පරාක‍්‍රම සමුද්‍රයේ රළපනාවේ ජොගින් පාක් එකේ වැඩ නවතී

144

පරාක‍්‍රම සමුද්‍රය රළපනාව මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීම මෙන්ම ග‍්‍රාමීය මට්ටමින් කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා* පැවැසීය.

නාගරික උද්‍යාන සහ ඇවිදින මංතීරු සැකසීම සඳහා  නාගරික සංවර්ධන අධිකාරිය ජාතික සැලැස්මක් ඉදිරිපත් කර ඇතත් ඇවිදීමට ජාතික සැලැස්මක් අවශ්‍ය නැතැයි පැවසූ ඇමැතිවරයා මෙම මංතීරු ඉදිකිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂා කොට එමඟින් හානියක් සිදුවන්නේ දැයි සොයා බලන තෙක් එය තාවකාලිකව නවතා දැමූ බවද කීය.

වත්මන් ආණ්ඩුව දේශපාලන අවශ්‍යතා මත සංවර්ධන කටයුතු ඉටුනොකරන බවද විපක්‍ෂ මන්තී‍්‍ර බුද්ධික පතිරණ මහතා විසින් නඟන ලද අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා කියා සිටියේය.

මේ අතර කොවිඞ් වසංගතය පිළිබඳ සිතා කායවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතියද තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බව නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කීය.

ඒ සඳහා වැයවන රුපියල් මිලියන 500 ක මුදල, මුදල් අමාත්‍යාංශයේ වෙනත් ව්‍යාපෘතියකට ලබාදීමට තීරණය කර ඇතැයි ද කී ඇමැතිවරයා අනවශ්‍ය වියදම් අඩුකොට අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් වියදම් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයිද කියා සිටියේය.

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය ලබන වසරේ කි‍්‍රයාත්මක කරන බවද විපක්‍ෂ මන්තී‍්‍ර මයන්ත දිසානායක මහතා විමසූ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment