පරණ ගාණට ගත් තෙල් බවුසරය මඟ නතර කර රඹුක්කනට යාම ප්‍රමාද කරලා – වැඩි වාසියක් ගන්න ගිහින් ජීවිතයක් නැති කළා

610

කබීර් හෂීම්

පැරැණි මිලට මිලදී ගෙන රඹුක්කනට ගිය ඉන්ධන බවුසරය වරකාපොල නගරයේ නවත්වා තබා ගෙන පසුව වැඩි මිලට විකිණීමට යෑම නිසා වටිනා මිනිස් ජීවිතයක් රටට අහිමි වූ බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (20 දා) මැතිසබයේදී පැවසීය.

ඊට ඇමැති කනක හේරත් සහ එම සමුපකාර ඉන්ධන හල් සභාපති බස්නායක නමැත්තා වගකිව යුතු බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දින හතරක් තිස්සේ රඹුක්කන ජනතාවට තෙල් තිබුණේ නෑ. හෙට එනවා හෙට එනවා කියලා තෙල් නොදී ප්‍රමාද කළා. කනක හේරත් ඇමැතිවරයා ඒ වගකීම ගන්න ඕනෑ. ඒ සමුපකාර ෂෙඩ් එකේ බස්නායක කියන සභාපති ඇමැතිවරයාගේ ලේකම්වරයෙක්. ඒ වගකීම ඔහු ගත යුතුයි. ඉන්ධන මිල වැඩිවුණේ 18 දා රාත්‍රියේ. මේ ඉන්ධන බවුසරයට අදාළ ඉන්වොයිස් එක අරගෙන තිබෙන්නේ පරණ මිලට. පරණ ගාණට අරගෙන බවුසරය පිටත්වෙලා. රඹුක්කනට යන්න පෙර බස්නායක කියන ඒ සභාපතිවරයා බවුසරය වරකාපොල නගරයේ නවත්වලා. ඊළඟ දවසේ ගේන්න කියලා උපදෙස් දීලා තිබෙන බව යම් යම් අය ප්‍රකාශ කරලා තිබෙනවා. මේ බවුසරය ඊළඟ දවසේ උදේ ගෙනැල්ලා. බානකොට ජනතාව පරණ මිලට තෙල් ඉල්ලුවා. ඒක සාධාරණයි. මේක ගොඩින් බේරගන්න තිබුණා. කීයක් හරි වැඩිපුර ගන්න ගිය නිසා එක් ජීවිතයක් නැතිවෙලා තිබෙනවා. ඒ වගකීම රජය ගන්න ඕනා. රඹුක්කන සිද්ධියේදී පොලිසිය ත්‍රිරෝද රථයකට ගිනි තියලා තිබෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment