අතර ඇති අවසාන ඉල්ලීම ලෙසය. එහෙත් සත්‍ය දන්නා විදුලිබල මණ්ඩලයේ ඇතැම් වෘත්තීය සමිති සඳහන් කරනු ලැබුවේ යෝජිත වැඩ වර්ජනයේදී විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ ලංවිම සභාපති එම්. සී. සී. ෆර්ඩිනැන්ඩු මහතා සභාපති ධුරයෙන් පන්නා දැමීම බවය.

ලංවිම සභාපති ෆර්ඩිනැන්ඩු මහතා විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදයට එරෙහිව ඍජුවම පෙනී සිටීම එසේ ඔහු ත්‍රස්තවාදයේ උදහසට ලක්වීමට ප්‍රබල හේතුවක් වී තිබිණි.

මේ අන්දමට සඳහන් කළ පරිදිම 08 වැනිදා මධ්‍යම රාත්‍රියේදී විදුලිබල මණ්ඩලය සිය උරුමයෙන් ලද බූදලයක් සේ පාලනය කරමින් සිටි ඉංජිනේරුවන් වර්ජනය අරඹනු ලැබූහ.

එහෙත් පසුදා එනම් 09 වැනිදා පෙරවරුව වන විට ඔවුන් සඳහන් කරනු ලැබුවේ ජනාධිපතිවරයා සමඟ පැවති දුරකථන සාකච්ඡාවකට අනුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවය. එහෙත් ඔවුන් එසේ පැවසුවද වැඩවර්ජනය අවසන් කිරීමක් සිදු කෙරුණේද?

කිසිසේත්ම නැත. ඇතැම් විදුලි ඉංජිනේරුවන් මෙරට විදුලි පද්ධතියේ සමබරතාව බිඳදමද්දී 09 වැනිදා හිමිදිරියේ සිට රට පුරා තැන තැන විදුලිය ඇනහිටීම් සිදුවිය. ඒවා යථා තත්ත්වයට පත්වූයේ බොහෝ කාලයක් ගෙවී යෑමෙන් අනතුරුවය.

මෙසේ රටේ විදුලිය බෙදා හැරීමේ පද්ධතියේ සමබරතාව බිඳ වැට්ටවීම යනු මොවුන් කලක සිටම රට තුළ විදුලි අර්බුදයක් ඇති කිරීම සඳහා භාවිත කරන එක් නින්දිත උපක්‍රමයකි. එකී නින්දිත බව එදිනද ඔවුහු ප්‍රදර්ශනය කළහ. එය වැඩවර්ජනය අත්හැරීමක් යැයි කිව හැකිද?

මේ අතරේ කිසියම් තවත් කාලකණ්ණි ත්‍රස්තවාදියකු ප්‍රධාන ඉංජිනේරුවකු යටතේ පාලනය වන ලක්‍ෂපාන බලාගාරය අක්‍රීය කිරීමටද පියවර ගෙන තිබිණි. මෙගවොට් 340 කින් යුතු එම බලාගාරය යළි ක්‍රියාත්මක වූයේ 09 වැනිදා මධ්‍යහ්නය වන විටය. එසේම රන්ටැඹේ සහ රන්දෙණිගල ජලාශවල ජල විදුලිය උත්පාදය සඳහා තිබූ ජලය නිකරුණේ මුදා හැරීමට තවත් මුග්ධයකු ක්‍රියා කරනු ලැබීය.

මේ සියලු මුග්ධ ක්‍රියාකාරකම් පිළිබඳව පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලිව සඳහන් කිරීමට කංචන විජේසේකර ඇමැතිවරයා කටයුතු කළේය. මෙහිදී ඇමැතිවරයාට කිවයුතුව ඇත්තේ හෙළිකිරීමෙන් පමණක් නොනැවතී එසේ කඩාකප්පල්කාරී ලෙස ක්‍රියාකළ වුන්ට වහා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි යන්නය.

මේ කඩාකප්පල් වැඩ සියල්ල සිදුවූයේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වැඩවර්ජනය අත්හිටුවූවේ යැයි රටට කියද්දීය. මේ අන්දමට රටේ විදුලිය උත්පාදනයට ඇති ජලාශවල ජලය හිස් කරමින් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීහු සමස්ත ශ්‍රී ලාංකික රට වැසියන්ගෙන් පලි ගනිද්දී ඒවා දැනගත් ඇතැමුන් මුහුණු පොතේ අපූරු සටහන් රැසක් තැබීමටද පියවර ගෙන තිබිණි. එහිදී ඇතැම්හු සමහර විදුලි ඉංජිනේරුවන්ගේ ඡායාරූප පවා යොදාගෙන ඔවුන්ගේ දුරකථන අංකද සමඟ ලක්‍ෂ ගණනින් ලබා ගන්නා වැටුප සඳහන් කරමින් විරෝධය පළ කරන්නට වූහ. මේ අතර මුහුණු පොතේ සටහනක තවත් අයකු විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදයට විරෝධය පළ කර තිබුණේ වවුලන් ලෙස විදුලි රැහැන්වල පැටලී අඟුරු වී මියැදෙන්නේ විදුලි ඉංජිනේරුවන් බව සඳහන් කරමිනි.

අත්හිටුවූ වර්ජනයක් තුළ රටේ ජලාශ සිඳී යද්දී ජනතා කෝපය ඇවිලී තිබුණේ එසේය. ඒ අනුව බලන කල විදුලි ඉංජිනේරුවන් යැයි කියා ගන්නා සියල්ලන් ලැජ්ජා විය යුතුය. නිදහස් අධ්‍යාපනයෙන් උගෙන එතරම් ජනතා උදහසකට සහ උපහාසයට ලක්වන තැනට කටයුතු සිදුවීම මොනතරම් නින්දාවක්ද?

එහෙත් මේසා කාලයක් විදුලිබල මණ්ඩලය තුළ සිටිමින් රටත් ජනතාවත් සූරා කෑ මොවුන්ට ලැජ්ජාවක් තිබේදැයි යන්න නම් සැක සහිතය. කෙසේ වෙතත් මොකා මොන දේ සිදු කළද විදුලිබල ඇමැතිවරයා ලෙස කංචන විජේසේකර මහතා සිය ඉලක්කයට ගමන් කරද්දී මේ මොහොත වන විට කිසිදු සංශෝධනයකින් තොරව විදුලිබල මණ්ඩල පනත පාර්ලිමේන්තුවේදී සම්මත වී අවසන්ය. ඉතිහාසයේ පළමු වතාවට විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය පරාජයට පත්ව දැන් සිටින්නේ වර්ජන තහනම් කෙරුණු අධිකරණ නියෝගයක්ද පැවතීම හේතුවෙන් කූඥ්ඤය ගැලවූ වඳුරාගේ තැනට ඇද වැටීය.

තත්ත්වය එසේ තිබියදී මේ මොහොතේ සම්මත වූ විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් කියැවෙන කතාද බොහොමයක් ඇත. ඒ සම්බන්ධයෙන් එක් තැනකදී හිටපු බලශක්ති ඇමැති උදය ගම්මන්පිල සඳහන් කර තිබුණේ එකී පනත සම්මත වීම යනු නංගි පෙන්වා අක්කා දීමක් වැනි යැයි කියාය. මේ හමුවේ ඇමැතිවරයා දෙස බලා අපට නම් කියන්නට ඇත්තේ විදුලිබල මණ්ඩලය තුළ පැවති ත්‍රස්තවාදයේ තරම අනුව නංගි පෙන්වා අක්කා නොව ආච්චිව දුන්නත් කමක් නැතැයි කියාය. මන්ද සිදු වෙමින් තිබුණු විනාශය සහ විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය හමුවේ මේ රටේ සමස්ත ජනතාව සිදුවූ විනාශය නංගි පෙන්වා අක්කා දෙනවට වඩා අතිශය දරුණුය. පුනර්ජනනීය බලශක්තිය අද මේ රටට අත්‍යවශ්‍යය. අපේ විදුලි ඉල්ලුම අනුව ගැටලුවකින් තොරව ඉදිරියට යෑමට නම් එකී ව්‍යාපෘති නියත වශයෙන්ම ක්‍රියාත්මක විය යුතුව ඇත. විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය පනතක් මුලට ගෙන හැමදාමත් වැට බැන්දේ එකී වැඩපිළිවෙළටය.

ඔවුන් එසේ කළේ කුමක් නිසාද? විදුලි අර්බුදයක් මතු වෙද්දී විදුලිබල මණ්ඩලයට හැමදාමත් සිදුවූයේ හදිසි විදුලිය මිලදී ගැනීම් වෙනුවෙන් පෞද්ගලික ඩීසල් බලාගාර වෙත යොමුවන්නටය.

පනත ආවාට පස්සේ විදුලි මාෆියාව දාන අමුතු සෙල්ලම

මෙකී පෞද්ගලික ඩීසල් බලාගාරවල හිමිකරුවන් හෝ කොටස් හිමියන් වී සිටියෝ කවරහුද? පැන්ෂන් ගිය සහ අදටත් මණ්ඩලය තුළ සිටින ඇතැම් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදීහුය. ඔවුන් පුනර්ජනනීය බලශක්තියට එරෙහිව සටන් කළේ රට වෙනුවෙන් නොව එකී පෞද්ගලික ඩීසල් බලාගාර නමැති තම වස්තුව රැකගෙන රට සූරා කෑම පිණිසය.

එනිසා මුලින්ම පවතින ප්‍රශ්නයට විසඳුමක් සොයාගෙන ඉදිරියට එන ගැටලුවට ඒ මොහොතේදී විසඳුමක් සෙවීම වඩාත් උචිත නොවන්නේද?

පාර්ලිමේන්තුවේදී සම්මත වූ මේ පනත සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අද කියන්නේ අදාළ පනත මඟින් තරගකාරී මිලට විදුලිය මිලදී ගැනීම අහෝසි කර තමන් කැමැති පුද්ගලයාට ලබාදී කැමැති ගණනකට විදුලිය මිලදී ගැනීමට ගන්නා උත්සාහයක් මේ තුළ පවතින බවකි. තරගකාරී මිල ගණන් යටතේ අඩුමිලට විදුලිය ලබාගෙන අඩුමිලට ජනතාවට ලබා දීමට මෙතෙක් කටයුතු කෙරුණු බවක්ද සංගමය පවසයි. ඉංජිනේරු සංගමය මෙසේ සඳහන් කරද්දී අපට මතුවන ගැටලුවක් ඇත. එය වනනේ ඔවුන් මෙතෙක් කලක් අඩු මිලට විදුලිය මිලට ගෙන අඩුවට දුන්නේ කාටදැයි යන්නය. ඇතැම්විට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඔවුන් එසේ අඩු මිලට විදුලිය දුන්නා විය හැකිය. මන්ද එසේ කර හෝ කීයක් හරි සාක්කුවට දාගත හැකි නම් විදුලිබල මණ්ඩලය පරම්පරා ගණනකට සරිලන සේ සූරා කෑ මේ පුත්තු එය කරන්නට කිසිසේත්ම පසුබට වනනේද නැත. මේ රටේ ජනතාවට නම් ඔවුන් කියන පරිදි අඩු මිලට ලැබුණු විදුලියක් නැත. හැමදාමත් රටේ ජනතාවගේ හිස මතට මාසිකව පහත් වූ දැවැන්ත බරක් වූයේ විදුලි බිලය. එය ගෙවා ගන්නට නොහැකිව ප්‍රමාද වී විදුලිය කපා දමන්නට මණ්ඩලය එද්දී පොලියට ගෙන විදුලි බිල ගෙවූ මිනිස්සු මේ රටේ අනන්තවත් ජීවත් වන්නාහ.

එසේම සියයට තුන්සියයකින් විදුලි බිල වැඩි කළ යුතු යැයි කංචන විජේසේකර ඇමැතිවරයාට ඉකුත් දිනවල යෝජනා කරනු ලැබුවේ මෙසේ රටට අඩුවට විදුලිය දුන්නේ යැයි කියන අයියලාමය. රටේ වාසනාවට ඒ ඉල්ලීම තවමත් කැබිනෙට්ටුවට ඉදිරිපත් නොකොට සාක්කුවේ දමාගෙන සිටින්නට කංචන විජේසේකර ඇමැතිවරයා පියවර ගෙන ඇත.

විදුලි බිල වැඩි කිරීම පසෙක තබා උත්පාදන වියදම අවම කරනු පිණිස ඇමැතිවරයා ගමන් කළේ පුනර්ජනනීය බලශක්තිය වෙතට රට අරන් යෑමේ මාවතේය. එය දකින ඉංජිනේරු ත්‍රස්තයන් තවත් ආකරයකට ඩොලර් ගණනක සඳහනක්ද කරමින් කියන්නේ මන්නාරමේ සුළං බලාගාර ඉන්දියාවේ අදානිට දෙන්න යන්නේ යැයි කියාය.

ඉංජිනේරු ත්‍රස්තවාදය විදුලිබල මණ්ඩලයට අත්කරන ලද ඉරණම දෙස බැලීමේදී අපට නම් මෙහිදී පැහැදිලිවම කියන්නට ඇත්තේ මන්නාරමේ සුළං ඉන්දියාවේ අදානිට නොව මොකාට දුන්නත් ගැටලුවක් නැතැයි කියාය.

වසර ගණනාවක සිට විදුලිබල මණ්ඩලය සිය ග්‍රහණයට ගනිමින් විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදය රටත් ජනතාවත් හිරි වට්ටවමින් ඇති කරන ලද පීඩනය තරම් අවැඩක් ආණ්ඩුව එසේ කිරීම තුළින් ඇති නොවනු ඇතැයි අද මේ රටේ මිනිසුන්ගේ සිතුවිල්ල වී අවසන්ය.

විදුලි ඉංජිනේරු ත්‍රස්තවාදියනි, නුඹලා විදුලිබල මණ්ඩලයට සහ රටටත් ජනතාවටත් අත්කර දුන් විනාශය ඒ තරමටම අප්‍රසන්නය, පිළිකුල්ය, නින්දිතය, මුග්ධය. අතිශය කාලකණ්ණිය.

ඒ තත්ත්වය තුළ නුඹලාට ශාප වේවා කියනු හැර මේ රටත් ජනතාවත් වෙනුවෙන් වෙන කියන්නට දෙයක් අපට නැත. යම් ආකාරයකට අනාගතයේදී ගැටලුවක් නිර්මාණය වුවහොත් එයටද ඍජුවම වගකිව යුත්තේ මෙතුවක් කල් විදුලිබල මණ්ඩලය සූරා කෑ නුඹලාමය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment