පන්දුවෙන් සහ පිත්තෙනුත් ජඩේජාට පැරදුණු – ශ‍්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයක්

347

තෙවැනි දිනයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුලූ 16ක් බිඳ දැමීමට සමත්වූ ඉන්දීය පන්දු යවන්නෝ මොහාලි ක‍්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමකින් සහ ලකුණු 222කින් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඊයේ (06 වැනිදා) සමත්වූහ. ඒ අනුව දෙරට අතර ක‍්‍රියාත්මක තරග 3කින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දියාවට හැකියාව ලැබිණි.

තරගයේ තෙවැනි දිනට ඊයේ තරගය ආරම්භ කිරීමේදී කඩුලූ 4ක් දැවී ලකුණු 108ක් ලබා සිටි ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 174කට සීමා කර දැමූ ඉන්දීය කණ්ඩායම ලකුණු 400ක පළමු ඉනිමේ වාසියකට හිමිකම් කීමට සමත්විය. ඒ අනුව පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 60කදී මුළු ලකුණු 178කට සීමා කරමින් තරගයේ තවත් දින 2ක් ඉතිරිව තිබියදී වේලාසනින්ම ජයපැන් බීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබිණි.

 ඉන්දීය පළමු ඉනිමේදී නොදැවී ලකුණු 175ක් වාර්තා කළ රවීන්ද්‍ර ජඬේජා ශ‍්‍රී ලංකාවේ පරාජය ඉක්මන් කරමින් ඉනිම් දෙකේදී ලකුණු 87කට ශ‍්‍රී ලංකා කඩුලූ 9ක් බිඳ දැමීමට සමත්විය. රවිචන්ද්‍රන් අශ්වින් ඉනිම් දෙකේදී මුළු ලකුණු 97කට ශ‍්‍රී ලංකා කඩුලූ 6ක් බිඳ දැම්මේය.

 ඊයේ දිනය ආරම්භ කරන විටදී සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක සහ චරිත් අසලංක පන්දුවට පහර දෙමින් සිටියේය. ශ‍්‍රී ලංකා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක් එක් කිරීමට පැතුම් – චරිත් සුසංයෝගය සමත්වූ අතර ශ‍්‍රී ලංකා ඉනිම් දෙකේදීම වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින් එය සටහන් විය. මුළු ලකුණු 161දී ශ‍්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් ලකුණු 29ක් ලබා සිටි චරිත් අසලංකගේ කඩුල්ල දැවී යෑමෙන් පසු තවත් ලකුණු 13ක් තුළ ශ‍්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලූ 5ක් දැවී ගියේය. එහිදී පිළිවෙළින් සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව පෙරේරා සහ ළහිරු කුමාර ලකුණු නොලබා දැවී ගියේය. පැතුම් නිස්සංක ලකුණු 61ක් ලබා එක් අන්තයක නොදැවී සිටියේය.

 ඉනිමකින් බේරීම සඳහා ලකුණු 400ක් ලබා ගැනීමේ දැවැන්ත අභියෝගය කරපින්නාගෙන සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ‍්‍රී ලංකා පිතිකරුවෝ වගකීම් විරහිතව සිය කඩුලූ පූජා කරමින් තරගයේ ජයග‍්‍රහණය ඉක්මනින්ම සත්කාරකයන්ට ලබා දුන්නේය. එහිදී නොදැවුණු ඉනිමක් ක‍්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 51ක් ලබා ගැනීමට සමත්විය.

 දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 12 වැනිදා පැවැත්වේ.

පන්දුවෙන් සහ පිත්තෙනුත් ජඩේජාට පැරදුණු - ශ‍්‍රී ලංකාවට පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයක්

advertistmentadvertistment
advertistmentadvertistment