‘පන්සලෙන් ගමට’ සංකල්පය යටතේ – අගනා ශාසනික මෙහෙවරක නිරත – රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාමය

61

ප්‍රදේශයේ පිඬුසිඟා වඩිමින් ජීවත් වූ ස්වාමීන් වහන්සේ නමක් මුල්කරගෙන රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානය ආරම්භ වූ බව පැවසේ. උන්වහන්සේ එම විහාරස්ථානයේ 1946 දක්වා වැඩ සිට පසුව උපැවැදි වූ බව සඳහන් ය. අනතුරුව රත්මල්දෙනිය ශ්‍රී විජයානන්දනාරාම විහාරස්ථානයට විධිමත් ලෙස විහාරාධිපති පදවියට පත්වන්නේ විනයාචාර්ය මාදම්පේ ශ්‍රී ජිනසිරි ලොකුහාමුදුරුවන්ය. ඒ 1956 වර්ෂයේදීයි. උන්වහන්සේ පරමවිඤ්ඤානාර්ථ සමාගම සමග එක්වී සුධර්මාධාර නමින් මිශ්‍ර පාසලක් මෙම ස්ථානයේ ආරම්භ කළ බව එම පාඨශාලාවේ කළමනාකරු වශයෙන් සේවය කර ඇත්තේ අපවත් වී වදාළ මාදම්පේ ශ්‍රී ජිනසිරි ලොකුහාමුදුරුවන්ම බව ඓතිහාසික තොරතුරුවල සඳහන්ය. එම පාඨශාලාව පසුකාලීනව ගොළුවාගොඩ යන ස්ථානයට ගෙන ගොස් තිබේ. අනතුරුව පැලැන්වත්ත ඩී. එස්. සේනානායක කනිෂ්ඨ විiාලය ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ මෙම පාසලයි. මේ වනවිට එම පාසල පැලැන්වත්ත සංස්කෘතික මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන යනු ලැබේ.

‘පන්සලෙන් ගමට’ සංකල්පය යටතේ - අගනා ශාසනික මෙහෙවරක නිරත - රත්මල්දෙනිය ශ්‍රී විජයනන්දනාරාමය

ජිනසිරි ලොකු හාමුදුරුවන් ප්‍රසිද්ධ දේශකයෙකි. එසේම ප්‍රසිද්ධ පිරිත් දේශකයෙකි. බෝධිපූජාදිය පවත්වා ප්‍රදේශවාසීන්ගේ මෙන්ම රටවාසීන්ගේ ශ්‍රද්ධාව ජනනය කරන්න කටයුතු කළ යතිවරයාණෝ කෙනෙකි. උන්වහන්සේගේ කැපවීම මතයි රත්මල්දෙනිය විහාරස්ථානය රැකිලා තිබුණේ. අසරණ අයට උදව් කළ උන්වහන්සේ කෑම බීම නැති අයට ඒවා ලබාදී තිබෙනවා. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ මූලික විහාරාධිපති ලෙස 1997 මාර්තු 12 වැනිදා දක්වා කටයුතු කර ඇත.

අනතුරුව මෙම විහාරස්ථානයේ නිත්‍යානුකූල විහාරාධිපති ලෙස පත්වීම් ලබන්නේ අපවත් වී වදාළ මාදම්පේ ශ්‍රී ජිනසිරි හිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් වූ බස්නාහිර පළාත් හිටපු පිරිවෙන් අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පණ්ඩිත දොඩංගොඩ පියසිරි නාහිමියන්ය. උන්වහන්සේ මේ වනවිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කොළඹ ප්‍රාදේශීය සංඝ සභාවේ ගරු සභාපති ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරමින් සිටිති. උන්වහන්සේ රාමඤ්ඤ නිකාය ආශ්‍රිතව විශාල ආගමික ශාසනික මෙහෙවරක් කරන අතරේම අප සමග සම්බන්ධ වී පන්සලෙන් ගමට යන සංකල්පය යටතේ දායකයන් සමග එක්වී ගමේ නැති බැරි ජනතාවට ගෙවල් දොරවල් සකස් කරදීම, ජලය නැති මිනිසුන්ට ජලය ලබාදීම, විදුලිය නැති අයට විදුලිය ලබාදීම, ඉගෙනීමට දක්‍ෂ අගහිඟකම් ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙමින් එම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට කටයුතු කරමින් සිදුකරන ආගමික ශාසනික මෙහෙවර අතිවිශාලය. ඈත පළාත්වලින් කොළඹට පැමිණ බෙහෙත් හේත් ටික ගන්න බැරිවන ජනතාවට උන්වහන්සේ පිහිටවූ වාර අනන්තයි. රත්මල්දෙනියේ සිරි ජිනසිරි දහම් පාසල 1980 ජනවාරි 5 වැනිදා ආරම්භ කරන්නේද උන්වහන්සේ විසිනි. මේ වනවිට මෙම දහම් පාසලේ ළමුන් 600ක් පමණ ඉගෙනුම ලබන අතර ඒ ප්‍රදේශයේ කීර්තිමත්ම දහම් පාසලක් බවට පත් කිරීමට උන්වහන්සේ සුවිශාල කැපවීමක් දැරීය. දැනටත් උන්වහන්සේ සිරි ජිනසිරි දහම් පාසලේ අනුශාසක ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරමින් මෙම දහම් පාසල අපට පවත්වාගෙන යෑමට සුවිසල් මෙහෙවරක් කරමින් සිටිති.

ඉස්සර රත්මල්දෙනිය සහ වෙලෙන් එගොඩ ප්‍රදේශයට පාරක් තිබුණේ නැත. එම ඉඩකඩම්වලට අයිතිවාසිකම් කියන ජනතාවත් එකතු කරගෙන රත්මල්දෙනිය පන්සල හරහා ඈගුලවත්තට යන පාර සාදනු ලැබුවේ දොඩංගොඩ පියසිරි ලොකු හාමුදුරුවන් විසිනි. අද වනවිට එම මාර්ගය රථවාහන ගමන් කළ හැකි ජනී ජනයාට සුව පහසුව සලසන මහා මාර්ගයක් බවට පත්ව ඇත.

විහාරස්ථානයේ විහාරාංග සම්පූර්ණ කිරීම, විහාර භූමිය පුළුල් කිරීම, පන්සල පාර පුළුල් කිරීම, විධිමත් කාර්යසාධක සමිතියක් පිහිටුවීම, උඳුවප් පෙරහැර ආරම්භ කොට පවත්වාගෙන යෑම, පැවිදි සිසුන් සසුනට දායද කිරීම උන්වහන්සේගේ කාලයේ සිදු වූ ශාසනික සේවාවන් අතර වේ.

ශාස්ත්‍රපති පණ්ඩිත දොඩංගොඩ පියසිරි නාහිමියන් රත්මල්දෙනියේ ශ්‍රී විජයනන්දනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට මා පත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ ද ආශිර්වාද ඇතිව පන්සලට ගමට මෙන්ම රටට විශාල සේවයක් කරන්න මට අවස්ථාව ලැබුණා. අප විහාරස්ථානයේ ඉඩකඩ මදිකම එනිසා තවත් පර්චස් 52ක් මිලදී ගෙන පන්සලේ වපසරිය වැඩි කරන්නට මට පුළුවන් වුණා. ඒ සඳහා මුදල් ලබාදුන්නේ රත්මල්දෙනිය සතර පේරුවේ දායක දායිකාවන් මා ගැන විශ්වාසය තබා අදාළ ඉඩම මිලදී ගැනීමට කෝටි ගණනක මුදලක් ලබාදීම ගැන මම මේ අවස්ථාවේදී කෘතඥපූර්වකව සිහිපත් කරනවා. මේ වන විට අපගේ මැදිහත්වීම මත මහල් හතරකින් සමන්විත දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. දරුවන් 600 කට වැඩි ප්‍රමාණයක් එහි දහම් අධ්‍යාපනය ලබනවා. ඊට අමතරව සතියේ දින හයක්ම හය ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරුවන්ට නොමිලේ අතිරේක පන්ති පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එය මුදල් දුෂ්කරතා ඇති දෙමාපියන්ට මහත් සැනසිල්ලක්.

මේ වනවිට විහාරස්ථානය මූලික කරගෙන ක්‍රියාත්මක අත්වැල පදනම මගින් අපට සමාජයට විශාල මෙහෙවරක් සිදු කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. අගහිඟකම් ඇති විහාරස්ථානවලට මෙන්ම නැති බැරි පවුල්වලට මේ හරහා අප විවිධ ආධාර උපකාර කරනවා. ඊට අමතරව විහාරස්ථානයේ අධීක්‍ෂණය යටතේ පවත්වාගෙන යන ඇරැව්වල සමරතුංග ළදරු උයන, පෙර පාසල සහ පුස්තකාලය මගින් පළාතේ දරුවන්ට විශාල සේවාවක් කිරීමට අපට අවස්ථාව උදාවී තිබෙනවා. මේ සියලු කටයුතු කරගෙන යෑමේදී දායකකාරකාදී පින්වතුන්ගේ මෙන්ම අපගේ ගුරු දේවයන් වහන්සේ වන දොඩංගොඩ පියසිරි නාහිමියන්ගෙන් ලැබෙන අනුශාසනා, ආශිර්වාද අපට ඉමහත් ශක්තියක්. අප නාහිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවේ ශිෂ්‍යයකු ලෙස මම ද නුගේගොඩ ගංගොඩවිල සුභද්‍රාරාම මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙණාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත වැලිපොල සිරිවංශ පොඩි හාමුදුරුවන් ඇතුළු අනෙකුත් හිමිවරු ද අප විහාරස්ථානයේ දියුණුව උදෙසා ලබාදෙන සහයෝගය කැපවීම මම මේ මොහොතේ කෘතඥපූර්වක සිහිපත් කරනු කැමැත්තෙමි.

රත්මල්දෙනියේ ශ්‍රී විජය නන්දනාරාම විහාරස්ථානයේ විහාරාධිපති, බත්තරමුල්ලේ ශ්‍රී සුදර්ශන විiාලයේ විදුහල්පති, සිරි ජිනසිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත

● පූජ්‍ය පිඩලිගන්ගාවෙල පඤ්ඤාසීහ නාහිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment