පන්තියේ හොඳම ළමයා ගැන ජනාධිපති මහින්දගේ හෙළිදරව්ව

177

පසුගිය සතිය පාර්ලිමේන්තුව පැවැත්වුණු සතියක් නිසා අපේ මැති ඇමැතිවරු කාර්යබහුලව සිටියහ. සියල්ලන්ටම වඩා කාර්යබහුල වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. මේ සතියේ යෑමට නියමිතව තිබූ ජපානයේ හා සිංගප්පූරුවේ නිල සංචාරය නිසා ජනාධිපතිවරයාටත් ඊට පෙර ලහි ලහියේ ඉටුකර යන්නට තිබූ වැඩ කොටස නම් පුංචි පටු නොවීය.

ජපන් සංචාරය යෙදී තිබුණේ අඟහරුවාදා අලුයමය. ඊට කලින් සිදු කරන්නට වැඩ රාජකාරි බොහෝමයකි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු ආසන බල මණ්ඩල රැස්වීම් ද ගණනාවකි. ගම්පහ, ගාල්ල, මාතර ප්‍රදේශවල ආසන බල මණ්ඩල රැස්වීම් පමණක් නොව, මාධ්‍ය වැඩමුළු කිහිපයක්ද තිබූ අතර ඒවාට පක්ෂයේ සභාපති වජිර අබේවර්ධනට හා ජාතික සංවිධායක සාගල රත්නායකට සහභාගි වන ලෙස පක්ෂ නායකයා උපදෙස් දී තිබිණි. එහෙත් මහනායක ස්වාමීන් වහන්සේ දෙනම හමුවන්නට යොදාගෙන තිබූ හමුවීම සඳුදා දිනයේ තමන් ම සහභාගි වී අවසන් කරන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

සඳුදා හවස කැබිනට් මණ්ඩල රැස්වීම හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සුපුරුදු පරිදි රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කැබිනට් මණ්ඩලය එතරම් දුරදිග ගිය දීර්ඝ සාකච්ඡාවක් නොවීය. එහෙත් ඉන්පසුව පැවැත්වුණු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම නම් තරමක් දුරදිග ඇදෙන, කාරණා කාරණා සාකච්ඡා වන දිගු එකක් වනු ඇතැයි පෙනෙන්නට විය.

● ලයිට්බිල අඩු කරන්න
ජනක – කංචන සටන

සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට පෙර බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, චාමර සම්පත්, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිස ආ ගිය තොරතුරු පිළිබඳ කතාබහක නිරත විය.

“අපිට වැඩිපුර පාස්පෝට් එකක් අරන් දෙන්න බැරිද?” කිසිවකු අරුන්දිකගෙන් ඇසුවේ විහිළුවටය.

“ඇයි මොකද මම දන්නෙ නැහැ” අරුන්දික කීය.

“අනේ ඇමැතිතුමා බොරු කියන්න එපා. අර පාස්පෝට් කේස් එක මොකද්ද?” ශෙහාන් සේමසිංහ පැහැදිලි කළේය. පසුව අරුන්දික එම සිද්ධිය පැහැදිලි කළේය.

අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ විය. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පසුගිය බදාදා පැවැත්වීමට නියමිත බැවින් මෙවර කණ්ඩායම් රැස්වීමේදී එම විවාදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කළේය.

“ලයිට් බිල අඩු කිරීම සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරල දැනට මාසයක් වෙනවා. තවම මහජන උපයෝගීතා කොමිෂන් සභාව රැස්වෙලා නැහැ. මේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රශ්න තියෙනවා. මේ කොමිසම ආපහු රැස්වෙන්න තියන්නේ ජුනි 1 වැනිදා. මෙයා තියාගෙන ඉන්න එක ඉස්සරහටත් ලොකු ප්‍රශ්නයක් වේවි.” ඇමති කංචන පැහැදිලි කළේය.

“එදාට ඔක්කොම උදෙන්ම පාර්ලිමේන්තු එන්න. අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නව දැක්කම ජනකට උදව් කරනවද එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට උදව් කරනවද කියල විපක්ෂ නායකතුමාට තීරණයක් ගන්න වේවි. ” ජනාධිපතිවරයා කීය. මෙවර මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම කෙටි වේලාවකට සීමා විය.

● ජනාධිපති රනිල් ගැන
වජිරගේ වර්ණනාව…

සිංගප්පූරුවේ හා ජපානයේ නිල සංචාරයක් අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා අලුයමින් ම රටින් පිටව ගියේය. පළමුව සංචාරය කළ යුතුව තිබුණේ සිංගප්පූරුවේ වුවත් එහිදී ඔහුට බලාපොරොත්තු වූ පරිදි සිංගප්පූරු අගමැතිවරයා හමු වන්නට නොහැකි විය. අගමැතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී පැවති බැවින් ඔහු වෙනුවෙන් පැමිණි විශේෂ නියෝජිතයකු ලෙස එරට නීතිය හා ස්වදේශ කටයුතු භාර අමාත්‍ය කේ. ෂම්මුගම් මහතා මුණගැසෙන්නට සිදුවිය.

සිංගප්පූරුවේ රාජකාරි අවසන් වූ පසුව ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේ ටෝකියෝ නුවර පැවැත්වෙන සාකච්ඡාව වාර ගණනාවකටම සහභාගි වීමට බලාපොරොත්තු ඇතිවයි. එරට හිටපු අගමැතිවරු කීපදෙනෙකුම මුණගැසෙන්නට ජනාධිපතිවරයාට හැකි විය. ජපාන අගමැති ෆුමිඕ කිෂිඩා හමු වූයේ ඉන්පසුවය. දෙරට අතර නායකයන්ගේ සාකච්ඡා සාකච්ඡාව ඉතා ප්‍රතිඵලදායී වූ බව වාර්තා විය. ජපන් ණය ප්‍රතිව්‍යුහගත කරන ව්‍යාපෘතිය ගැන රාජ්‍ය නායකයන් දෙදෙනා ගේ සාකච්ඡාව වඩාත් සතුටුදායක වී තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විශේෂ ඉල්ලීමක් වූයේ ජපානයෙන් ලංකාවට ලබාදුන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ යළි සලකා බලන ලෙසයි. ණය ප්‍රතිව්‍යුහගත කරන ව්‍යාපෘති ආරම්භ වීමත් සමග නැවත මෙරටට එම ව්‍යාපෘතිය ලබාදීම සම්බන්ධයෙන් ජපන් අගමැතිවරයාගේ ප්‍රතිචාරය සතුටු දායක විය.

ජනාධිපති රනිල්ගේ ටෝකියෝ සංචාරයේ තවත් එක් අරමුණක් වූයේ “නික්කෙයි” සමුළුව ආමන්ත්‍රණය කිරීමයි. එහිදී ජනාධිපතිවරයා ආසියාව මුහුණ දෙන ප්‍රධාන කරුණු තුනක් අභියෝග ලෙස පෙන්වා දෙමින් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය. මෙම සාකච්ඡාවට කලාපීය රටවල් රාශියක රාජ්‍ය නායකයෝ හා නියෝජිතයෝ සහභාගි වී සිටීම විශේෂත්වයක් වූහ. ඒ බොහෝ රාජ්‍ය නායකයන් හා නියෝජිතයන් සමග ද්වීපාර්ශ්විකව සාකච්ඡා කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් හැකිව තිබිණි.

මෙම විදේශීය සංචාරය අතරතුර වුවත් සෑම විටම රනිල් වික්‍රමසිංහ පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන හා මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරට කතා කළේය. ඔවුන් දෙදෙනා වෙත පැවරුණු වගකීම් හා රාජකාරි රාශියක් ද තිබිණි. රට පුරා තැනින් තැන පවත්වන්නට යොදාගෙන තිබූ වැඩමුළු හා ආසන බල මණ්ඩල රැස්වීම් ගැන ජනාධිපතිවරයාගේ ලොකු උනන්දුවක් තිබිණි. ඔහු නිතර කථා කොට උපදෙස් දුන්නේ ඒවායේ සාර්ථකත්වය ලබා ගැනීම සම්බන්ධයෙනි.

මේ අතර පසුගිය දිනක එජාප සභාපති වජිර අබේවර්ධන ඇතුළු නායකයන් පිරිසක් දිවුලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට ගොස් සිටියේය. රුවන් විජයවර්ධන, පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක, ශාන්තිනී කෝන්ගහගේ ඇතුළු පිරිසක් ද ඊට පැමිණ සිටියහ. අපේ රටේ තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැති කර, පැය 24ම විදුලිය ලබාදී ජනතාවගේ දැවෙන ප්‍රශ්න ගණනාවක් විසඳන්නට ජනාධිපතිවරයා මහන්සි වූ හැටි මතක් කර දෙමින් වජිර කතා කළේය. රනිල් වික්‍රමසිංහ නම් අභිමානවත් නායකයා මේ සියලු අර්බුදවලට විසඳුම් හෙව්වේ මොළයෙන් ගේමක් දෙමින් බව පැහැදිලි කළ වජිර එහිදී තම නායකයා ගැන හරි අපූරු කතාවක් කීවේය.

“ඕගොල්ලෝ දන්නවා මේ රටේ පහළ වෙච්ච රාජ්‍ය නායකයෝ හැම කෙනෙකුටම වගේ මොකක් හරි තමන් කැමති ක්‍රීඩාවක් තිබුණා. ජේ. ආර්. ජනාධිපතිතුමා කැමති ක්‍රීඩාව රගර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා පාපන්දුවලට කැමතියි. එතකොට ඩී. එස්. සේනානායක මැතිතුමා කැමති අශ්වයෝ පදින්න. හැබැයි අපේ නායකතුමා ඔය එකකටවත් කැමැති නෑ. එතුමා ක්‍රිකට් ගැහුවෙත් නෑ. ඒ වෙනුවට එතුමා මොළෙන් ගහන ක්‍රීඩාවක් තෝරාගත්තා. ඒ තමයි චෙස්. චෙස් කියන්නේ මොළේ නැති මිනිස්සුන්ට සෙල්ලම් කරන්න බැරි වෙනමම ගේම් එකක්. සුපිරි මොළකාරයෝ විතරයි ඒව සෙල්ලම් කරන්නේ.

අපේ නායකතුමා රට සම්බන්ධයෙනුත් කළේ මොළේ පාවිච්චි කරලා ගහන ගේම් එකක්. වෙන කාටවත් බැරි වෙච්ච දේ එතුමා කරලා පෙන්නුවේ එකයි.”

වජිර එහිදී සභාව අමතා කරනු ලැබූ කතාව රැස්ව සිටි කා අතරත් ආකර්ෂණීය විය.

● කාගේත් හිසරදය
චම්පිකගේ පක්ෂය

පාඨලී චම්පික රණවක පසුගිය සතියේ කා අතරත් කතාබහට ලක් ලක් වූ ආකර්ෂණීය චරිතයක් විය. ඒ අතර බොහෝ දෙනකුගේ හිසරදයටද පසුගිය සතියේ ඔහු ලොකු හේතුවක් විය.

ඊට හේතුව පසුගිය සතියේ ඔහු ආරම්භ කළ අලුත් පක්ෂයයි. එක්සත් ජනරජ පෙරමුණ නමින් මේ පක්ෂය නම්කර තිබූ අතර චම්පිකගේ නායකත්වයෙන් කලක් තිස්සේ ක්‍රියාත්මක වූ 43 සේනාංකය එහි පදනම ලෙස ක්‍රියා කළහ. පක්ෂයේ එළිදැක්වීමේ උත්සවය පැවැතියේ විසිදෙවෙනි සඳුදා හවස මහරගම තරුණ මධ්‍යස්ථානයේ ය. තෝරාගත් උගත් බුද්ධිමත් ගිහිපැවිදි ප්‍රභූන් පිරිසකට පමණක් මේ සඳහා ආරාධනයක් කර තිබීම විශේෂත්වයකි. කරු ජයසූරිය, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, හර්ෂ ද සිල්වා වැන්නවුන් පවා ඒ අතර සිටියහ.

චම්පිකගේ මෙම පක්ෂය බිහි වීමත් සමගම සමගි ජන බලවේගය ඇතුළාන්තයේත් ලොකු විසංවාදයක් හටගත් බව බැහැර කළ නොහැකි සත්‍යයකි. යම්කිසි තෝරාගත් පිරිසක් සමගි ජන බලවේගයෙන් ද ඔහු සමඟ එක්වන බවට යම් යම් සාක්ෂි දැකගත හැකි විය.

මේ අතර පසුවදා චම්පික පාර්ලිමේන්තුවේ ආලින්දයේ සහෝදර විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග වර්තමාන දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවක සිටියේය…

“ඇමරිකානු ඩොලරය දැන් රුපියල් 300 දක්වා පහත බැහැල තියෙනවා. අනිත් පැත්තෙන් බලන්න ලෝකයේ බොරතෙල් මිල. බොරතෙල් බැරලය ඩොලර් 70 දක්වා පහළ බැහැලා. ඒ වුණාට මේ ආණ්ඩුව ඒකෙ සහනය ජනතාවට දීලා තියෙනවද. නැහැ. ආණ්ඩුව ඩොලරය අඩුවීමේ සියලු වාසි ගන්නවා. ජනතාවට ප්‍රතිලාභ ලබාදෙන තාමත් ඩොලරය රුපියල් 400ට වැඩියෙන් තියෙනවා වගේ. ” මේ අයුරින් චම්පික පෙන්වා දෙමින් සිටියේ නිසි කළමනාකරණයක් වෙතොත් මේ වන විට ජනතාවට බොහෝ වාසි සහ වරප්‍රසාද අත්පත් කර දිය හැකි බවයි.

● විමල්ගෙ පොත ගැන
මාධ්‍යයේ කතාබහක්

අරගලයේ ඇත්ත කතාව පහදමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ලියූ “නවය සැඟවුණු කතාව” මේ දිනවල සමාජයේ කතාබහට ලක්වූ කාරණාවක් විය. මේ ගැන පසුගිය බදාදා රාත්‍රියේ එක්තරා විශේෂ කතිකාවක් ඇතිවිය.

ජාතික නිදහස් පෙරමුණ විසින් කොළඹ බගතලේ පාරේ මැනෝරා හෝටලයේ සංවිධානය කර තිබූ මේ කතිකාවතට රටේ ප්‍රවීණ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් රැසකටම ආරාධනා කර තිබිණි. මහාචාර්ය ටියුඩර් වීරසිංහ සාකච්ඡාවේ මුලසුන ගත්තේය. විමල් වීරවංශ, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ, ජයන්ත සමරවීර, මුසම්මිල් ඇතුළු පිරිසක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පැමිණ සිටි අතර බෙනට් රූපසිංහ, ගාමිණි සුමනසේකර, ධර්මන් වික්‍රමරත්න, සුදර්මන් රදලියගොඩ, ආරියනන්ද දොඹගහවත්ත, කාංචන දසනායක, ඩිල්කා සමන්මලී ඇතුළු මාධ්‍යවේදීන් ද සියයකට ආසන්න පිරිසක් මේ සඳහා පැමිණ සිටියහ.

සංවාදයේදී මෙම පොත ලියන්නට පාදක වූ කරුණු ගැන විමල් ලොකු පැහැදිලි කිරීමක් කළේ අවස්ථා සම්බන්ධයන්ද ගලපමිනි. පොත ලියැවෙන ලෝක සමාජ ආර්ථික දේශපාලන පසුබිම ගැන ටියුඩර් වීරසිංහ ගේ අදහස් දැක්වීම ඉතාමත් අර්ථසම්පන්න විය. ලිබරල් ධනවාදය පරාජය කරමින් ගෝලීය ධනවාදයේ සිට මූල්‍ය ධනවාදය දක්වා ලෝකය පැමිණ ඇති ගමන ගැන මහාචාර්ය ටියුඩර් පැහැදිලි කළේය. ආදරණීය අරගලයේ ඇත්ත කතාව විමල් ලියා තිබුණේ රට සමාජය හා රටේ ජනතාව එම මූල්‍ය ධනවාදයේ අනිවාර්ය අකාරුණික ප්‍රතිඵල නොඅඩුව භුක්ති විඳින සමාජ දේශපාලන පසුබිමකය.

කතිකාව ඉතා ශාස්ත්‍රීයව හා උණුසුම්ව ටික වෙලාවක් ඇදී ගිය අතර අවසානයේ එක් ප්‍රශ්නයක හිරවී සියල්ල නතර විය.

දැන් අපි මොකද කරන්නේ, කවුද අපට මගපෙන්වන්නේ, කවුද අපේ නායකයෝ…? යන ප්‍රශ්නයට නිශ්චිත උත්තරයක් එම අවස්ථාවේ නොවීය. විමල් කීවේ එය සොයාගෙන යන ගමනේ ආරම්භය මෙතනින් පටන් ගමු කියාය…

ශාස්ත්‍රීය සාකච්ඡාව අවසන් වී රාත්‍රී සුහද සාදය ආරම්භ විය. මාධ්‍යවේදීන්ට හා හිතවත් දේශපාලනඥයන්ට හුඟ කලකින් හමුවී උණුසුම්ව කතාබහ කරන්නට එය කදිම අවස්ථාවක් වූයේ ය.

● මහජන උපයෝගිතාවට
මන්ත්‍රීවරු පිල් බෙදීමක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය හා ඡන්ද විමසීම නිසාවෙන් ඉකුත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේ පැවතියේ දැඩි උණුසුම් තත්ත්වයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද රටේ නොසිටි බැවින් පාර්ලිමේන්තු විවාදය හා ඡන්ද විමසීම සම්බන්ධ සියලු බර පැටවී තිබුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග ඇතුළු කිහිප දෙනෙකුගේ කර මතය.

“දුර බැහැර ඉන්න අපේ මන්ත්‍රීවරුන් හෙට කොහොම හරි ගෙන්න ගන්න ඕන. ඒ වගේම අපේ අය පාර්ලිමේන්තුවේ තියා ගන්නත් ඕන.”

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ නිලධාරීන්ට කලින් දවසේ කී ඇමැති ප්‍රසන්න ඉන් නොනැවතී මැති ඇමැතිවරුන්ට පුද්ගලිකවම කතා කළේය.

බදාදා උදේ පාන්දරම පාර්ලිමේන්තුවට ගොස් ඇමැති ප්‍රසන්න, ඇමැති කංචන, නිමල් ලාංසා, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිය කාර්යාලයට කැඳවාගෙන සිය මෙහෙයුම ඇරඹීය.

“අපි මන්ත්‍රී පිවිසුම් දොරටුව හා පිටවීමේ දොරටුවෙන් මන්ත්‍රීවරුන් එන යන එක ගැන වාර්තාවක් ගන්න ඕන. ඔයා ඒක බලන්න” ඇමැති ප්‍රසන්න කීවේ නිමල් ලාංසාටය.

“සභාවෙන් එළියට යන හැම මන්ත්‍රී කෙනෙක්ටම අපි කතා කරන්න ඕන” ඇමැතිවරයා කී විට ඒ රාජකාරිය මන්ත්‍රී වජිර භාර ගත්තේය.

විවාදය අතරතුර ආණ්ඩු පක්ෂයේ කථිකයන්ට අවශ්‍ය තොරතුරු සැපයීමේ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට භාර විය.

ඒ අතර වාරයේදී ඇමැති ප්‍රසන්න රණතුංග විටින් විට අගමැති දිනේෂ් ගුණවර්ධන ද සම්බන්ධ කරගනිමින් මැති ඇමැතිවරුන්ට කතා කරමින් ඔවුන් පිළිබඳව සොයා බලන්නට විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්නේ විදේශ සංචාරයක නිරත වෙමිනි. එබැවින් පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වය ගැන ඇමැති ප්‍රසන්න සෑම පැයකට වරක්ම ජනාධිපතිවරයා දැනුවත් කළේය.

“බොහොම හොඳයි ප්‍රසන්න, ඔයා වැඩ ටික කරගෙන යන්න. මම ඔයා ගැන දන්නවා.” ජනාධිපතිවරයා ද කීවේය.

● පුත්තලම මන්ත්‍රීගේ
රත්තරන් මෙහෙයුම

ඩුබායි රටේ සිට ලංකාවට රේගු බදු නොගෙවා හොර පාරේ ගෙන්වන බඩු භාණ්ඩ ගැන කතා බොහෝය.

මීගමුව හලාවත පුත්තලම පැත්තෙන් “බෑග් පාටි” යවන ව්‍යාපාරයක් ගැන ද කතා තිබේ. සංවිධානාත්මක කල්ලි හා ව්‍යාපාරිකයන් විසින් මෙසේ කණ්ඩායම් සංවිධානය කර ඩුබායිවලට බෑග් යැවීමත් ඩුබායි සිට බෑග් ගෙන්වා ගැනීමත් කලක සිට කෙරුණු ව්‍යාපාරයකි. ඇතැම්විට ඒ යන අය එන්නේ බෑග් පිරෙන්නට පරණ හා අලුත් අයිපෝන්, විස්කි, රත්තරන් හා වටිනා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැගෙනය. එපමණක් නොව, අතේ කනේ කරේ පිරෙන්නට රත්තරන් පැළඳ ගෙන ය. ලැප්ටොප් පරිගණක කරේ එල්ලාගෙනය. මේ අය ගුවන් තොටුපොළින් පිටට පැමිණි වහාම අයිතිකාර ව්‍යාපාරිකයෝ ඒවා යුහුසුළුව එකතු කර ගනිති.

මේ අතර කලක් තිස්සේ මන්ත්‍රී වරප්‍රසාදවලට මුවාවී වී අයි පී කලාපය හරහා තහනම් භාණ්ඩ රටට ගෙන එන දේශපාලනඥයෝ ගැන ද කතා බොහෝය.

පසුගිය සතියේ එවන් ඔත්තුවක් ඔස්සේ සූදානම්ව සිටි රේගු විමර්ශන නිලධාරීන්ට රුපියල් හත්කෝටි අසූදෙලක්‍ෂයක් කට වැඩි වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් හා වටිනා සෙලියුලර් දුරකථන හතළිස් දෙකක් රටට ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රේගුව භාරයට ගෙන තිබිණි. මන්ත්‍රීවරයා ජාතික මුස්ලිම් පෙරමුණ නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන අලි සබ්රි රහීම් බව වාර්තා විය.

රඳවාගත් පුද්ගලයා මන්ත්‍රීවරයකු නිසා ඒ පිළිබඳ වැඩිදුරටත් උපදෙස් ගැනීමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් කර තිබුණේ ඒ වන විට මුදල් අමාත්‍ය ධුරයේ වැඩබලන රංජිත් සියඹලාපිටියට දැන්වීම හා ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමය. ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ අදහස වූයේ වරදක් කර ඇත්නම් කවරකු වුව නීතියට අනුකූල විය යුතු බවයි. නීතිය ක්‍රියාවේ යොදවන්නට ඔවුන්ට උපදෙස් ලැබිණි. විෂය භාර අමාත්‍යවරයාගේ අදහස ද එයම විය. එබැවින් රඳවාගත් මන්ත්‍රීවරයා ප්‍රධාන රේගු පර්යන්තය වෙත රැගෙන යනු ලැබීය. පැය 6 කට අධික කාලයක් රඳවාගෙන කටඋත්තරයක් ගනු ලැබීමකින් පසු ඔහු වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට රේගුව ඉදිරිපත් විය. භාණ්ඩ තොගය රාජසන්තක කරන්නටත් ඒවාට ගෙවිය යුතු රේගු මුදල දඩයක් ලෙස අය කර ගන්නටත් රේගු අධ්‍යක්ෂ තීරණය කළේය. ඒ අනුව ඔහුට ඒ මොහොතේම රුපියල් මිලියන හත හමාරක මුදලක් දඩය ලෙස ගෙවන්නට සිදු විය. ඒ වන විට වෙලාව පාන්දර තුන හමාර වුවත් අදාළ දඩ මුදල එකවර ගෙවා දමන්නට තරම් ඒ මන්ත්‍රීවරයා පොහොසතකු බව පැහැදිලි විය. දඩ මුදල ගෙවීමෙන් පසු ඔහුට ගෙදර යන්නට හැකි විය.

● දඩය ගෙවූ සබ්රි
ආණ්ඩුවට ගෝරි

බදාදා දිනය පුරාවටම පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතීන්ට අනිවාර්ය විය. ඒ නිසා විදේශගතව සිටි මැති ඇමැතිවරුන්ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට ද මෙහෙයුමක් දියත් විය. එය බැසිල් රාජපක්ෂගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය. නාමල් ද මැදිහත් විය.

එම යෝජනාව පරාජය කිරීමට විපක්ෂය මුල සිට ම සැලසුම් සකස් කර ඇති බව දැන සිටි අගමැති දිනේෂ්, ඒ ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම සමග නිතර අදහස් හුවමාරු කර ගත්තේය.

“අපේ මන්ත්‍රීවරු ගැන ප්‍රශ්නයක් නෑ, විපක්ෂයෙනුත් යම් යම් පණිවුඩ ඇවිත් තියෙනවා.” දිනේෂ්, ප්‍රසන්නට කීවේය.

“ඒක හරි, පොහොට්ටුවේ අයගේ මුකුත් ප්‍රශ්නයක් නෑ.”

අගමැති දිනේෂ් ගුණවර්ධන බදාදා උදේ ම පාර්ලිමේන්තුවට පැමිණියේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඔහු හමුවිය.

“විපක්ෂයේ සැලසුම තාම ක්‍රියාත්මකයි” මන්ත්‍රීවරු පැවසූහ.

“නෑ, විපක්ෂයේ සැලසුම පරාජය වෙනවා, ඒකට විපක්ෂයේ කිහිප දෙනෙක් අපිට උදව් වෙනවා. හැබැයි අපි ඔක්කොම ඡන්දය තියෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එක අනිවාර්යයි” අගමැති කීය.

එහෙත් විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්ට නියමිත වේලාවට මෙරටට පැමිණීමට නොහැකි විය. ඒ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසාවෙනි. රාජ්‍ය අමාත්‍යවරයා ඒ ගැන ජනාධිපති, අගමැති පමණක් නොව ඇමැති ප්‍රසන්නැද දැනුවත් කළේය.

“ඇමැතිතුමා, මේ ගැන අපිට කියපු එක හොඳයි. නැත්නම් මේව ප්‍රසිද්ධ වෙන්නේ වෙන විදියට”

අගමැති දිනේෂ්, ඇමැති ප්‍රසන්නට කීය.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම සිදුවන මොහොතේ මන්ත්‍රී අලි සබ්රි රහීම් සභා ගර්භයට පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කළේය.

“රත්තරං සබ්රි එනෝ…. රත්තරං සබ්රි එනෝ…” මන්ත්‍රීවරයා දුටු විපක්ෂ මන්ත්‍රීවරුන් කෑ ගැසීය.

“මේ… මේ එයාට මුකුත් කියන්න එපා. එතුමා අපිටයි ඡන්දෙ දීල තියෙන්නෙ” විපක්ෂ මන්ත්‍රීවරයකු කියත්ම එතෙක් පැවති ඝෝෂාව නතර විය.

“අපෝ වැස්සක් වැහැල පෑව්ව වගේ” කිසිවකු කියනු ඇසිනි.

“මම මේ සිද්ධියට සම්බන්ධ නෑ. නමුත් ආණ්ඩුව මාව බලාගත්තේ නෑ. ඒක නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නා.”

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් එළියට පැමිණි අලී සබ්රි රහීම් මන්ත්‍රීවරයා මාධ්‍යයට කීවේය. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව ජය ගැනීමට ආණ්ඩුව සමත් විය.

● පන්තියේ හොඳම
ළමයා මහින්දලු

ජනාධිපතිවරුන් සතරදෙනෙක් සහභාගි වූ එක්තරා සුවිශේෂී මළගෙදරක් ගැන ද පසුගිය සතියේ කතාබහක් ඇති විය. මළගෙදර රොෂාන් රණසිංහ ඇමැතිවරයාගේ නැන්දනියගේය. මිය ගොස් සිටියේ රොෂාන් ගේ බිරිඳගේ මවය. මේ නිසා අති විශාල දේශපාලනඥයෝ පිරිසක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මේ මළගෙදරට පැමිණ සිටියහ.

පොලොන්නරුව දේශපාලනය සම්බන්ධයෙන් එතරම් හොඳ සමීප සම්බන්ධතාවයක නොසිටියත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රොෂාන්ට සහ ඔහුගේ බිරිඳට කනගාටුව පළ කරන්නට පැමිණ සිටියේය. සාමාන්‍යයෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා කා අතරත් සුහද පුද්ගලයකු සේ ප්‍රකටය. ඒ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ ප්‍රභූන් හා කතාබස් කරමින් සිටියේය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණියත් ඔහු වැඩි වෙලා සිටියේ නැත්තේ මේ සතියේ ඔහුට වැඩ රාජකාරි අධික ව තිබූ නිසා ය.

ඔය අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරුණ මන්ත්‍රීවරු පිරිසක් පිරිවරාගෙන මළ ගෙදරට පැමිණියේය. අන් අයට වඩා වැඩි වේලාවක් ඔහුට එහි රැඳී ඉන්නට සිදු වූයේ හිතවත් මාධ්‍යවේදීන් රැසක් ද එහි රැඳී සිටි නිසාය. ජනාධිපති මහින්ද එතන සිටි තරුණ මන්ත්‍රීවරු ආගිය තොරතුරු කතා කරමින් සිටින අතර…

“මෙතන අපි කතා කරන දේවල් හෙට මාධ්‍යවල පළ වෙයිද දන්නේ නෑ…” කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය එසේ කියා තිබුණේ එතන සිටි හේමන්ත කහවලගේ මාධ්‍යවේදියා දෙසට ඉඟියක් කරමිනි.

“අපට නම් එහෙම ප්‍රශ්න නෑ… දේශපාලනඥයෝ හොඳින් දැනගන්න ඕන මාධ්‍යවේදීන් ඉස්සරහ කතා කරන්න ඕන දේවල් මොනවද නැති දේවල් මොනවද කියලා…” එසේ කීවේ ජනාධිපති මහින්ද ය.

“ඔබතුමාගෙන් මෙයාලට තාම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා වගේ…” මාධ්‍යවේදියා කියද්දී මහින්ද රාජපක්ෂ හිනාවෙමින් හිස සැලුවා මිස උත්තර දෙන්නට ගියේ නැත. එම මල් ශාලාවට යාබද මල්ශාලාවේ ද තවත් විශේෂ මළ ගෙයකි. මියගොස් සිටියේ මහින්ද රාජපක්ෂ පාසල් යන කාලයේ ඔහුටත් ඉගැන්නූ අවුරුදු 90 ක විශ්‍රාමලත් ගුරුවරියක් බව දැනගත් ජනාධිපතිවරයා පිරිස සමග එම මළ ගෙදරට ද ගොඩවන්නට අමතක නොකළේය. ඒ කාලයේ අතීත මතක සටහන් මතක් කරමින් කතාබස් කළ මහින්ද තරුණ මන්ත්‍රීවරයකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

“ඔව්… ඔව්… මෙතුමිය උගන්නන කාලෙ මම තමයි ඒ පංතියේ හිටපු හොඳම ළමයා…”

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment