පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

564

බොහෝ මිනිසුන් තුළ ඇත්තේ අපූරු පුරුදුය. සමහර පුරුදු සමාජයට හිතකර නොවන ඒවා ය. එහෙත් සමාජයට බොහෝ සෙයින් හිතකර සමාජය අර්ථවත් කරන බොහෝ පුරුදු ඇති අය සමාජය තුළ කොතෙකුත් අහමුවේ. සමහර පුරුදු ඇති අය ඇවිදින විශ්වකෝෂ බඳුය. තවත් සමහර අය සමාජයේ වීරයෝ බවට පත්වෙති. තවත් බොහෝ අයගේ පුරුදු සමාජයේ හිතසුව පිණිසම හේතු වේ. එවැනි බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම සමාජය සුබසිද්ධිය වෙනුවෙන් සිය දායකත්වය සපයන්නෝ වෙති. ඒ අතර ජීවිතය කෞතුකාගාරයක් බවට පත්කර ගත් අයව ද අපට මුණගැසේ. ‘බෝතලේ ජයවර්ධන’ එවැන්නෙකි. මීරිගම ප්‍රදේශයේ බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ එලෙසිනි. හෙතෙම සමාජශීලීය, සමාජය මිනිසුන් කෙරෙහි, පරිසරය කෙරෙහි අතිශය ලෙන්ගතු චරිතයකි. ඔහුගේ ‘පුරුද්ද’ අපූරු එකකි. අප පෙර කී පරිදි ඔහු ජීවිතය කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරගත් තැනැත්තෙකි. ජයවර්ධන මහතා සිය ‘කෞතුකාගාරය’ සකස් කොට ඇත්තේ ‘සන්නිවේදන උපකරණ’වලිනි. ඒ අතරම බොහෝ පැරණි තවත් කෞතුක වටිනාකම්වලින් යුත් භාණ්ඩ රැසක් ඔහු සතුව තිබේ. ඒ අතර දේශීය මෙන්ම විදේශිය පෞරාණික භාණ්ඩ රැසකි.

ජයවර්ධන තම කතාව කියන්නට පටන් ගත්තේ මෙලෙසය.

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

“මතකය තිබෙන කාලයේ ඉඳලා ම මගේ තාත්තා එවකට හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ රියැදුරු ලෙස සේවය කළ අයෙක්. ඊට පෙර දෙවන ලෝක යුද්දෙ කාලයේ දී යුද සෙබළෙක් ලෙස සේවය කළා. එයින් පසුව යුද්ධය ඉවර වෙලා ලංකාවට ආ විගසම සේනානායක පවුලේ රියැදුරු ලෙස සේවයට එක්වුණා. ඒ නිසා ම මගේ තාත්තා මිලිටරි මහත්තයා යන නමින් ප්‍රදේශයේ කොයි කා අතරත් ජනප්‍රිය චරිතයක් වුණා.”

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

ඒ කාල වකවානුව ගැන මතකය හරිම සුන්දරයි. මගේ පුංචි කාලේ ඉඳල ම මගේ තාත්තා මාවත් එක්කරගෙන බෝතලේ වලව්වට යනවා. අගමැතිතුමාගේ මිනිටෝ කාර් එක, ලෑන්ඩ්රෝවර් පරණ ජීප් එකත් වැඩි හරියක් තිබුණේ අපේ ගෙදර. ඒ නිසා තාත්තා සමගින් ඒ කාර් එකේ නැඟලා යන්න අවස්ථාව ලැබුණා. ඒ යනකොටත් මට ඒ පැරණි වාහන ගැන ලොකු ආසාවක් ඇතිවුණා. ඒ යනකොටත් යන්නේ පරණ ගෙවල්වලට, බෝතලේ වලව්ව, පහළ වලව්ව ඒ තැන්වලදී මට දකින්න ලැබුණෙත් පැරණි දේවල්. පැරණි රේඩියෝ, පැරණි වාහන, පැරණි ගෘහභාණ්ඩ ඒ නිසාම පැරණි ගෙවල්වලටත් ලොකු ආසාවක් ඇතිවුණා. ඔය අතර වාරෙදි තමයි මගේ තාත්තාට අගමැතිතුමා දීලා තිබුණා පැරණි දුම් පයිප්පයකුයි, පැරණි කැමරාවකුයි. ඒක තමයි මගේ මේ පැරණි භාණ්ඩ එකතුවේ මූලාරම්භය.

සංගීත කලාගාරයක් බඳු වූ මැද සාලයේ ග්‍රැමෆෝන්, ගුවන් විදුලි යන්ත්‍ර, පැරණි කැමරා, රෙකෝඩර් ප්ලේයර්, ග්‍රැමෆෝන් ගීත තැටි, ප්‍රොජෙක්ටර්, කලින් කලට ආ ගුවන් විදුලි යන්ත්‍ර ආදියෙන් පිරී ඇත්තේ කෞතුකාගාර ස්වරූපයකිනි. ඒ වගේම ග්‍රැමෆෝන් තැටියේ සිට අද පවත්නා සංයුක්ත තැටිය දක්වා විකාශය වූ තැටි ද ඔහුගේ නිවසේ දැක බලා ගැනීමට අවස්ථාව ඇත. පැරණි ඔරලෝසු, පෙට්ටගම්, පැරණි ලාම්පු, බොයිලේරු, පැරණි බීරංග, ගල් වංගෙඩි, කුරක්කන් ගල්, ඒ මහතාගේ නිවසේ දක්නට ඇත්තේ අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහාය.

කොතරම් පැරණි වුවත් ග්‍රැමෆෝන් තැටියෙන් නැඟෙන සංගීත ස්වර රටා තවමත් කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම මිහිරි හඬින් යුක්තය. ඒ අතරේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පීන් දෙපළක් වන සුනිල් ශාන්තයන්ගේ සහ අමරදේවයන්ගේ ගීත තැටි ද ඒ අතර දක්නට ඇත්තේ ඒවා ආදරයෙන් සුරක්‍ෂා කරන හෙයිනි. ඔහුගේ නිවසට පැමිණෙන්නන් ඉතාමත් සුහදත්වයෙන් යුතුව පිළිගෙන එම ගීත තැටි වාදනය කරමින් ඔවුන්ව සතුටු කිරීමට ඒ මහතා සැදී පැහැදී සිටියි. තවද ලී කැටයම්වලින් නිර්මාණය වූ දේවල් පමණක් ඒ මහතාගේ නිවසේ තිබීමත් ඔහුගේ කලාකාමී ජීවිතය කොතරම් සුන්දර ද, අර්ථවත් ද යන වග එම ස්ථානය දැකබලා ගැනීමට පැමිණෙන කොයි කාටත් සිතට දැනෙන කාරණයකි.

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

සිතා ගැනීමටවත් නොහැකි වන අයුරින් ජයවර්ධන මහතාගේ නිවස අලංකරණය කරන ලද්දේ ද ඉපැරණි ආකාරයටය. සේනානායක පරපුරේ පැරණි වලව්වල ස්වසනය ගනිමින් සහ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපස ඇති විශාල කණුවල ස්වභාවය මෙහි ලෑලි කැටයම් මරදාන දුම්රිය ස්ථානයෙනුත් ආදේශ කර ගනිමින් මෙම නිවස ඉදිකර ඇති ආකාරය දුටු පමණින් කාගෙත් සිත සතුටින් පිනායන ආකාරයට ගොඩනඟා ඇත. ඒ වගේම නිවස ඉදිරිපිට විරාජමානවී සිටින ගේට්ටුව ඈපා පංඬාංග ලිතෙහි අයිතිකරුගේ පැරණි නිවසේ ගේටුටව බව ද ප්‍රකාශ කෙරිණි. එසේම මෙම නිවසට විදුලි සීනුවක් වෙනුවට එයට ආදේශකයක් ලෙසින් පිත්තලින් නිමැවුණු ඝණ්ඨාරයක් එම කාර්යය ඉටුකිරීමට සැදී පැහැදී සිටිනු දක්නට ඇත.

බෝතලේ සුන්දර ගම් පියසෙහි ඉපැදුණු පී. ජයවර්ධන මහතා තම පාසල් ජීවිතය තවලම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙනුත්, කීනදෙණිය මහා විද්‍යාලයෙනුත්, පසුව ද්විතියික අධ්‍යාපනය සඳහා මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

ඉන් අනතුරුව ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ මෝටර් රථ කාර්මික පුහුණුව සඳහා එක්වීමෙන් පසු එහි අවසන් අදියරේ පුහුණුව සඳහා කොළඹ යුනයිටඩ් මෝටර්ස් ආයතනයට වෙත යොමුවිය. එම ආයතනය තුළ ඉතාමත් ප්‍රියමනාප, විශ්වසනීය සහ මහත් කැපවීමෙන් ගබඩා පාලකයකු ලෙස 2016 වසරේ තම සේවයෙන් විශ්‍රාම දිවියට යන විට ආයතනය තුළ තම වෘත්තීය ජීවිතය ඉතාමත් සතුටින් යුතුව ගත කළ බව ඒ මහතා අප සමග පැවසීය. ඒ වගේම විශ්‍රාම යන තෙක්ම තමන්ගේ කැපවීම උදෙසා ආයතනය තුළින්ම ගරු බුහුමන් ලැබීමට තරම් වාසනාවන්ත පුද්ගලයකු බවට පත්වී ඇත.

දෙදරු පියකු වන ඒ මහතා තම පුතණුවන්ගේ හදිසි වියෝවත් සමගින් තම බිරිඳ සහ දියණිය සමගින් මීරිගම කොටදෙණියාව පාරේ තලාකොළ යාය ප්‍රදේශයේ නිවහන තුළ මෙම පෞරාණික වටිනාකමකින් යුත් භාණ්ඩ තම ජීවිතය කරගනිමින් ආදර්ශවත් පුද්ගලයකු ලෙස කටයුතු කරන බව පෙනෙන්නට ඇත.

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

මෙම ඉපැරණි භාණ්ඩවල ඇලුම් කළ ඒ මහතා අප හා පැවසුවේ මෙවන් අදහසකි. ඇත්තට ම මම මේවා සියල්ල කළේ විනෝදාංශයක් ලෙසටයි. නමුත් නොසිතූ විදිහට තාක්‍ෂණ විෂය හදාරන පාසල් දරුවන් බොහෝ දෙනකු මේ ස්ථානයට එනවා නැරඹීට සහ ඒ කරුණු එක්රැස් කිරීමට. ඒ වගේම පොතපතට අවශ්‍ය දෑ එකතු කරන විද්‍යාර්ථයින්, කලා කරුවන් වගේම ඡායාරූප ශිල්පීන් ද ගෙදරට පැමිණිලා මනාල යුවළ සමග ඡායාරූප පවා ගන්නවා. ඒ නිසා මේ තුළ මහා විශාල වටිනාකමක් තිබෙනවා කියලා මම දැන් විශ්වාස කරනවා. ඒ වගේම මට ලොකු සතුටක් දැනෙනවා මෙයින් කෙනෙකු යම් ප්‍රයෝජනයක් ගැනීම ගැන එ වගේම විශාල පිරිස් අපේ ගෙදරට නිතර නිතර එන එකත් සමහර වෙලාවයට යම් බාධාවන් ඇති නොවනවාම නෙමෙයි. ඒ නිසා මේ සියලුම භාණ්ඩ වෙනම ස්ථානයක ස්ථාපිත කර තවදුරටත් මේ සමාජයට යම් ප්‍රයෝජනයක් වන ආකාරයට සංරක්‍ෂණය කරන බලාපොරොත්තු වන බව ද ඒ මහතා අප හා පැවසීය.

මිනිසකුට ජීවිතය තුළ තමන්ට කළ හැකි විවිධ කටයුතු මුණගැසේ. මිනිසත්කම අර්ථවත් කරමින් අන් අයට සතුට විනෝදය මෙන්ම දැනුම ද රැගෙන එන මෙවන් අපූරු කටයුත්තක නිරත වෙන ජයවර්ධන මහතාට සුබ පතමින් අපි තලාකොළයායෙන් සමුගනිමු.

පරණ සින්දුවක් අහන්න ශත වර්ෂයක් පරණ ග්‍රැමෆෝනයක් හොයාගෙන මීරීගමට යමු!

සටහන සහ ඡායාරූප –
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment