පන්සල් – පල්ලි – පාසල් අසල සුරාසල් මීටර් 100 කට මෙහා බැහැ… අභියාචනාධිකරණයෙන් තීන්දුවක්!

184

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත‍්‍ර මත පවත්වාගෙන යන සියලූම මත්පැන් අලෙවි ස්ථාන ආගමික සිද්ධස්ථානවලට හා පාසල්වලට අවම වශයෙන් මීටර් 100කට ඔබ්බෙන් පිහිටා තිබීම අනිවාර්ය බව තහවුරු කරමින් අභියාචනාධිකරණය ඊයේ (07 දා* තීන්දුවක් නිකුත් කළේය.

සුරාබදු පනත අනුව පනවා ඇති එකී රෙගුලාසිය උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන ඕනෑම මත්පැන් අලෙවි ස්ථානයක් වසා දැමීමට හා ලබාදී ඇති බලපත‍්‍රය අහෝසි කිරීමට සුරාබදු කොමසාරිස්වරයාට නීත්‍යනුකූල බලයක් ඇති බවත් එලෙස කටයුතු කිරීම නිවැරදි බවත් සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු ම`ඩුල්ල එම තීන්දුව මගින් පෙන්වා දුන්හ.

පාසල් දෙකකට හා ආගමික සිද්ධස්ථානයකට මැදිව වත්තේගම ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මත්පැන් අලෙවිසලක් වසා දමා බලපත‍්‍රය අහෝසි කිරිමට එරෙහිව ඞී. එල්. පී. බී. පතිරන්නැහැගේ නමැති මත්පැන් අලෙවිසල් හිමිකරු ගොනුකර තිබූ පෙත්සමක් සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණය ඒ බව පෙන්වා දුන්නේය.

එකී මත්පැන් අලෙවිසලට එරෙහිව ප‍්‍රදේශවාසීන් හා සිවිල් සංවිධාන විසින් ගොනුකර තිබූ පැමිණිලි සලකා බලමින් තමා එය වසා දමා බලපත‍්‍රය අවලංගු කිරීමට පියවර ගත් බවත් මහජන සාමය ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරිව එම නියෝගය නිකුත් කළ බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පෙන්වා දී තිබිණි.

වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මනෝහර ජයසිංහ මහතා සහ රජයේ අධිනීතිඥ ආර්. අලූවිහාරේ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර මත්පැන් අලෙවිසල් හිමිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment