පරණ පව්

875

දැනට අවුරුදු 72 ක් වයස් වන පුද්ගලයකු මීට අවුරුදු 10 කට පෙර දස හැවිරිදි දැරියක් දූෂණය කළේය. මෙය සිදුවන්නේ ලුණුගම්වෙහෙර නමැති ගම්මානයේදීය. දැරිය දූෂණය කරන විට මේ කියන අනංගරාළගේ වයස අවුරුදු 62 කි. විත්තිකරුගේ නම එස්. එච්. ආරියදාස ය. දස අවුරුද්දක් තිස්සේ ඇසූ නඩුව 25 දා අවසන් කරන ලද අනංග රාළ දහ අවුරුද්දකට බරපතළ වැඩ සහිත හිර දඬුවමකුත් රුපියල් දහ දාහක දඩයකුත් රුපියල් ලක්ෂයක වන්දියකුත් ගෙවිය යුතු බව ගරු උසාවිය නියෝග කළේය.

දූෂණයට පත්වූ දැරියගේ වයස අද වන විට අවුරුදු 20 කි. මව්පියන් නොමැති වීම නිසා දැරිය මිත්තණියගේ භාරකාරත්වය යටතේ හැදී වැඩුනාය. ස්ත්‍රී දූෂකයා සිද්ධියට අදාළ දැරියගේ සහෝදරයාගේ මිත්‍රයෙකි. මේ මිත්‍රයාත් දැරියගේ සහෝදරයාත් ලුණුගම්වෙහෙර ජලාශයේ මසුන් මරමින් සිටින අතර හිතවත් වූහ. ඉන්පසු අනංග රාළ ඉහත කී නව යෞවනයා සමග ඔහුගේ ගෙදරට ඒමට පුරුදු විය. දැරිය දූෂණය කෙරුණේ එවැනි අවස්ථාවකදීය. මේ අනංගයාගේ මල්සර දුන්නේ ඊතලය කඩා බිඳ දැමිය යුතු බව අපි යෝජනා කරමු. එසේම අනංගයා හිරේ යැවීමෙන් යම් ප්‍රමාණයක හෝ සාධාරණයක් දැරියට ඉටුවීම ගැන අප තුළ සතුටක් තිබේ. ස්ත්‍රී දූෂකයන් ස්ථිර වශයෙන්ම එල්ලා මැරිය යුතුය. වඩාත්ම යහපත් ක්‍රමය වන්නේ ප්‍රසිද්ධ පිට්ටනියකට කැඳවාගෙන විත් ස්ත්‍රී දූෂකයාගේ හිස ගසා දැමීමය. එහෙත් අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දීම විදේශික බලවේග විසින් අපට තහනම් කරනු ලැබ ඇත. අප මේ තහනම කැඩුවොත් අයි. එම්. එෆ් එක අපට ණයට සල්ලි දෙන්නේ නැත. අප ණය ඉල්ලීමට යනවිට ආසියානු සංවර්ධන බැංකුවේ කට්ටිය ගේට්ටු වසනවා ඇත. එසේම ලෝක බැංකුව අපට කියනු ඇත්තේ මේ දිනවල ණය දීම තාවකාලිකව තහනම් කර ඇති බවය.

ළමා වියේදී පිරිමි දරුවන් සහ ගැහැනු දැරියන් කාමාතුරයන් වෙතින් කෙළෙසීම දුලබ කාරණයක් නොවේ. මෙහි ලොකු සමාජ ප්‍රශ්නයක් ඇත. දූෂණයට පත්වූ ළමයා තමාට වූ හදිය කිසිවිටකත් සිය වැඩිහිටියන්ට කියන්නේ නැත. මේ නිසා ඇතැම් දැරියන් ගැබිනියන් බවට පත්වන තුරුම දිගින් දිගටම අපහරණය වෙති. යුරෝපයේ රටවල ඉතා සාධනීය නීතියක් තිබේ. එනම් කිසියම් කාන්තාවක් ළමා වියේ සිටියදී දූෂණයට හෝ අපහරණයට ලක්වී නම් අවුරුදු 25 ට පසු පවා ඒ සම්බන්ධයෙන් උසාවි යෑමට ඉඩ කඩ තිබීමය. මේ ආකාරයෙන් දැරියන් දූෂණය කළ ලෝක ප්‍රකට නාකි හම්පඩයින් රැසක් යුරෝපයේ අධිකරණ වෙත දක්කාගෙන යන ලදහ. නඩු ඇසීමෙන් පසු විත්තිකරුවන් දඩ සහ වන්දි මුදල් ගෙවීමෙන් පසු අවුරුදු දහයට පහළවට හිරේ ගියහ.

දූෂණයට ලක්වීමක් යනු ගැහැනියකට සිය ජීවිත කාලය තුළ ලැබිය හැකි නපුරුම අත්දැකීමකි. යුද බිමේදී කාන්තාවන් දූෂණය කෙරෙන අතර එතැනදී එම ක්‍රියාව මානසික අවියක් ලෙස පාවිච්චි කරනු ලැබේ. යුද හමුදාව මගින් හෝ ප්‍රතිවාදී කණ්ඩායමක් මගින් සිය බිරිඳ දූෂණයට ලක්වූ බව දැනගත් කල්හි ඇගේ සැමියා අපමණ මානසික අර්බුදයකට පත්වේ. එවිට උන්මත්තකයකුගේ මානසික මට්ටමට ළඟාවන හෙතෙම ප්‍රතිවාදියාට එරෙහිව තවදුරටත් සටන් නොකරන බංකොලොත් තත්ත්වයකට පත්වෙයි. මේ නිසා ස්ත්‍රී දූෂණය නමැති අවිය සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු වන අතර ස්ත්‍රී දූෂකයන්ට මරණ දණ්ඩනය දිය යුතුමය. යුරෝපයේ තිබෙන නීති රීතිවලට අනුව පරණ පව්වලටද දඬුවම් ලැබීම ඉතාම සාධනීය ය. එම නීතියේ අර්ථ නිරූපණයට අනුව සිද්ධිය වන අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වයස 18 සම්පූර්ණ කර තිබුණේ නම් පැමිණිල්ලට ස්ථිර වශයෙන්ම නඩු යා හැකිය. ශ්‍රී ලංකාවේ නීති රීතිවලට ප්‍රතිසංස්කරණ ගණනාවක් අවශ්‍ය වේ. ඒ ගැන මතු දින කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment