පන්සලේ පියතුමා

120

122 වැනි ජන්ම දිනය වෙනුවෙනි

මර්සලින් ජයකොඩි පියතුමා උපන්නේ 1902 ජුනි 03 වැනි දින දංකොටුව, ගොඩැල්ල ග්‍රාමයේදීය. පාරම්පරික සිංහල වෙද මහතකු වූ ජෝශප් ජයකොඩි මහතා සහ සඳලංකාව, හෙන්ඩියගල ග්‍රාමයේ ජොසපින් සේනාරත්න මහත්මිය පියතුමාගේ මව්පිය දෙපළයි. නිමල මරිය නිකායේ පියතුමකු වූ මර්සලින් ජයකොඩි පියතුමා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති අතර ගුරු වෘත්තියේ ද නියැළී ඇත. දෙව් මැඳුරුවල ගැයෙන ඉපැරණි ගීතිකා වැඩි ප්‍රමාණයක් ලියා ඇත්තේ පියතුමන් විසිනි. ඒ ගීතිකාවලින් වැඩි කොටසක් දේව මෑණියන් වෙනුවෙන් ලියා තිබීම විශේෂත්වයකි. පියතුමා විසින් ලියා ඇති බොදුනු ගීත සහ කවි අදටත් ජනප්‍රියව පවතී. 1956 තිරගත වූ රේඛාව චිත්‍රපටය වෙනුවෙන් මර්සලින් ජයකොඩි පියතුමා විසින් ලියා ඇති ගීත සහ විරිඳු වසර 70කට ආසන්න කාලයක් ගෙවී ඇතත් එහි ජනප්‍රියත්වය එලෙසම පවතී. ප්‍රථම නිදහස් උත්සව සැමරුම සඳහා ආනන්ද සමරකෝන් සූරීන් විසින් ලියන ලද නමෝ නමෝ මාතා ගීතය පුරුදු පුහුණු කිරීමට එතුමන් ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් එම භාරධූර කටයුත්ත පවරනු ලැබුවේ මර්සලින් ජයකොඩි පියතුමා වෙතය. එතුමන් විසින් එවකට කොළඹ සුප්‍රකට බෞද්ධ බාලිකා විදුහලක් වූ රොස්මිඩ් පෙදෙසේ පිහිටි මියුසියස් විදුහලේ ශිෂ්‍යාවන්ට මෙම ගීතය පුරුදු පුහුණු කර 1950 පෙබරවාරි 04 වැනි දින ප්‍රථම නිදහස් උත්සවයේදී ගායනා කරවීමේ ගෞරවය හිමි වන්නේ ද පියතුමන්ටය. ජාති, ආගම්, කුල භේදයෙන් තොරව මර්සලින් ජයකොඩි පියතුමා ජනතාවට සේවය කළ නිසාම සමස්ත ජනතාව ද එම නමට ගරු කළේය. ආදරය කළේය. ඒ නිසාම ලෝකයේ පළමු වරට පියතුමකුගේ ජීවිත කතාව ස්වාමීන් වහන්සේ නමක් අතින් ලියවෙන්නේය. මල්පැළේ උපන් පන්සලේ පියතුමා නමින් පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් විසින් ලියා මෙම පොත එළිදක්වා ඇත. 1998 ජනවාරි 15 වැනි දින මර්සලින් ජයකොඩි පියතුමා ස්වර්ගස්ථ වුව ද එතුමන් කළ දේ, කී දේ නොමැරී පවතින්නේය. එතුමන්ට නිසි ගෞරව දැක්වීම පිණිස දංකොටුව නගරය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති මර්සලින් ජයකොඩි පිය පදනම විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. දුප්පත් අය වෙනුවෙන් නිවාස ඉදිකරදීම, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, එතුමන් උපන් ගොඩැල්ල ග්‍රාමයේ කනිටු විදුහල මර්සලින් ජයකොඩි පිය විදුහල ලෙස නම් කිරීම මේ වන විට සිදුකර ඇත.

ඩබ්ලිව්. ඇන්ටන් ජෙරාඩ් ප්‍රනාන්දු

පන්සලේ පියතුමා
advertistmentadvertistment
advertistmentadvertistment