පනත සංශෝධනයට පෙර නීතියට යටින් රිංගා යන කොටි ව්‍යාපාරිකයෝ

544

කොටි නැව හිමි වින්නන්, සිමෙන්ති ව්‍යාපාරික සුන්දරයිස්, පෝසිලේන් ව්‍යාපාරික මාකි සහ මෝදර සේකර් මුදාහැරියේ කවුද?

ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකුට සහ පවුලේ අයට කැනඩා සංචාරයක්ද ලැබිලා

තවත් කොටි ත‍්‍රස්තයන් 27 කට නිදහස

49 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට දින 31ක් තිබියදී රජය විදේශ තානාපතිවරු කැඳවා වසර 43කට පසු ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කරන බව පවසනු ලැබීය. මේ ත‍්‍රස්ත මර්දන පනතේ නිර්මාතෘ කවුද? ඒ හිටපු නීතිපති සිවාපසුපතියි. ත‍්‍රස්තවාදී කටයුතුවල යෙදුනු අයට දඬුවම් කිරීමේ අරමුණින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නියෝග මත සිවාපසුපති කෙටුම්පත් කළ ත‍්‍රස්ත මර්දන පනත සඳහා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණද සහය පළකරනු ලැබීය.

එහෙත් කොටි සංවිධානයේ ත‍්‍රස්තයන් බිහිසුණු ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මානව හිමිකම් නමැති අතිශයින්ම ලාභදායක රැකියාවේ යෙදෙන පිරිස ත‍්‍රස්ත මර්දන පනත අහෝසිකර ගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධාන වල සහය පැතූහ. ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හා යුරෝපා සංගමය සහ ඇමරිකානු රජය සහ ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් – හියුමන් රයිට්ස් වොච් ඇතුළු කොටි හිතවාදී සංවිධාන ත‍්‍රස්ත මර්දන පනතට එරෙහි වුණි. 2002 දී රජය සහ කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් ඇතිවීමත් සමඟ රජය ලවා ත‍්‍රස්ත මර්දන පනත අත්හිටුවාගැනීමටද කොටි ත‍්‍රස්තවාදීන්ට හැකිවිය. ඉන්පසු ප‍්‍රභාකරන් දෙහිවල පොලිසියේ ත‍්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂක තාබ්‍රෙව් වෙඩිතබා මරාදැමීමට ත‍්‍රස්තයෙක් යොදවනු ලැබීය.

2009 දී කොටි ත‍්‍රස්ත සංවිධානය පරාජය වීමත් සමඟම අත්අඩංගුවට ගනු ලැබූ ත‍්‍රස්තයන් 160කට අධික සංඛ්‍යාවක් දේශපාලන සිරකරුවන් ලෙසට ද්‍රවිඩ සන්ධානය ප‍්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන විසින් හඳුන්වනු ලැබීය.

මේ පසුබිම මැද ත‍්‍රස්තමර්දන පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විදේශ රටවල් යහපාලන රජයෙන් කළ ඉල්ලීමට එකඟත්වය පළවිය.

එසේ වුවත් ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවීමත් සමඟම එම එකඟතාවය අහෝසි විය. එහෙත් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත දැඩි බලපෑම් කළ කොටි ඩයස්පෝරාව දිගින් දිගටම වත්මන් රජයට කියා සිටියේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවයි. පාස්කු ප‍්‍රහාරය තුළින් ත‍්‍රස්තමර්දන පනතේ වැදගත්කම රජයට අවබෝධවීම නිසා තවදුරටත් එම පනත පවත්වාගෙන යෑමට රජය කි‍්‍රයාකළේය. මෙවන් පසුබිමක් මැද ත‍්‍රස්තමර්දන පනතට සංශෝධන ගෙනඒමට රජයට සිදුවිය. එසේම රැඳවුම්භාරයේ සිටි කොටි ත‍්‍රස්තයන් 10ක්ද රජය නිදහස් කරනු ලැබීය. එසේ වුවත් වසර 13ක් තිස්සේ ඇපදීමකින් තොරව රැඳවුම්භාරයේ පොලිස් අධිකාරිවරයකුද සිටින බව හෙළිවිය. එම දහතුන් වසරක දිගු කාලයක් තිස්සේ රැඳවුම්භාරයේ සිටි ඔහුට ඇප ලබාදීමක් සිදුනොවූ අතර මේ පොලිස් අධිකාරිවරයා සමඟ වැලිකඩ රැඳවුම් බන්ධනාගාරයේ සිටි කොටි ත‍්‍රස්ත නායකයන් රැසක් නිදහස් විය.

සේරා අම්මාන්, ප‍්‍රදීප් මාස්ටර්, කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන් මාස්ටර් පමණක් නොව ගුවන් යානාවකට මිසයිල ප‍්‍රහාර එල්ල කළ තබෝරූබන්ද නිදහස් විය. එසේම දුටුතැන අල්ලනු සහ රතු වරෙන්තු ප‍්‍රකාශයට පත්වී ඉන්ටර්පෝල් වරෙන්තුකරුවන් 120ක්ද යහපාලන රජය යටතේ ශ‍්‍රී ලංකා පොලිසියට අවශ්‍ය නොකරන අය ලෙස නිදහස් විය. මෙවන් පසුබිමක් මැද රජය පසුගිය ජනවාරි 21දා ත‍්‍රස්ත මර්දන පනත සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව ත‍්‍රස්තමර්දන පනතට ඇතුළත්වන සංශෝධන මෙසේය.

  1. ත‍්‍රස්ත සැකකරුවකු රඳවාගන්නා කාලසීමාව මාස 18 සිට මාස 12 දක්වා අඩුකෙරේ.
  2. මෙකී සැකකරුවන් ආරක්‍ෂා සහිතව සිටින බවට සනාථ කරගැනීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානය වෙත මහෙස්ත‍්‍රාත්වරුන්ට පැමිණීම සඳහා අවසර ලබාදීම
  3. ප‍්‍රතිකර්මයක් සඳහා ඉල්ලීම් කිරීමට රැඳවියකුට ඉඩදීම
  4. රිමාන්ඞ් භාරයේ හෝ රැඳවුම්භාරයේ සිටින සැකකරුවකු වෙත පිවිසීම සඳහා නීතිවේදීන්ට අවසර දීම
  5. එම සැකකරුවන්ට ඥාතීන් සමඟ සන්නිවේදනයේ යෙදීමට ඉඩදීම
  6. රැඳවියන් වධදීමට ලක්ව නොමැති බවට තහවුරු කිරීම සඳහා ඔවුන්ව අධිකරණ වෛi නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට ඉඩදීම
  7. රැඳවියන්ට එරෙහි නඩු විභාග දිනපතා පැවැත්වීමට කටයුතු කිරීම
  8. සිරභාරයේ හෝ රැඳවුම්භාරයේ සිටින සැකකරුවන්ට ඇප ලබාදීම

1974 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙලෙස සංශෝධනය කිරීමට රජය කටයුතු කළත් රැඳවුම්භාරයේ සිටින කොටි ඒ කෙරේ අකැමැත්තක් දක්වා ඇත්තේ වසර ගණනාවක් තිස්සේ කොටි ඩයස්පෝරාව සැපයූ අරමුදල් අහිමිවන නිසාය.

බන්ධනාගාර වෙළෙඳසැලෙන් තමන්ට අවශ්‍ය සියලූ භාණ්ඩත් පවුලේ අයගේ නඩත්තුව සඳහා අරමුදල් ලබාදීමද ගතවූ වසර කිහිපය මුළුල්ලේ සිදුවිය. එම අරමුදල් ලබාදී ඇත්තේ ඇතැම් ද්‍රවිඩ නීතිවේදීන්ගේ මාර්ගයෙනි.

මෙලෙස ත‍්‍රස්තමර්දන පනත සංශෝධනය කිරීම සඳහා රජයට දැඩි බලපෑම් එල්ල වූයේ රහස් පොලිසියේ සහ ත‍්‍රස්තමර්දන ඒකකයේ ඇතැම් නිලධාරීන්ගේ නොහික්මුණු කි‍්‍රයාදාමයක් නිසාය.

ඒ බව සනාථ වූයේ ත‍්‍රස්තමර්දන නිලධාරීන් සහ රහස් පොලිස් නිලධාරීන් කෲර වධහිංසා පැමිණවූ බවට ජාත්‍යන්තරයට සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් වීමයි. ත‍්‍රස්තමර්දන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ හිටපු පොලිස් පරීක්‍ෂකවරයකු තමාට දරුණු වධහිංසා පැමිණ වූ බවට පොලිස් අධිකාරිවරයකු මානව හිමිකම් කවුන්සිලයට දැනටමත් පැමිණිලි කර තිබේ. තමාගේ සිරුරේ ස්ථාන 32ක් දැල්වූ සිගරට් කොටවලින් පිළිස්සූ බවද ඔහු එම පැමිණිල්ලේ දක්වා ඇත. ඊට අමතරව රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා වධදුන් බවටද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහෙත් පුදුමයට කරුණ නම් එම රහස් පොලිස් නිලධාරියාට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමයි. ඔහුගේ නම වධකයන්ගේ ලේඛනයට ඇතුළත්ව තිබූ අතර එය එකවරම අහෝසිවිය.

පොලිසිය සහ ත‍්‍රස්තමර්දන ඒකකය සැකකරුවන්ට සිදුකළ වධහංසා ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරු ලබාදීමට සිදුවූයේ වත්මන් රජයටය.

මෙලෙස චෝදනා එල්ලවූ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යහපාලන රජය ජිනීවාහි සමුළුවකට යවනු ලැබූ අතර ඔහු අත්අඩංගුවට ගන්නැයි රාජ්‍ය නොවන සංවිධානයක් කළ ඉල්ලීම ව්‍යාර්ථ වූයේ එම පොලිස් නිලධාරියාට මුක්තිය හිමිවීම නිසාය. එහෙත් හිටපු ත‍්‍රස්තමර්දන නිලධාරීන් 19කට එරෙහිව වධහිංසා පැමිණවීමේ චෝදනා එල්ලවී ඔවුන්ගේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සටහන්වී තිබේ.

මෙම තත්ත්වය මත රැඳවියන්ව සෑම මසකට එක් වරක් බැගින් බැලීමට මහෙස්ත‍්‍රාත්වරයකුට හැකිවේ.

මෙතෙක් පැවැති නීතිරීති යටත් කොළඹ වරාය අසබඩ ත‍්‍රස්තමර්දන ඒකකයේ රඳවා තිබූ ත‍්‍රස්ත සැකකරුවන් බැලීමට මහෙස්ත‍්‍රාත්වරුන්ට ඉඩලැබුණේ නැත. එසේම ත‍්‍රස්තමර්දන නිලධාරීන්ගේ තීරණ මත බලගතු කොටි පවා නිදහස් කෙරුණි. එම කොටි නිදහස් වූයේ කෙසේද යන්න රජය පවා නොදනී. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුශාන්තන් මාස්ටර් මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට එවනු ලැබීය. ඔහුව බූස්ස කඳවුරට යැවීමෙන් පසු වැලිකඩ රැඳවුම් ඒකකයට එවනු ලැබීය. එහෙත් ගුශාන්තන්ට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොවී නිදහස් කෙරුණි. නිදහස්වූ ගුශාන්තන් සිය ඥාතීන් සිටින ප‍්‍රංශයට ගියේය. කටුනායක, වව්නියාව සහ කොළඹ බෝම්බ දැමීමට සම්බන්ධ ගුශාන්තන් නිදහස් වූයේ කෙසේ දැයි ත‍්‍රස්තමර්දන බලධාරීහු අදවනතුරු හෙළිකළේ නැත. ඔහු සමඟ මැලේසියාවේදී අත්අඩංගුවට පත් යුද හමුදාවේ කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ජ් මෙහොමඞ්ද නිදහස් විය. ඔහු කොටින්ගේ ටොසි බුද්ධි සේවාවේ ඔත්තුකරුවකු විය.

මැලේසියාවේ සිටි හිටපු ත‍්‍රස්තමර්දන ඒකකයේ නිලධාරියකු ක්වාලම්පූර් නගරයේදී කපිතන්වරයා දුටුවේය. මේ නිලධාරියා ත‍්‍රස්තමර්දන ඒකකයේ සේවය කළ අයකු බව කපිතන් දැනසිටියේ නැත. තමා ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ගෙන් නිදහස් වූ අයුරු ඔහු ත‍්‍රස්තමර්දන නිලධාරියාට හෙළිකළේය.

මේ අයුරින් ජිනීවාහිදී හිටපු ත‍්‍රස්තමර්දන පොලිස් නිලධාරියකු අපි දුටුවෙමු. ඔහුට ජිනීවා ඒමට මගපෑදුවේ කෙසේදැයි අනාවරණය වූයේ නැත. මෙවන් පසුබිමක් මැද ත‍්‍රස්තමර්දනය මුවාවෙන් එහි සිටි ඇතැම් නිලධාරීන් දූෂිත ගනුදෙනුවල යෙදුණේද?

ත‍්‍රිකුණාමලයේ කොටි ත‍්‍රස්ත නායකයාවූයේ පදුමන්ය. ඔහුගේ නියම නම පදුමන් නොවේ. එහෙත් ත‍්‍රස්තමර්දන ඒකකය ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ පදුමන් නමිනි. අධිකරණය ඇමතූ පදුමන් තමාගේ නම සුබ‍්‍රමනියම් වර්ධනාදන් බව පැවැසීය. හමුදා කඳවුරු රැසකට ප‍්‍රහාර එල්ලකර සෙබළුන් මරාදැමීමේ චෝදනා ඔහුට එල්ලවී තිබුණි.

පදුමන් කළ ප‍්‍රකාශය අධිකරණය පිළිගෙන ඔහුව 2013 සැප්තැම්බර් 17දා නිදහස් කරනු ලැබීය. මෙහිදී නැගෙන ප‍්‍රශ්නය නම් ත‍්‍රස්තමර්දන ඒකකය පදුමන්ගේ් නියම නම නොදැන සිටි බවද? පදුමන් නිදහස්වීමෙන් පසු විදේශගත විය. මේ අයුරින් කොටි සංවිධානයට නැව් සැපයූ ව්‍යාපාරිකයෙක් ත‍්‍රස්තමර්දන අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු ත‍්‍රස්තමර්දන ඒකකයේ සේවය කළ උසස් නිලධාරියකුගේ සමීපතම සගයකු විය. මාස කීපයකට පසු එම ව්‍යාපාරිකයා නිදහස් විය. ඔහු නිදහස් වූයේ කෙසේදැයි අද වනතුරු කිසිවෙක් දන්නේ නැත.

පනත සංශෝධනයට පෙර නීතියට යටින් රිංගා යන කොටි ව්‍යාපාරිකයෝ

මින් තහවුරුවූයේ ත‍්‍රස්තමර්දන පනත වාසිදායක තත්ත්වයක් ඇතිකලේ ත‍්‍රස්තමර්දන ඒකකයේ ඇතැම් නිලධාරීන්ට බවයි. එම ව්‍යාපාරිකයාට නිවසින් ආහාර පාන ගෙන්වා ගැනීමටද උසස් නිලධාරීන් අවසර දී තිබූ බවද අනාවරණය විය. මේ අයුරින් අයිසිස් සැකකරුවෙක් ත‍්‍රස්තමර්දන ඒකකය අත්අඩංගුවට ගනු ලැබුවත් රහස් පොලිසියේ නිලධාරියකු එම අයිසිස් කි‍්‍රයාකාරියාගෙන් ප‍්‍රශ්න නොකර මුදාහරින ලෙස නියෝග කරනු ලැබීය.

මහින්ද රාජපක්‍ක්‍ෂ පාලන සමයේදී සහ මෛත‍්‍රීපාල සිරිසේන සමයේ සිදුවූ මේ සිදුවීම් ගැන නිසි විමර්ශන සිදුවූයේ නැත. මෙවන් පසුබිමක් මැද නව සංශෝධන යටතේ රැඳවියන්ට ඇප නියම කිරීමේ වගන්තියක් මෙතෙක් පනතට ඇතුළත්වී නොතිබුණි.

මෙලෙස රජය ත‍්‍රස්තමර්දන පනතට නව සංශෝධන ඉදිරිපත්කිරීම ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගේ කනස්සල්ලට හේතුවක් වී ඇත. මේ එන්ජී ඕ කල්ලිය රජයෙන් ඉල්ලා සිටියේ ත‍්‍රස්තමර්දන පනත සහමුලින්ම අහෝසි කරන ලෙසයි. එහෙත් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ඊට එකඟවූයේ නැත. මේ පනත අහෝසි කළා නම් යම් ලෙසක ත‍්‍රස්ත කි‍්‍රයා ඇතිවුවොත් ත‍්‍රස්තයන් අත්අඩංගුවට ගැනීමට සිදුවන්නේ සාමාන්‍ය නීතිය යටතේය. රජය ත‍්‍රස්තමර්දන පනතට සංශෝධන ගෙන එන බවට විදේශ තානාපතිවරු හමුවේ පැවසුවත් ස්විස් රජය සහ නවසීලන්ත රජය පොලිසියට පුළුල් බලතල ලැබෙන අයුරින් ත‍්‍රස්තමර්දන පනත් සම්මත කර ඇත. ඒ ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ මේ පනත් පිළිබඳව විමර්ශනයක් හෝ එම පනත් අහෝසිකරන ලෙස එම රටවල්වලට ප‍්‍රකාශ කර නැත.

මේ අතර ත‍්‍රස්තමර්දන ඒකකය රඳවාගෙන සිටි කොටි ත‍්‍රස්තයන්ට ආධාර කළ ව්‍යාපාරිකයන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකර නිදහස් කිරීමේ සිද්ධීන් රැසක් අනාවරණය විය. මින් එක් අයෙක් වූයේ නැව් අයිතිකරු වින්නන්ය. එසේම ඔහුට මදුරු දැලක් මෙන්ම මදුරු කොයිලයක්ද සපයා තිබුණි. වින්නන්ගේ සහය මත ත‍්‍රස්තමර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානියකු පවුලේ අය සමඟ කැනඩාවේ සංචාරයකද යෙදුණි.

වින්නන්ට අමතරව කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත්වූ කොළඹ සිමෙන්ති ව්‍යාපාරික සුන්දරයිසන්ද පෝසිලෙන් භාණ්ඩ ව්‍යාපාරික මාකි කොටින්ගේ කළු සල්ලි ජාවාරම්කරුවකුවූ මෝදර සේකර්ද අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් විය.

එහෙත් එවකට පොලිස්පති හෝ රහස් පොලිස් ප‍්‍රධානියාට හෝ ආරක්‍ෂාව භාර ඇමැතිවරයාට මේ රහස් තොරතුරු වාර්තා වූයේ නැත. ත‍්‍රස්තමර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානීන් දෙදෙනකුට කොටි ත‍්‍රස්තයන්ව තමන්ට අවශ්‍ය පරිදි නිදහස් කිරීමට හැකිවූයේ සැකකරුවන්ව නඩු පැවරීමකින් තොරව දිගු කලක් රඳවාගැනීම සඳහා ත‍්‍රස්තමර්දන පනත යටතේ නෛතික බලය ලැබීම නිසාය.

මෙලෙස අප විශේෂයෙන් :ැංජකිමසඩැ) හෙළිකරන මේ තොරතුරු ත‍්‍රස්තමර්දන පනත අහෝසිකරව් යනුවෙන් මරහඬනගන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ට පවා හෙළිවූයේ නැත. මේ පසුබිම මත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් හත්දෙනෙක් රජය වෙත සංදේශයක් එවමින් ත‍්‍රස්තමර්දන පනත අත්හිටුවන ලෙසට උපදෙස් දෙනු ලැබුවත් එම ඉල්ලීම ඉටුකළේ නැත.

ඊට සමගාමීව යුරෝපා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරමින් ත‍්‍රස්තමර්දන පනත සංශෝධනය කරන ලෙසද පවසා තිබුණි.

මෙම පනත ද්‍රවිඩයන් මර්දනය කිරීම සඳහා යොදාගෙන ඇති බවට රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ප‍්‍රචාරයක් දියත්කර තිබූ අතර ඊට ප‍්‍රතිචාර දැක්වීමට රජය අසමත්විය. මේ අතර කොටි මර්දනය කිරීමට ත‍්‍රස්ත මර්දන පනත කෙටුම්පත් කළ ශිවා පසුපනි ඔස්ටේ‍්‍රලියාවේදී කොටි සංවිධානයට බැඳුණි.

ප‍්‍රභාකරන් ඔහුව අන්තර්වාර පාලන කෙටුම්පත සකස්කිරීමට යොදාගත්තේය. ඔහු පසුව හිටපු මානව හිමිකම් කොමාසාරිස් නවිපිල්ලේ වෙත සංදේශයක් යවමින් යුද්ධය නිසා උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව දුක්විඳින බව කියා සිටියේය. මෙවන් පසුබිමක් මැද යහපාලන රජය මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස පත්කළ අමිබිකාසකුනාදන් නැමැත්තිය ඇමරිකානු කොංග‍්‍රසය හමුවට ගොස් ත‍්‍රස්තමර්දන පනත ද්‍රවිඩයන්ට එරෙහිව භාවිත කරන බවට පැමිණිලි කළාය. ඇය වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ විසින් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් ලෙස පත්කරනු ලැබීය.

ශ‍්‍රී ලංකා රජය ත‍්‍රස්තමර්දන පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට පෙර ඩොලර් අරමුදල් ලබන එන් ජී ඕ කණ්ඩායමක්ද විදේශ අමාත්‍යාංශයට ගෙන්වා තොරතුරු හෙළිකළේය. කලූපහන පියරත්න භික්‍ෂුව, මහාචාර්ය ටී. ජයසිංහම්, විශ‍්‍රාමික රදගුරු ආසිරි පෙරේරා, මහාචාර්ය ටියුඩර් පෙරේරා, සී. ජී. ජයකුමාර් පියනම, හිල්මිඅහමඞ්, රෝහණ හෙට්ටිආරච්චි, වී.කමලාදාස්, ජෝ විලියම්ස්, එස්. විමලගුණරත්න, දයානි ප‍්‍රනාන්දු, විශාකා ධර්මදාස, ජෙහාන් පෙරේරා, සහ ජාවිඞ් යුසුප් යන පිරිස රජය සමඟ සාකච්ඡාවට එළැඹී ඇත. මෙහිදී නැගෙන බරපතළ ප‍්‍රශ්නය රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ ත‍්‍රස්ත මර්දන පනත ගැන සාකච්ඡා කිරීමට මොවුන් කවුද යන්නයි. මින් ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරා නමැත්තා කොටි ත‍්‍රස්තවාදීන්ට අත්වාරු ලබාදීමට කි‍්‍රයාකර තිබුණි.

මේ අතර පසුගිය යහපාලන රජය කොටුවේ මහ බැංකු බෝම්බ පිපිරීමේ නඩුවේ අටවැනි සැකකරුවූ කන්දයියා ශ‍්‍රී ගනේෂ්ද ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලේඛනයෙන් ඉවත්කිරීමට කි‍්‍රයාකර තිබුණි. ඔහුද එම බිහිසුණු ඝාතනයට වරදකරුවිය. චෝදනා 52කට වරදකරුවී වසර 200ක සිරදඬුවමක් ඔහුට නියම විය. එහෙත් ඔහු මේ ලිපිය ලියන මොහොත දක්වා ඔහු අසුවූයේ නැත. එසේම යහපාලන රජය ඉන්ටර්පෝල් මුළු ලැයිස්තුවම අහෝසි කිරීමට නිසා මහ බැංකු ඝාතනයේ වරදකරු කන්දයියා ගනේශ්ද නිදහස් විය. ත‍්‍රස්ත මර්දනපනත යටතේ රතු වරෙන්තු නිකුත් කර තිබූ කාන්තිලිංගම් පේ‍්‍රමරාජි හෙවත් රෙජිද නිදහස් වූයේ රතු වරෙන්තු ලැයිස්තුව අහෝසි වීමෙනි.

මෙම පසුබිම මැද ත‍්‍රස්තමර්දන පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා රජය විදේශ තානාපතිවරු කැඳවූවත් ස්විස් රජය සම්මත කළ ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිව ශ‍්‍රී ලංකා රජය අභියෝග කළේ නැත.

පනත සංශෝධනයට පෙර නීතියට යටින් රිංගා යන කොටි ව්‍යාපාරිකයෝ

මෙම ස්විස් ත‍්‍රස්ත මර්දන පනතින් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට ස්විස් පෙඞ්පෝල් පොලිසියට වැඩි බලතල හිමිවිය.

මෙකී පනතින් සිවිල් පුරවැසියන්ගේ හිමිකම් වලට තර්ජනයක් එල්ල වන බවට එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ කියා සිටියත් ස්විස් රජය පැවසුවේ පනතට එකඟවූයේ ජනතාව බවයි. එසේම ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතියට අනුකූල නැතැයි මානව හිමිකම් නියෝජිත නීල්ස් මෙල්සර් සඳහන් කළ අතර ස්විස් රජය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

එසේ වුවත් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනත ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුකූලව සකස්විය යුතු යැයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට කියා සිටියේය. එම තත්ත්වය මත ස්විස් ත‍්‍රස්ත මර්දන පනත ජිනීවා නුවර සිටින 1971 කැරැල්ලේ කැරළිකරු සුනන්ද දේශපි‍්‍රය හෙවත් රංජි මල්ලිටද බලපායි. එහෙත් මේ කැරලිකරුවා ඊට එරෙහි වී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment