පමුණුගම ශ්‍රී ලේ මංගල්‍යය ජූලි මස 3 ඉරිදා

172

“ශ්‍රී ලෙයින් ගලවාගත් ඔබගේ දාසයින්ට කරුණා පිහිට වෙනවා සොඳේ ස්වාමි” මෙම සංවේදී යැදුම් තේමාව වසර 154 ක සිට පමුණුගම ශ්‍රීලේ මංගල්‍යයේ ඉතිහාසයේ පූජනීය තේමා පාඨය ලෙස සිරිලක ජන හදවත් තුළ ජනගතවී ඇත්තේය.

ශ්‍රීලේ යනු කුමක්ද? බැතිමතුන්ගේ උත්තරීතර දේව වන්දනාව පිදෙන අම්ල වූ ශ්‍රී රුධිරය, අපගේ ගැලවුම්කාර කිතු සමිඳුන්, අප උදෙසා කල්වාරියේදී වගුරුවන ලද්දාවූද, තේජවත් උත්ථානයේදී උන්වහන්සේගේ ශරීරයට නැවත එක්කර ගනු ලද්දා වූද ශ්‍රී රුධිරය වන්නේය. ස්වර්ගයෙහි දෙවියන් වහන්සේගේ දකුණු පසෙහි වැඩසිටින උන්වහන්සේගේ තේජවත් ජීවමාන ශරීරයේ නාඩිවල චලනය වනු ලබන රුධිරයය. දිව්‍ය රහස් කිරීමේ වචනවලින් අපගේ පූජාසනය මත වැඩ සිටින්නට සලකනු ලබන රුධිරයය. අපට දේව ජීවිතය ලබාදී අපගේ ආත්මයන් පව් දොසින් සෝදා ජීවමාන කරන රුධිරයය.

දෙවි සමිඳුන්ගේ ශ්‍රීලේ කෙරෙහි බැතිබර ආගමික භක්තියෙන් ශුද්ධවූ සභාවේ මුල් කාලවලදී පටන් තිබුණු බවට සාක්ෂි ඇත්තේය. කතෝලිකයන් අතරේ පැවතුන මේ භක්තිය ස්ථිර කර ප්‍රචලිත කරනු සඳහා අග්‍ර ධර්ම සංගමයක් සත්වැනි පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ අනුග්‍රහය යටතේ ක්‍රි. ව. 1807 දී රෝමයේදී ‘නිකලෝ දේ කාර් වේරෝ’ නම් දෙව් මැඳුරේ’ නෙරුප්පියානි රාජගුරු ප්‍රසාදි වූ ඇල්බර්නහි බුපලෝ නම් කැනන් තුමා විසින් ආරම්භ කරන ලදී. මෙම අග්‍රධර්ම සංගමයට සම්බන්ධ කරන ලද සමාගමක් 1847 දී එංගලන්තයේ ස්ටැපර්ඩ්සෙර්හි පිහිටුවන ලදුව 1850 දී ලන්ඩන් නුවරට මාරුකරන ලද්දේය.

එකල රෝමය ශුද්ධෝත්තම පියතුමාට අයිති රාෂ්ට්‍ර ප්‍රදේශයකි. සමස්ත ඉතාලියම ඒකාබද්ධ කර සමූහ ආණ්ඩුවක් පිහිටුවීම පරමාර්ථය කරගෙන මසීනි සහ රිවොල්ඩ් නම් කැරලිකාර පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රස්ත කල්ලියක් සමඟ නමවැනි පියුෂ් ශුද්ධෝත්තම පියතුමා රෝමයෙන් එළවා දැමුවේය. එතුමා ශුද්ධාශනයට අයත් නේපල්ස් ප්‍රදේශයේ ගයෙටා නුවරට පලා ගියේය. එහෙත් ප්‍රංශ හමුදාවක් පැමිණ කැරලිකාරයන්ගේ හමුදාව පරාජයකොට ශුද්ධෝත්තම පියතුමාට රෝමයේ වතිකානයට යෑමේ නිදහස ලබා දුන්නේය. දෙවියන් වහන්සේගෙන් ලබාගත් මෙම නිදහසේ සහනය සිහිපත් කරනු සඳහා ද මෙම ජයග්‍රහණය අත්වූයේ අප දිව්‍ය ගැලවුම්කාරයාණන් වූ ජේසුගේ අති අමිල වූ ශ්‍රී රුධිරය හමුවේ තම නිදහස ලබාදෙන මෙන් සිදුකළ ශුද්ධවූ භාරය ඔප්පු කිරීම සඳහාත් ශ්‍රී රුධිරයේ කුසල් පින් හේතු නිසා බවත් සමස්ත ලොවටම ප්‍රකාශ කිරීමට සමස්ත ශුද්ධවූ සභාව තුළ වසරක් පාසා ජූලි මස 01 වන ඉරිදා ශ්‍රීලේවල මංගල්‍යය පැවැත්වීමට 11 වැනි පියුස් ශුද්ධෝත්තම පියතුමා නියම කරන ලදී. නමවැනි පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ කාලයේ පමුණුගම දේවස්ථානය භාරව සිටියේ ශාන්ත සිල්වෙස්තර් බෙනදිකානු නිකායේ පූජක ඉතාලි ජාතික සිල්වෙස්තර මරිය පපිලි පියතුමාය.

ජූලි මස 3 වන ඉරිදා මෙවර ශ්‍රීලේ මංගල්‍යයේ 154 වන උත්සවය වත්මන් මීසම් පාලක ජාඇල කලාපීය අනුනායක සාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමාගේ අනුග්‍රහයෙන් ජයෝත්සවයෙන් පැවැත්වෙන්නේය. ශ්‍රී ලේ මංගල්‍යය පැවැත්වීමේ වරම් ලබා ඇත්තේ පමුණුගම ශුද්ධවූ ජුසේතුමාගේ දෙව් මැඳුරය.

ජෝ. සංගපාල ආරච්චි
පමුණුගම

පමුණුගම ශ්‍රී ලේ මංගල්‍යය ජූලි මස 3 ඉරිදා
advertistmentadvertistment
advertistmentadvertistment