පරම සත්‍ය දහම ලෝකයාට පහදාදීමට මුලපිරූ මැදින් පුන් පොහොය

159

මැදින් පොහොය යනු ව්‍යවහාරික වර්ෂයේ තුන්වැනි පොහොයයි. දුරුතු හා නවම් පොහෝයවල පවත්නා ශාසනික හා ලෝකභිවෘද්ධි වටිනාකම මැදින් පොහොයට ද බලපායි. මිනිසා කෙරෙහි පහන් සිතුවිලි සමුදායයක් ජනිත කරලීමට ඉවහල් වන ඉතාම වැදගත් සිද්ධි සමුදායක් සිදු වූ පොහොයක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

අක්‍රියවාදය, උච්ඡේදවාදය ආදී විවිධ සමාජ දාර්ශනික මත පැවැති යුගයක නිගණ්ඨනාථපුත්‍ර මක්කලිඝෝසාල, කකුද කච්චායනය, අජිත කේශකම්බල ආදී ෂට් ශාස්තෘවරුන් සිටි යුගයක, විවිධ දෘෂ්ටි කෙරෙහි සිත් සතන් යොමු වූ අවධියක, නිශ්චිත ගමනක දෘෂ්ටියක ගමන් කිරීමට නොහැකි වූ වකවානුවක බුදුරදුන් බුද්ධත්වය ලබා මිථ්‍යා මතවාද සියල්ල සිඳ බිඳ දමා පරම සත්‍ය හෙළිකොට, ඒ සත්‍ය දහම ලෝකයාට පහදා දීමට මුල පිරුවේ ද මැදින් පෝය දා ය.

බෝසතුන් බුද්ධත්වයට පත්ව ලෝකාර්ථචර්යාවේ යෙදෙන බවත්, ලෝකාභිවෘද්ධිය උදෙසා ක්‍රියා කරන ආකාරයත් පිළිබඳව කිඹුල්වත් නුවර වෙසෙන සුද්ධෝදන රජතුමාට දැන ගන්නට ලැබීම මත බුදුරදුන්ට කිඹුල්වතට වැඩම කරවීමට ඇරියුම් කළේ ද මැදින් පුන් පෝදාය. විසි දහසක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන කිඹුල්වතට වැඩම කරවීම සිදු වූයේ මැදින් පුන් පොහෝ දාය.

සුදොවුන් රජු ඇමැතියකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහනුවරට ගොස් රජුගේ පණිවුඩය දෙන්නට සැලැස්වුව ද, ඇමැතියා රජගහ නුවර වේළුවනාරාමයට ගියත් බුදුරදුන් සිය සිවු පිරිසට ධර්මය දේශනා කරන අවස්ථාවේ දී රජුගේ පණිවුඩය පසෙක තබා බණ අසා පිරිවර සමඟ රහත්ව මහණ විය. ගිය අය යළි නොපැමිණියේ මන්දැයි රජුට ප්‍රශ්නයක් විය.

මෙයින් නිරූපණය වන්නේ කුමක්ද? කිසියම් පුහුදුන් මිනිසකු බුදුරදුන්ගේ ධර්මය අසා පහන් සංවේග ජනිත කොට ගෙන රහත් වූවා නම් එම ධර්මය කොතරම් දුරට ජීවිතයට බලපාන්නේ ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු නො වේ.

ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම මෙහිදී වැදගත් ලක්ෂණය වේ. යථාර්ථය යනු ඇත්ත ඇති සැටියෙන් දැකීම යි. ඇත්ත ඇති සැටියෙන් දැකීම යනු කුමක්ද? යමෙකු මෙලොව උපත ලද හොත් මියයාම ඒකාන්ත යි. යමක් මෙලොව ඇති වුවහොත් නැති වෙයි. මෙයයි ලෝක ස්වභාවය. ‘අනිත්‍ය-දුක්ඛ-අනත්ත’ යනුවෙන් බුදුරදුන් ත්‍රිලක්ෂණය පහදා දුන්නේ මෙය ය. ජීවිතය යනු සදාකාලික දෙයකි. යමකු ඉපදුණාට පසු මිය ගිය විට යළි ඉපදීමක් නොමැත. ආත්මය මේ භවයෙන්ම කෙළවර වන්නේය යනාදි නිගමනවල එල්බ සිටි ජන සමාජයක ඇත්ත ඇති සැටියෙන් දැකීම ද අතිශය භාග්‍යයකි. යම් යම් මායාවල, මිථ්‍යාවල එල්බගෙන සිටි ජනයාට බුදු සමය සහන් එළියක් විය.

බුදුරදුන්ගේ පරම සත්‍යය දැන ගැනීමේ අදහසින් සුද්ධෝදන රජු නව වාරයක් ඇමැතිවරුන් නව දෙනෙකු ප්‍රධාන නව දහසක් පිරිස බුදුරදුන් කිඹුල්වතට වැඩමවාගෙන එනු සඳහා පිටත් කර යැව්ව ද ඒ සියලු ගමන් නිෂ්ඵල විය.

නිරර්ථක වෑයමක් ද විය. ඒ සියලු දෙනා යළි නුවරට ගෙන ඒමට නොහැකි වූයේ බණ අසා රහත් වූ බැවිනි.

රජුගේ ජීවිතය අවසන් වන්නට පෙරාතුව බුදුරදුන් කිඹුල්වතට වැඩම කළ යුතු යැයි රජු කියා සිටියේය. එවිට රජු කළේ බෝසතුන් හා එක දා උපන් කාලුදායි ඇමැතිවරයා බුදුරදුන් කිඹුල්වතට වැඩම කරවීමට යැවීම ය. එම අවස්ථාවේදී ඇමැතිවරයා කියා සිටියේ මහණ වීමට ඉඩ දෙන්නේ නම් පමණක් ඔබතුමාගේ පණිවුඩය රැගෙන යන බවයි. එම පොරොන්දුව මත රජගහනුවරට ගිය කාලුදායි සිය පිරිවර සමග බණ අසා රහත් විය.

බුද්ධත්වයෙන් දස මසක් පූර්ණ වූයේ ද මැදින් පුන් පොහෝ දාය. කාලුදායි රහතන් වහන්සේ මහණ වී සතියකින් පසු බුදුරදුන්ට කිඹුල්වතට වඩින ලෙස ආරාධනා කළේය.

කිඹුල්වතට බුදුරදුන්ට වැඩමවීමට කාලය එළඹ ඇත. මැදින් පුන් පොහෝ දා එම අසිරිය කියා පාන්නට සොබාදහම ද වෙනස් මුහුණුවරක් ගත්තේය. සියලු ගස්වල, වැල්වල අතු ලියලා – දලුලා, මල්වලින් පිරි, පලතුරුවලින් සරුසාර වී ඇළේ – දොළේ ගමන් වේගය වෙනදාට වඩා රිද්මයක් ඇතිවී සොබාදහමේ අසිරිය මෙපරිද්දෙන් සිදු වූ මොහොතක කාලුදායී තෙරුන් එම උත්තුංග ගමන් වර්ණනාව ගාථා සැටකින් පැවැසීය.

බුදුරදුන් සිය වගකීම හා යුතුකම ඉටු කිරීමට යොදාගත්තේ ද මැදින් පුන් පොහෝ දා ය. කිසියම් මිනිසකුට ඉටු කිරීමට කාරණා දෙකක් මොලොව තිබේ. එයින් පළමු වැන්න වන්නේ ‘යුතුකම’ය. දෙවැන්න වන්නේ ‘වගකීම‘ යි. මේ අංශ දෙක නිතැතින්ම ඉටු වුවහොත් අයිතිය නැත්නම් අයිතිවාසිකම් නිරන්තරයෙන්ම ඉටුවේ. මේ පරමාදර්ශී පිළිවෙත බුදුරදුන් ලොවට හෙළි කළේත් මැදින් පුන් පොහෝ දා ය. පියකු නොවූයේ නම් බුදුවරයෙක් ලොවට පහළ නොවේ. සිය පුතා බුද්ධත්වයට පත්වීම තරම් සතුටක් පියෙකුට තවත් නොමැකි තරම් ය. ඒ සතුට භුක්ති විඳීමට සැලසීම බුදුරදුන්ගේ පරම යුතුකම විය. ඒ මත පිහිටා දිනකට යොදුන බැගින් සැට දිනකින් යොදුන් සැටක් ගෙවා කිඹුල්වත් නුවරට බුදුන් වහන්සේ වැඩියහ.

කිඹුල්වතට බුදුරදුන් වැඩි වේලෙහි වැඩිහිටියන්ගේ සිත්වල මානයක් ඇති වී ‘බුදුරදුන්ට වැඳීම මහත් මදිකමක්ය’ යන ආකල්පයේ පිහිටීම මත, අධීමමංකාරයක්, අභිමානයක් ඇතිවීම හේතුකොටගෙන ඔවුන්ගේ මානය දුරු කිරීම පිණිස බුදුරදුහු යමා මහා පෙළහර පෑහ. එම ප්‍රාතිහාර්යයෙන් අනතුරුව ඒ වෘද්ධතමයන්ගේ අභිමානය බිඳී බුදුරදුන්ට දොහොත් මුදුන් දී වන්දනය කළහ. බුදුරදුන් කිඹුල්වත පුරා පිඬුසිඟා වැඩීම ද මහ රජුට මහත් මදිකමක් විය.

ඒ නිසාම රජු බුදුන් වහන්සේගෙන් බුදු හිමියනි රජ බොජුන් වැළඳීමට අවකාශ තිබියදී ගෙන්ගෙට ගොස් පිඬුසිඟා වඩින්නේ ඇයි දැ’යි ඇසීය. එවිට බුදුරදුන් කියා සිටියේ ‘මහ රජ ඔබේ වංශය රාජ වංශය යි. මගේ වංශය බුද්ධ වංශය යි. බුද්ධ වංශයේ අය කවදත් පිඬුසිඟා වඩින්නේ ය. මෙයින් ද බුදුරදුන් හෙළි කළේ බුදුරදුන්ගේ’ සමානාත්මතාධර්මතාව යි.

නන්ද කුමරුන්ගේ පැවිද්ද හා රහල් කුමාරයාගේ පැවිද්ද සිදුවූයේ ද මැදින් පොහෝදාක ය. නන්ද කුමරුගේ විවාහ මංගල්‍යය, අභිෂේක මංගල්‍යය හා නව ගෘහයට පිවිසීමේ මංගල්‍යය යන ඉතා වැදගත් මංගල්‍යය ත්‍රිකය සිදු වුයේ ද මැදින් පුන් පොහෝදාක ය. බුදුරදුන් නන්ද කුමරුගේ මාලිගයට වැඩමවා දන්දීමෙන් අනතුරුව යළි බුදුරදුන් වඩින අවස්ථාවේ බුදුරදුන්ගේ පාත්‍රය රැගෙන එන ලෙස නන්ද කුමරුට දැන්වීය. එම ඉල්ලීම බැහැර කළ නොහැකි වූ හෙයින් ජනපද කල්‍යාණියගේ මුහුණ බලබලා බුදුරදුන් පසුපස ගොස් මහණ වී රහත් විය.

සුන්දරත්වය සොයා ගිය නන්ද කුමරුන් අවසානයේ සුන්දරත්වයෙන් අසුන්දරත්වය දැක ජීවිතය කෙටි කරගැනීමට මාර්ගය පාදාගත්තේ ය. රාහුල කුමරුන්ට සිදු වූයේත් මෙවැන්නකි.

බුදුරදුන් කිඹුල්වත රජ මාලිගයට වැඩමවීමේදී යශෝධරාවන් කෙරෙහි පැවැති දුක් කන්දරාව තුනී කරගන්නට ද එදා හැකි විය. එවිට බුදුරදුන් සඳකිඳුරු ජාතකය දේශනා කළේ, ඇය මේ භවයේ දී පමණක් නොව, භව ගණනකදී මෙසේ මුහුණදුන් ආකාරය පැහැදිලි කරමිනි.

සමාජාශ්‍රිත හා පුද්ගලාශ්‍රිත සිද්ධි සමුදායයකට මුල් වූ මැදින් පුන් පොහොය ජීවිතයට අර්ථයක් සොයා යන ගමනේදී වැදගත් ම කඩඉමකි: සන්ධිස්ථානයකි.

පරම සත්‍ය දහම ලෝකයාට පහදාදීමට මුලපිරූ මැදින් පුන් පොහොය

පූජ්‍ය අරම ධම්මතිලක නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment