පය ලිස්සා ළිඳට වැටුණු අය බේරාගැනීමට ගිය අසල්වැසියාත් ළිඳට වැටෙයි – විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන් දෙදෙනාම මරුට

609

ලිහිරියාගම – විල්ලයාගම කහටගහවත්ත ප‍්‍රදේශයේ ගෙවත්තක ළිඳක් ඉහමින් සිටි පුද්ගලයෙකු ළිඳ තුළවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ගිය අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටීම නිසා ඔහු බේරාගැනීමට පැමිණි අසල්වැසි අයෙකුද ළිඳ තුළ වූ විෂ වායුවක් ආඝ‍්‍රහණය වීමෙන් දෙදෙනාම 23දා මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය  පවසයි.

පය ලිස්සා ළිඳට වැටුණු අය බේරාගැනීමට ගිය අසල්වැසියාත් ළිඳට වැටෙයි - විෂ වායුවක් ආඝ‍්‍රාණය වීමෙන් දෙදෙනාම මරුට


මෙසේ මියගොස් ඇත්තේ විල්ලයාගම  කහටගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි එන්.පී. ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නම් 29 හැවිරිදි එක් දරු පියෙකු සහ ඔහුගේ නිවස අසල පදිංචි 38 හැවිරිදි කේ.එම්. ලසන්ත කුමාර නැමති තිදරු පියෙකු බවද පොලිසිය කියයි. ඊයේ (23) උදේ 10.00 ට මිය ගිය එන් පී ධනුෂ්ක ප‍්‍රදීප් සිරිකුමාර නැමති අය තම ගෙවත්තේ වූ ළිඳ කඹයක් හා බාල්දියක් ආධාරයෙන් ගොඩසිට ඉසිමින් සිට ඇති බවත් පසුව 11ග30 ට පමණ ළිඳ තුළවූ අපද්‍රව්‍ය ගොඩට ගැනීම සඳහා ළිං බැම්මට නැග ඇති අවස්ථාවේ පය ලිස්සා ළිඳට වැටුණු පසු ක්ලාන්ත ගතියක් ඇතිවෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

ධනුෂ්ක නැමති අය ළිඳට වැටීමත් සමග ඒ අසල සිටි ඔහුගේ 08 හැවිරිදි පුතා පියා ළිඳට වැටුන බව පවසමින් කෑගසා ඇති බවත් දරුවාගේ කෑගැසීම ඇසී එහි පැමිණි අසල්වැසි ලසන්ත කුමාර නැමති අය ළිඳට බැස ඇති බවත් ඔහුද බේරාගන්නා ලෙස කෑගසා ඇති අතර ළිඳ තුළින් යම් විෂ වායුවක් වහනය වෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. ළිඳ තුළින් යම් දුර්ගන්ධයක් වහනය වීම නිසා අසල්වැසියන් මහත් පරිශ‍්‍රමයක් යොදා කඹ සහ කම්බි ආධාරයෙන් ළිඳේ වැටුණු දෙදෙනා ගොඩට ගෙන දංකොටුව දිසා රෝහල වෙත රැුගෙන යන අස්ථාවේ  මියගොස් ඇති බවත් සඳහන් වේ. මියගිය දෙදෙනාගේ පස්චාත් මරණ පරීක්ෂණය මීගමුව මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇත. කඳානේගෙදර පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමරසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (52511) ලක්ෂ්මන් මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සඳලංකාව – ධම්මික රාජපක්ෂ
 

advertistmentadvertistment
advertistmentadvertistment