පරණ කුණු ගඳ නැවතත් (එමමයි එසේමයි)

1598

අවුරුදු 30 ක් පමණ පැරණි මිනී කුණු ගඳක් යළි දැනෙන්නට පටන් ගෙන තිබේ. 88, 89 දී ආණ්ඩුවේ බලය සියතට ගත් ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සහය ඇතිව මේ රටේ තරුණ පරපුරෙන් හොඳම 60000 ක් වෙඩි තබා හෝ කඩු වලින් කපා හෝ ඔළුවට ඇන ගසා හෝ කරන්ට් වද්දවා හෝ ඝාතනය කර පාරවල් අයිනේ පුළුස්සා දැමූහ. එසේ පිළිස්සීම සඳහා ඉන්ධන වශයෙන් පරණ ටයර් යොදන ලදී. ටයර් සහ අමු මස් එකට පිළිස්සෙන විට ඇතිවන දුගඳ මේ දෙවර්ගය වෙන වෙනම පිළිස්සෙන විට හටගන්නා දුගඳට වඩා අපුලය. ටයර් පිළිස්සෙන විට කාබන් මොනොක්සයිඩ් නිකුත් වේ. මිනී මස් පිළිස්සෙන විට එන්නේ බාබිකියු ගඳකි. 88, 89 සිට තවමත් ජීවිත පරිස්සම් කරගෙන සිටින ජනයාට මේ දුගඳ නාසයට වඩා හදවතට පුරුදුය. පසුගියදා රඹුක්කන දී හටගත් වෙඩි තැබීම් මගින් එකවරම එම ගඳ පිළිබඳ හැඟීම නැවත වරක් ඇතිවිය. පොලිසිය යනු මේ රටේ තිබෙන විශාලතම සිවිල් ආයතනයයි. 87000 ට වැඩි පිරිසක් මේ ආයතනය තුළ කාකි ඇඳුම් ඇඳගෙන සේවය කරති. මෙරට පොලිසියේ නිල නාමය ශ්‍රී ලංකා පොලිසිය වේ. එහෙත් යූ එන් පී ආණ්ඩුවක් පැමිණි සැනින් එය යූ එන් පී පොලිසිය බවට නම මාරුකර ගනී. සමගි පෙරමුණු රජය බලයේ තිබුණු කාලයේදී මේ රටේ පොලිසිය සමගි පෙරමුණු පොලිසිය බවට පත්විය. චන්ද්‍රිකා ගේ කාලයේදී මේ රටේ පොලිසියේ නම පොදු පෙරමුණු පොලිසිය විය. ඊළඟට එය එ ජ නි ස පොලිසිය බවට පත්විය.

දැනට මෙය පොහොට්ටු පොලිසිය වේ. මේ කතාව මෙතනින් නොනවතී. ඉදිරියේදීත් මේ රටේ බලයට එන හැම ආණ්ඩුවක්ම සිය බල කාලය තුළදී පොලිස් දෙපාර්තමේන්තුව බදු ගන්නවා ඇත. මෙය පොලිසියේ වරද මෙන්ම ආණ්ඩුවේද වරදය. යහපාලන ආණ්ඩුව තිබෙන විට මහින්ද ගේ ආණ්ඩුවක් ආවොත් ඊට සෙට්වීම සඳහා සුදුසුකම් සැපිරූ පොලිස් පිරිස් සිටියහ. මීළඟට මේ රටේ බලයට එන්නේ ස ජ බ නම් ඊට සෙට් වීම සඳහා බලාගෙන සිටින පොලිස්කාරයන් විශාල පිරිසක් පොහොට්ටු පොලිසියේ දැනටමත් සිටිති. ඒ කතාවේ එක් පැත්තක් පමණයි. අනෙක් පැත්ත මෙසේය. බලයට එන ඕනෑම ආණ්ඩුවකට හේත්තු වී ඒවායේ සිටින අටේ පංතිය පමණක් සමත් කුණු දේශපාලනඥයන්ට සර් කියා සෙලියුට් ගසා ඔවුන් ඉදිරිපිට යට ඇඳුම පිටින් ඇවිදීමට සූදානම් කට්ටියක් පොලිසියේ සිටිති. දේශපාලනඥයා සිටින්නේ පොලිසිය කොහොම බා ගන්නේද යන අදහසිනි. ඇතැම් පොලිස් නිලධාරීන් සිටින්නේ කොහොම බෑවෙන්නේද යන අදහසිනි. රඹුක්කන වෙඩි තැබීම වැනි කාලකන්නි වැඩ සිදුවන්නේ මෙවනි දෙගොල්ලක් එකට සෙට් වූ විටය.

මෙවර ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පටන් ගත් මුල් අවස්ථාවේදීම ඉහළ පොලිස් නිලධාරීන් කැඳවූ පොලිස්පති චන්දන වික්‍රමරත්න උද්ඝෝෂණකරුවන්ට මොනම හේතුවකටවත් වෙඩි නොතබන ලෙසත්, අවම වශයෙන් බැටන් ප්‍රහාරයක් හෝ එල්ල නොකරන ලෙසත් දැන්වීය. මෙය පොලිස්පති වික්‍රමරත්න විසින් සිය පොලිස්පති ජීවිතයේදී දෙන ලද එකම සහ හොඳම උපදෙස විය යුතුය. සාමාන්‍යයෙන් උද්ඝෝෂණවලට වෙඩි තබනු නොලැබේ. වෙඩි තැබීමක් සිදුකරන්නේ අයුතු ජනරාශියක් සිදුකරන කැරැල්ලකදී පමණි. උද්ඝෝෂණයක් සහ කැරැල්ලක් අතර වෙනස මෙසේය. උද්ඝෝෂණයකදී සිදුකරන්නේ සටන් පාඨ කීම, පෙළපාලි දැක්වීම සහ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම පමණි.

අයුතු ජනරාශියක් ඇතිකරන කැරැල්ලකදී රජයේ දේපළවලට හානි කෙරෙන අතර, මනුෂ්‍ය ජීවිත හානි සහ තුවාල හටගනී. රඹුක්කන උද්ඝෝෂණයේ වෙඩි තැබීම සිදුකෙරෙන්නේ කෑගල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්නගේ නියෝගයකට අනුවය. කේ. බී. කීර්තිරත්න බැලූ බැල්මට පෙනෙන්නේ ස්කාගාර සංස්ථාවට අයත් දේපළක් හෙවත් අරක්කු පීප්පයක් ලෙසය. අපේ දැක්ම වැරදිනම් අරක්කු පීප්ප කතාව ඉල්ලා අස්කරගනු ලැබේ. කෙසේ හෝ වේවා උද්ඝෝෂණයට වෙඩි නොතබන ලෙස පොලිස්පති විසින් උපදෙස් දී ඇති අවස්ථාවක කේ. බී. කීර්තිරත්න පොලිස්පතිත් ඉක්මවා යමින් විශාල හයියක් ගෙන වෙඩි තැබීම සිදුකර ඇත.

කුමක්ද මේ හයිය? අපට ආරංචි පරිදි ඒ හයිය වූ කලී පොහොට්ටු දේශපාලඥයන් දෙදෙනෙකි. මේ පිළිබඳ සියලු තොරතුරු ඉතා ඉක්මණින් හෙළිදරව් කරමු. කැරලි මර්දන නීතියට අනුව කැරලිකරුවන්ට වෙඩි තැබීමේදී දණහිසෙන් පහළට පමණක් වෙඩි තැබීම සිදුවේ. එහෙත් රඹුක්කන සිද්ධියේදී පොලිසියට උරහිස සහ දණහිස මාරුවිය. සිද්ධියෙන් මියගිය ඉන්දික ලක්‍ෂාන්ට ඔවුන් වෙඩි තැබුවේ උරහිසෙන් පහළ පිහිටි කොන්දටය. කොන්දෙන් ඇතුළු වූ වෙඩි උණ්ඩය මරණකරුගේ බඩ පළාගෙන එළියට පැමිණි අතර බඩවැල් ද එළියට පැමිණියේය. මරණකරු වෙඩිකා තිබුණේ උද්ඝෝෂණය සිදුවූ පෙට්‍රල් ෂෙඩ් එකට මීටර් 100 ත් 500 ත් අතර දුරකිනි. මෙහිදී මේ මරණකරු පිරිපහදු කිරීමේ අරමුණක් මේ පුවත්පතට නැත. ඔහුට එරෙහිවද නඩු දෙකක් තිබේ. ඒ මිනිහාට එරෙහිව නඩු 100 ක් තිබුණත් ඔහුට වෙඩි තැබීමේ අයිතිය පොලිසියට නැත. කොහොමටත් කේ. බී. කීර්තිරත්නගේ මුහුණ රූපවාහිනිය මගින් පෙන්වන ලද අවස්ථාවේදී අපට හැඟී ගියේ වැඩේ ඔතනින් කෙළවර වීම වාසනාවක් බවය. ඒ පෙනුම එපමණටම අවුල්ය. අරක්කු ලේබලයකට සුදුසුය. (අරක්කු ලේබලයකට නුසුදුසු නම් එයද ඉල්ලා අස්කරගනු ලැබේ.)

රඹුක්කන සිද්ධිය පටන් ගත්තේ එහි පිහිටි ෂෙඩ් එකට ගෙනෙන ලද පෙට්‍රල් බවුසරය හිස්කර පාරිභෝගිකයන්ට බෙදා නොදීම නිසාය. බවුසරය හිස් නොකරේ එදින රාත්‍රි දොළහට පෙට්‍රල් මිල ඉහළ යන බැවින් පසුදා වැඩි මිලට විකිණීම පිණිසය. උද්ඝෝෂණය ඇතිවූ අවස්ථාවේදී කේ. බී. කීර්තිරත්න රඹුක්කන පොලිසියේ නිලධාරීන් සිටින බවක් අමතක කර කෑගල්ලෙන් පොලිස් සෙට් එකක් ගෙන එයි. ඒ එන ගමන් ඔවුහු කනක හේරත්ගේ හෝ දිලුම් අමුණුගමගේ ගෙදරට ද ගියහ. මේ නිසා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම දේශපාලන බ්ලැන්කට් එකකින් වැසී තිබේ. මේ සිද්ධියේ සම්පූර්ණ වගකීම කේ. බී. කීර්තිරත්නත්, ඔහුව සුරතලයට ඇති කරන දේශපාලනඥයන්ටත් කෑගල්ලෙන් ගිය පොලිස් සෙට් එකටත් පැවරේ. අදට මේ කතාව මෙතැනින් නිමය. සෙස්ස පස්සට.

advertistmentadvertistment
advertistmentadvertistment