පරමාකන්ද විහාර කැලේටත් අබ සරණයි

515

පරිසරාත්මකව, පුරාවිද්‍යාත්මකව දැවැන්ත විනාශයක්

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම බෞද්ධ ආගමික මධ්‍යස්ථානය සේ සැලකෙන ආණමඩුව පරමාකන්ද පුරාණ රජමහා විහාරය අක්කර පනහක (50) පමණ භූමි භාගයක මහ කැලය කපමින්, ඩෝසර් කරමින් දැවැන්ත පරිසර විනාශයක් සිදු කරගෙන යමින් පවතින බැව් ප්‍රදේශවාසීහු හා පරිසරවේදීහු චෝදනා කරති.

පරිසරාත්මක, ජෛව විද්‍යාත්මක මෙන්ම සංස්කෘතිමය, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති, මෙම මහ වනය නිසා පුරාණ පරමාකන්ද රජමහා විහාරයට ද මහත් වටිනාකමක් ලැබී තිබූ බව ඔවුහු පෙන්වා දෙති. එසේ වුව ද මෑතක දී කොළඹ ප්‍රදේශයෙන් යැයි පවසමින් කිසියම් පිරිසක් මෙම භූමි භාගයේ පලතුරු වැවීමට කැලය හෙළි කරමින් ඩෝසර් කරමින් පරිසරය ම විනාශ කරන බව ඔවුහු පවසති. මේ පිළිබඳව දැනටමත් ආණමඩුව පොලිසියට, පරිසර ආයතනයක් පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, පුරාවිද්‍යා, පරිසර අංශවලට ද පුත්තලම දිසාපති, ආණමඩුව ප්‍රාදේශීය ලේකම්ට ද පැමිණිලිකොට විමර්ශනයක් සිදු කරන මෙන් ඔවුන් ඉල්ලා ඇත. වළගම්බා රජු පරසතුරන්ගෙන් සැඟවී සිටීමට භාවිත කළැයි සැලකෙන ගිරිකුළු ලෙන් හා අවට විසිරුණ ගල්තලා පිහිටි අති සුන්දර පරමාකන්ද රජමහා විහාරයට පෞඪ බවක් පෞරාණික බවක් හා සෞන්දර්යාත්මක අගයක් මෙතුවක් ගෙන ආයේ, විහාරස්ථානය වටකොට පිහිටි අති සුන්දර මහ කැලයයි.

අක්කර අසූවක පමණ භූමි භාගයක් හිමි විහාරස්ථානය, අහසේ සිට බලනවිට දිස් වනුයේ හරිත වනය මැදින්, ඉස්මතු වී පෙනෙන සෙල් කුළුසේය. මහ ගල හා රහතුන් වැඩ සිටි භාවනා කළ රහත් ගල, දලුක් ගල ප්‍රධානකොට ඇති බිමේ දිය පොකුණු පැරැණි විහාර, චෛත්‍ය, ඉපැරණි ලෙන් විහාර පිහිටා ඇත. මහසිළු මහතිස් රජ සමයේ දුටුගැමුණු රජ සමයේ මෙම විහාර කර්මාන්තය ඇරැඹුණු බව සඳහනකි. සෙල් ලිපි රැසකි. කටාරම කොටා ඉදි කළ ඉපැරණි විහාරයේ නුවර යුගයට අයත් බුදු පිළිම වහන්සේ හා චිත්‍ර රැසකි. හංස පූට්ටු චිත්‍රයට සාමාන්‍යයෙන් හංසයන් සිවු දෙනකු සිටියත් මෙහි ඇති සිතුවමක හංසයන් පස් දෙනෙකි. එවැනි සිතුවමක් සිරිලක ඇත්තේ පරමාකන්දේ පමණි. සඳ එළියට දිලිසෙන චන්ද්‍රකාන්ත පාෂාණයෙන් තැනූ බුදු පිළිම ද පුරාවිද්‍යාත්මක අගය ඇති තවත් බොහෝ දෑ ද මෙහි දක්නට ලැබේ. අඩිතුන් හාරසීයක පමණ උස් වූ මහ ගලට ද විලක් මත ලක්‍ෂ තුනකින් රැඳී, එල්ලා වැටෙන්නට මෙන් තිබෙන ගලක් සහිත රහතුන් දෙපාවලින් මැඬ, භාවනාවට උපයෝගී කර ගත්තා යැයි පැවැසෙන රහත් ගලට ද නැඟ අවට සෞන්දර්යාත්මකවන පරිසරය නැරඹීමට, විඳීමට හා ඉපැරණි විහාරස්ථානය වන්දනා කිරීමට ද වාර්ෂිකව වෙසක්, පොසොන්, ඇසළ මාසවල දී දිවයිනේ දස දෙසින් වන්දනාකරුවෝ ලක්‍ෂ ගණනින් මෙහි පැමිණෙති. මෙම පරිසර විනාශය සැල වූ වහා එය දැකගැනීමට ගියවිට දක්නට ලැබුණේ ඛේදනීය දසුනකි. මහ ගස් කීපයක් ඉතිරිකොට තිබෙණු හැර ඉතිරි කැලය ඩෝසර් යොදා ඉවත්කොට, වසර දහස් ගණනක් තිස්සේ තිබූ මහ වනය, නිරුවත්කොට තිබුණි. එහි සිටි මුවන්, ඌරන්, මීමින්නන්, ඇතුළු ලොකු, කුඩා වන සීපාවුන් ද කුරුල්ලන් ද සමනලුන් ද සියල්ලෝ ම පලා ගොසිනි. පුද බිමක පහය යටතේ, අභය භූමියක් මෙන් තිබූ මේ නිදහස් බිමේ මින් ඉදිරියට ආරක්‍ෂාවක් ජීවනයක්, ආහාර, ජලය, වාසස්ථානයක් නැතැයි දැනී උන් සැම ඈතට ගොසිනි. එසේ ද වුවත් මේ අවට ඇත්තේ ගම්මාන රැසකි. දඩයක්කරුවන්ගේ මකර කටට මිස ඔවුන් වෙන කොහි යන්නද?

පරමාකන්ද විහාර කැලේටත් අබ සරණයි

තැන්හි, තැත්හි, වියළුණු කැලෑ කට්ටි ගිනි තබනු පෙණුණි. ඩෝසර් නද මහ කැලයේ ගිගිරුම් දෙමින්, සතුන් බිය වද්දමින් ඈතට පලවාහරිමින්, ඉපැරැණි රජ දවසේ පටන් මෙතුවක් සුරක්‍ෂිත වී තිබූ මහ වනය මහ පොළොවට හෙළා, තල්ලු කර දමනුයේ සිත් පිත් නැති අමානුෂික ගති ඇති ඩෝසර්කරුවන්ය. යම් යම් විරෝධතා නිසා ඔවුන් දින කීපයකට විරාම ලබා ඇතත්, ඔවුන් දැනට ම බිමේ අර්ධයක් පමණ විනාශකොට ඇත. යළි ඔවුන් වන විනාශය අරඹනු ඇත.

මා මේ පිළිබඳව වගකිව යුතු පරමාකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති, රාජකුමාර, වන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක දුරන්ධර ඔට්ටුකුලමේ ප්‍රඤ්ඤානන්ද හිමියන්ගෙන් තොරතුරු විමසුවෙමි. උන් වහන්සේ ආනමඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු (පොදු ජන පෙරමුණ) ලෙස ද කටයුතු කරති.

“බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් අනුමැතිය හා බලය ලත් ලිප රැගෙන මා හමු වීමට පැමිණියා. මා ඔවුන්ගෙන් මේ පිළිබඳව විමසුවා. පුරාවිද්‍යා බලපත්‍ර ගන්නා බව ඔවුන් කීවා. රාජ්‍ය මට්ටමින් ග්‍රාමීය සංවර්ධන හා රැකියා ප්‍රවර්ධන කටයුත්තක් කෙරෙන නිසා මා ඉඩ දුන්නා.

ඇරත් මේ මහ කැලේ මට, අපට බේර ගන්න බැහැ. ගම්වල උදවිය දඩමස් හොයන්න, ලී, ඉනි කපන්න, නිධන් හාරන්න, බේත් ද්‍රව්‍ය සොයා ගන්න, දර කපා ගන්න, කසිප්පු පෙරන්න, හංගන්න, දුරාචාර වැඩ කරන්න මේ කැලේ භාවිත කරනවා. මම කොච්චර කියලා පොලිසි, උසාවිවලට බඩ ගාන්න ද ගමේ අයට මේ කැලේ රැක ගන්න ඕනි නැහැ. හාමුදුරුවෝ තනියම රකින්නේ කොහොමද?

පරමාකන්ද විහාර කැලේටත් අබ සරණයි

විසිනව අවුරුදු බද්දක් යටතේ විහාර බිමට අයිති අක්කර අසූවෙන්, අක්කර පනහක් රජයේ අනුග්‍රහ යටතේ පරිසරයට හානි නොකර අඹ, ගස්ලබු, කෙසෙල්, පලතුරු වගා කරන්නේ මෙම සමාගම ගමේ අයට රස්සා දීලා. කම්කරු, මුරකරු, ලිපිකරු, ඇතුළු රැකියා පන්සීයක් විතර එයාලා ගමට ලබාදෙනවා. මෙසේ දුප්පත් අයට ඒක සහනයක් වේවි.

රටේ මිනිස්සු බඩගින්නේ ඉන්නකොට, බඩගිනි නිවන්න, දිනපතා අතට මුදල් ලැබෙන මේ වගේ ව්‍යාපෘති අරඹන එක ගැන මම නම් විරුද්ධ වෙන්නේ නෑ. මිනිසුන් කාල බීල සතුටින් ජීවත් වෙනවා නම් පන්සලට දාන වේලක් හරි පූජා කරන්න අතේ මිටේ හයිය තියෙනවා නම් ඒ ගැන හාමුදුරුවන් වශයෙන් අපිත් සතුටු වෙන්න ඕනෑ.”

මේක මේ මිනිස්සු අවුරුදු විසිනවයකට පස්සේ ආපහු පන්සලට දෙනවා සංවර්ධන භූමියක් බවට පත් කරලා. ළිං, ජල මාර්ග, විදුලිය කම්බි වැට, පාරවල් සමගින්ම ගමට, පන්සලට මදි ද ඒ ටිකම. සංවර්ධනය, හා සංස්කෘතිය අතරේ දැවැන්ත ගැටුමක්, අර්බුදයක් නිර්මාණය වී තිබේ. එමකුදු නොව, පරිසරය ද විකෘති වී තිබේ. ඔය කියන තරමේ සංවර්ධනයක් ගම තුළ සිදු කෙරේවි ද යන්න ජනතාවගේ ප්‍රශ්නයකි. පුරාණ විහාරස්ථානයක පෞඨත්වය, අභිමානය, ගුප්තබව සහමුලින්ම සිඳී ගොසිනි. සිසිල් පරිසරය, හරිත වන මදුලු, තුරුලතා විනාශ වී ගිනියම් අව්ව, රශ්මිදහරා හමා යමින් පවතී. තැන තැන ඉපැරැණි ගල් තලා, ගල්කුළු අසරණව ම සිටී. ගැමියෙක් පැවැසුවේ මහත්තයෝ දැන් රෙද්ද කඩලා දාලා වගේ කියායි. සැබැවින් පරමාකන්ද කැලේ අද නිරුවතිනි. නිධන් සොරුනට දැන් එළිපිට ම, නීත්‍යානුකූල බලපත් මාර්ගයෙන් මේ නිධන් බිමේ නිධන් ගොඩදැමීමට හැක. එහෙත් අපගේ ශ්‍රේෂ්ඨ හෙද වංශ කතාව කියවෙන නිහඬව මෙතෙක් සඟවා ගෙන සිටි පුරාවිදු සාක්‍ෂි විනාශ වන්නේ නම් ඊට වගකිව යුත්තෝ කවරහු ද?

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment