පමුණුගම මේද ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට සීල්

138

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් පමුණුගම නුගපේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපනයනය කිරීම සඳහා ගබඩා කොට තිබූ කල් ඉකුත්වූ වනස්පති බටර් කිලෝ 10000 සහ දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කොට තිබූ තෙල් හා මේද ආශ්‍රිත කල් ඉක්තු වූ ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්. හිජාස් මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු පවසා සිටියේ පැකට් එකක කිලෝ 5 බැගින් අසුරා තිබූ කල් ඉකුත් වූ වනස්පති බටර් පැකට් 2000 ක් ගබඩා 04ක තිබියේදී සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වූ තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වූ බටර්, ගිතෙල්, මාජරීන්, පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුළු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබූ අඩි 40 බහාලුම් (container) 10 කටත් සීල් තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන් බවය.

ඒ අතරම කල්ඉකුත් වීම නිසා වෙළෙඳසල් වලින් ඉවත් කරන කර්මාන්තශාලාවේ නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවට ගෙනවිත් නිෂ්පාදිත දිනය මෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කොට අලුත් ලේබල් යටතේ නැවත වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි සැක කෙරෙන තවත් බහාලුම් 8 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සීල් තැබීමට කටයුතු කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර සිටියේය.

මෙම කර්මාන්ත ශාලවේ නිෂ්පදාන වැඩකටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත. පමුණුගම පට්ටියවෙල ග්‍රාම නිලධාරි වසමේ නුගපේ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ ඉතා ප්‍රසිද්ධ සන්නාමයක (Brand Lable) එකක් යටතේ තෙල් මේද ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය වර්ග ගණනාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටි සුපිරි වෙළෙඳසල්වලට මෙන්ම පොදු වෙළෙඳපොළටද නිකුත් කොට ඇත.

මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන මෙම කර්මාන්තශාලාව තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන අපනයනය කිරීම පිළිබඳව රටෙහි නමක් දිනා ගෙන ඇත.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්. හිජාස් මහතාගේ මෙහෙයවීම මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්. අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බී.ටී.කේ. ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment