පමාවී පසුතැවෙන්නෝ

54

“2023 ඉරාක යුද්ධයට පක්ෂව මම ඡන්දය දුන්නා. එදා මා අතින් සිදුවුණේ ලොකු වරදක් බව මට දැන් හොඳින්ම තේරුම් ගොස් තිබෙනවා. මගේ දේශපාලන ජීවිතයේ මා අතින් සිදුවූ මේ වරද ගැන මම බෙහෙවින්ම දැන් පසුතැවෙනවා.”

බ්‍රිතාන්‍යයේ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයකු ලෙස කාලයක් කටයුතු කළ ඩේවිඩ් මිලිබෑන්ඩ් මේ ප්‍රකාශය පසුගිය දිනකදී කර තිබුණේ ලන්ඩනයේ පළවන පොත් පිළිබඳ විචාරයන් සිදුකරන හමුවකදී.

බටහිර ලෝකය පෙනී සිටින යුක්තිය, සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පදනම් කරගත් ස්ථාවරයනට සහ ඒ ප්‍රතිරූපයට 2003 යුද්ධය සහ ඒ කාලවකවානුවේදී සිදුකරනු ලැබුවේ බලගතු හානියක්.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හෙළාදැකීමට බටහිර ලෝකය එකමුතු වුවද, ඒ නිසා බටහිර ලෝකය සහ සෙසු ලෝකය අතර ලොකු බෙදීමක් ඇතිව තිබෙනවා. ලෝක ජනගහනයෙන් 50%කට වඩා නියෝජනය කරන රටවල් රුසියානු ආක්‍රමණය හෙළා දැකීමට එක්වී නැහැ. රුසියාවට පක්ෂව සහය දී ඇත්තේ රටවල් පහක් පමණක් වුවද, රටවල් පනහක් පමණ එය හෙළා දැකීමට එක් නොවීමෙන් පෙන්නුම් කරනුයේ බටහිර ලෝකයේ විදෙස් ක්‍රියා පිලිවෙත කුහක එකක් ලෙසින් ඔවුන් දකින නිසා බව පෙනෙනවා. ලෝකයේ අනෙක් තැන්වල, විශේෂයෙන් ඉතියෝපියාව,

ඇෆ්ගනිස්ථානය, පලස්තීනය වැනි රටවල් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සහ යුක්‍රේනයේ සිදුකරන අපරාධ සහ එහිදී දිළිඳු බවට පත්වීම පිළිබඳව අනුගමනය කරන ප්‍රතිපත්තියේ වෙනස ගැන කියන කෙන්යානු ජනපති විලියම් රූටෝගේ කථාවන්ද අධ්‍යයනය කිරීම වැදගත්.

ඉරාකයේ ඛේදවාචකයට තමන් සහභාගි වූයේ බුෂ්ගේ නොමඟ යැවීම් හේතුවෙන් බව කියමින් මෙවැනිම පාපොච්චාරණයක් කළ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයකු වූ ගෝර්ඩ්න් බ්‍රවුන් සහ තමන්ට සිදුවූයේ වරදක් බව කියමින් පාපොච්චාරණයක් කළ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සමගින් දැන් අලුතින්ම ඒ පව් සමා කරගැන්මේ පෝලිමට එක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය හිටපු විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර අමාත්‍ය ලෙස සිටි, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ප්‍රබලයකු වූ ඩේවිඩ් මිලිබෑන්ඩ්.

තමන් අතින් වරදක් වූ බව සහ ඒ වරද තේරුම්ගෙන තමන් ඒ ගැන කනගාටුවන බව කීමට තරම් මොවුනට සදාචාරයක් තිබෙනවා.

ඒත් අපේ රටේ බහුතර ජනතාව වීථි බැස සම්ප්‍රදායික දේශපාලනය රට අපායක් කළ බව කියමින් මේ තරම් හඬනඟා කියද්දිත්, ඒ වග තේරුම් නොගන්නාවූ අමනෝඥ බලය සඳහා මිනිස් ජීවිත මායිම් නොකරන අන්තවාදීන් යළිත් ඒ ගිනි ඇවිලවීමේ සෙල්ලම පවත්වාගෙන ඇති බව පෙනේ. ඒවාට උඩගෙඩි දෙන ඔවුන්ගේ සහ ඔවුන්ගේ මිත්‍ර මෙන්ම පවුල් සමාගම්වල ආයෝජනයෙන් පවත්වාගෙන යන මාධ්‍යයන්ද ඒ සඳහා පාවිච්චි කිරීම යළි ආරම්භ කර ඇති බව දැකිය හැකිව තිබෙනවා.

ජනතා අභිලාෂයන් තේරුම් නොගන්නාවූ විකෘති පාලකයන් තවමත් සිතන්නේ පොලිසිය, හමුදාව පුළුල් කර ගනිමින් කඳුළු ගෑස්, බැටන් පොලු, වෙනත් මර්දනයට අවශ්‍ය ආයුධ ආනයනය කර ගනිමින්, ගබඩා කර ගනිමින් මර්දනයත්, මාධ්‍ය ඒකාධිකාරය තුළින් ජනතාව රැවටීමත් තුළින් තම බලය සහ පැවැත්ම දිගටම තහවුරු කරගත හැකි බව.

රටේ ඉතිහාසයෙන් මෙන්ම අද ලෝකයේ සිදුවන දෙයින් හෝ ඔවුන් පාඩම් ඉගෙන ගන්නට සූදානම් නැති බව පෙනෙනවා.

මේ රත්තරන් දිවයින අපායක් කළ සහ කරමින් සිටින බලවේගවල හැසිරීම් තුළින් බුද්ධිමත් ජනතාව තවදුරටත් රැවටිය හැකි යැයි සිතීම මුළාවක්.

“මේ පෘථිවිය වගේ තවත් පෘතුවි කිහිපයක් ගොඩනඟන්න තිබූ මුදල්, යුද්ධ නිසා අහිමිවී තිබේ” කියලා කතාවක් තියෙනවා.

පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුනු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ සොල්දාදුවා වන්නේ ‘හැරී පැච්’ ඔහු වසර 111ක් ආයු වළඳා මියගියා. හැරී මිලියන ගණන් යුද්ධයෙන් මියගිය වග සියැසින් දුටුවෙක්. ඔහු මෙසේ කීවා.

“යුද්ධය” යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි; අන් කිසිවක් නොවේ!

වරක්, ඩ්වයිඩ් ඩී. අයිසන්හවර් අපූරු ප්‍රකාශයක් කළා.

‘නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කළ සෑම යුද නැවක්මත්, පත්තුකළ සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක් නොදුන්නාත් වූද, සමූහයාගෙන් කෙරෙන්නාවූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි, විද්‍යාඥයන්ගේ ඥානයයි, දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වළාකුල පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි.’

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment