පරාජය හමුවේ අපරාජිත පාලනතන්ත්‍රවේදියා ජනපති රනිල්

168

පරාජය යනු අප කිසිවිටෙකත් භාරගැනීමට අකමැති සිද්ධාන්තයකි. කෙනෙක් යමක් සම්බන්ධයෙන් දිගින් දිගටම පරාජය වන්නේ නම් ඇත්තෙන්ම ඔහු පිළිබඳව කතාකිරීමට කාලයක් වැය කිරීම පවා නිශ්ඵලය. සමාජය ඉදිරියේ ඔහු අසාර්ථක මිනිසෙකි. අසාර්ථක චරිත සමග ගනුදෙනුවට කවුරුත් කැමැත්තක් දක්වන්නේ නැත. කෙනෙකු ජීවිතයේ වරක් දෙවරක් හෝ තෙවරක් පරාජය විය හැක. එහෙත් විසිතිස් වතාවක් පරාජය වීම යනු ඉතිහාසය තුළ අමුතුවෙන්ම ලිවිය යුතු කතාන්දරයකි.

එසේ ලියැවෙන කතාන්දරය තුළ ඇති විශිෂ්ටත්වය අපූරුය. කිසිදා අසන්නට නොලැබුණු අමුතුම ආරක කතාවක් ඒ තුළ ගැබ්ව ඇත්නම් එය අප කෙසේ විශ්වාස කරන්නද?

නමුත් ඇත්ත ඇති සැටියෙන්ම එය එසේ සිදුවී ඇත. පරාජය හමුවේ අපරාජිත වූ චරිතයක් අද අපේ කතානායකයා වන්නේය. ඔහු නමින් රනිල් වික්‍රමසිංහය. නැතහොත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයාය.

අද ඔහු ගැන ලොවම දනී. ඒ පිළිබඳව අටුවා ටීකා ලිවීම නිෂ්ඵල වෑයමකි. බංකොලොත් බවේ පතුලටම හිරවී තිබූ රටකට යම් තරමකින් හෝ සහනයක් ගෙන දීමට ඔහු ගන්නා වෙහෙස අප දකින්නෙමු.

මහාවංශ කතුවරයා මෙම දේශපාලන කතාව කෙසේ ලියයිද?

“අධිබලැති ජනතා ඡන්දයකින් බලයට පත්ව සේනා සංවිධානය කරමින් සිටි ජනපතිවරයකු ජනතා අප්‍රසාදයට පත්ව හිටි අඩියේ රට හැර පියා පළායද්දී හැම අතින්ම විපිළිසර වූ රටකට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ යනුවෙන් එහි රනිල් භූමිකාව ඇරඹෙනු නොඅනුමානය.

රනිල් සෑම විටම අවංකය. අවංකකම කෙනකුට අවාසියක් ගෙන දුන්නේ නම් එහි ඉහළින්ම ලියැවෙනුයේ රනිල්ගේ නාමය බව අවිවාදිතය. රනිල් සෑම විටම කියන දේම කරන, කරන දේ කියන විවෘත මිනිසෙකි. අමාත්‍යවරයෙක්, විපක්‍ෂ නායකවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ දිගින් දිගටම පරාජය වූ පක්ෂයක නායකයෙක් වශයෙන් තිස් වසරකට ආසන්න කාලයක් මා ඔහු හොඳින්ම දැන හඳුනාගෙන ඇත.

දේශපාලන කයිකතාන්දරවලට, මාධ්‍ය කටයුතුවලට අප හමුවෙද්දී ඔහු අපට වඩා වෙනස් මතයක් දැරුවද අපේ අදහසට ද ඔහු ළඟ ඉඩක් තිබිණි. සැබෑ ජනනායකයෙක් යනු අන්මත විමසන ඉවසන ඒ පිළිබඳව විචාරශීලී වන පුද්ගලයකු බව ඔහු ආදර්ශයෙන් පෙන්වා දෙයි.

බොල් පිළිම සහ ගොමරිටි මතුවන රටකට දැන උගත්කමින්, බුද්ධියෙන්. පරිපෝෂිත නායකයකු යනු සම්පතකි. බලය ලබාගන්නට අපට තිබුණු හදිසිය ඔහුට තිබුණේ නැත. බලය ගැන කතා කෙරෙන සෑම විටම ඔහුට ඉදිරි දැක්මක් තිබුණි. සමහර විට එම දැක්ම වසර 2ක් හෝ 3ක් ඉදිරියට යන්නකි. ගන්නන් වාලේ ගන්නා බලයකට ඔහුගේ කැමැත්තක් තිබුණේම නැත. දේශපාලනයේ ඉදිරි කියවීම අතින් ඔහු අති සාර්ථකය.

රජයකට අසීරු වන කාලවකවානුව පිළිබඳව ඔහු ඉතා සවිඥානකය. දේශපාලන චෙස් ක්‍රීඩාව ඔහුට හොඳට හුරු පුරුදුය.

රනිල් සමහර විෂයන් කෙරෙහි දක්වන ප්‍රතිභාව අතිවිශිෂ්ටය. බුදුදහම, සංගීතය, සෞන්දර්යය සහ කලාව පිළිබඳව ඔහු ප්‍රාමාණිකය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඔපෙරාව පිළිබඳව මා සංස්කරණය කළ විශේෂාංගයකට ඔහු ලියූ ලිපිය ඔහුම ලියූ එකක් දැයි සිතා ගැනීමට පවා දුෂ්කර විය. පසුව සොයා දැනගත් පරිදි ඔහු ඔපෙරාවලට දක්වනුයේ දැඩි ඇල්මකි.

ළඟම මිතුරන්ට අනුව රනිල් හෘද සංවේදී මිනිසෙකි. නමුත් බාහිරව පෙනෙන කල එසේ නොවේ. ඇත්ත ඇති සැටියෙන් සමාජය දකින පුද්ගලයාට තමා පිළිබඳව විශේෂ විග්‍රහ හෝ අර්ථ නිරූපන අනවශ්‍ය බව රනිල්ගේ විශ්වාසයයි. රනිල් ජීවිතයේ මුහුණ දුන් දුක්බරම සිද්ධිය තමන් විසූ නිවස ගිනිබත් වීම වන්නට ඇතැයි සිතිය හැක. පොත් දහස් ගණනක්, ලැබූ සිහිවටන, දෙමාපිය උරුමයෙන් ලද දේ, කෞතක භාණ්ඩ, රන්, රිදී සහ ජීවිත කාලය පුරා තමා සහ සහකාරිය එක්රැස් කළ දේ ගිනිබත් වී ගොසිනි. සිද්ධියෙන් පැය කිහිපයකට පසු අප හමුවූ රනිල් සන්සුන්ය. ඒ රනිල්ගේ හැටිය.

ගිනිබත් වූ නිවස කුඩා එකක් වුවද එහි ඔහු සතුව තිබූ භාණ්ඩවල වටිනාකම මිල කළ නොහේ. සියවස් දෙකකට එහා ගිය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් ඔහුට උරුම වූ කෞතුක භාණ්ඩ රැසක් එදා ගිනිබත් විණි.

දේශපාලන වාසි ලබාගැනීමට එළියට ආ මහ බැංකු සිද්ධිය එවැන්නකි. රස කර කර විරුද්ධවාදීන් බැංකු කොල්ලයක් ගැන කතාකරද්දී රනිල් නිහඬ දේශපාලනඥයකුගේ පිළිවෙතක් අනුගමනය කළේය. ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නැයි හැමතින්ම ආ අදහස් ඔහු ඉවතලීය. සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කොමිසම හමුවේ සාක්කි දීමට රනිල් පැමිණියේ තම අනුගාමිකයන් පිරිවරාගෙන නිර්භීත ගමනකි. තමන්ගේ වාරය එනතුරු ඉවසීම රනිල්ගේ පුරුද්දය. දේශපාලනයේදී රනිල් තරම් ඉවසූ චරිතයක් සොයා ගැනීමත් උගහටය.

රනිල් අගමැති කාලයක ප්‍රසිද්ධ ගත් කතුවරයකුට ඔහුගේ චරිතාපදානය ලිවීමට සිත් විය. මේ පිළිබඳව ඔහුට දැනුම් දීමෙන් අනතුරුව අවසර ලැබුණි. චරිතාපදානය සඳහා කරුණු රැස්කිරීමට විවිධ පුද්ගලයන් සහ නෑසියන් මුණගැසීමට යෑමට ප්‍රවාහන පහසුකම් අවශ්‍ය විය.

මේ පිළිබඳව දැනුම් දුන් පසු ගත්කතුවරයාව කැඳවා රනිල් රුපියල් හතළිස් දහසක පෞද්ගලික ගිණුමක චෙක්පතක් ඔහු අත තැබීය. මේ සල්ලිවලින් වාහනයක් හයර් එකට ගන්න. මගේ ගැන ලියන්න ආණ්ඩුවේ වාහන පාවිච්චි කරන එක හොඳ නැහැ.

රනිල්ට තිබුණේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයකි. වාසිය සහ බලය වෙනුවෙන් රනිල් සිය ප්‍රතිපත්ති කිසිවිටෙකත් පාවා දුන්නේ නැත. විපක්‍ෂ දේශපාලනඥයන් පවා රනිල් විශ්වාස කරන්නේ එබැවිනි. කිසිවිටෙක කිසිවකුට නොකිව යුතු කතාවක් ඔහු නොකියයි. දේශපාලනඥයකු වශයෙන් සාමාන්‍යයෙන් කෙනකුට රැකිය නොහැකි බොහෝ පිළිවෙත් ඔහු රකියි. ඒ නිසාම රනිල්ගේ ජයග්‍රහණ බොහෝ ඈතට ගියේය. කිසිවකින් කම්පා නොවුණු රනිල් සියල්ල ඉවසුවේ උපේක්‍ෂාවෙනි.

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය සහ රනිල් වික්‍රමසිංහ ලැබුවේ අන්ත පරාජයකි. මහ මැතිවරණයකදී පක්‍ෂයකට දෙලක්ෂ ගණනක ඡන්ද ප්‍රමාණයක් ලැබීම යනු මහම පරාජයකි. මනාප විසිදහස් ගණනක් ලැබීම යනු ඊටත් එහා පරාජයකි. මනාප දුන් පිරිස එක් එක් අය වශයෙන් හඳුනාගැනීමට තරම් හැකි මනාප සොච්චමක් ලද රනිල් අද රටේ විධායක ජනාධිපතිය. රනිල් භාරගත්තේ දෙකොණ පත්තු වූ විළක්කුවක් බඳු රටකි.

පැය දහයකට අධික කාලයක් විදුලි කප්පාදුවක්, පෙට්‍රල්, ඩීසල් නැති රටක්, පාසල් වසා දමා ඇති කාලයක්, ගෑස් වෙනුවට කඩපිල් ඉදිරියේ කුඩා දරමිටි, වළං විකුණුනු යුගයක් සහ අනාගතය සිහිනයක් වූ රටකට ජීවය ලබාදුන්නේ රනිල්ය. එකල ජනතාවට කරන්නට ඉතිරි වී තිබුණේ උදේ, දහවල් රැයක් කියා නැති පෝලිම්වලට වී දවස ගෙවන්නටය.

අද ජනතාවට නිදහසේ ගමනක් බිමනක් යෑමට ඉන්ධන ඇත. පැය විසිහතර පුරාම අඛණ්ඩව විදුලිය සැපයේ. දරමිටි වෙනුවට ගෑස් ඇත. පෝලිම් ක්‍රමයක් දක්නටවත් නැත. පාසල් විවෘතව ඇත. මේවා රනිල්ගේ විශ්වකර්ම වැඩ නොව නිවැරැදි දැක්මක් සහිතව ගත් තීන්දු තීරණවල ප්‍රතිඵලය. මේ ප්‍රතිඵල බුක්තිවිඳින්නේ ජනතාවය.

අරගල, සිස්ටම් චේන්ජ්, වර්ජන සහ මැතිවරණ ගැන අද බොහෝ දෙනා කතා කරති. මේවා වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකා වී හමාරය. වර්ජන කිරීම හුදු විලාසිතාවක් බවට පත්වී ඇත. වර්ජන කළ යුතුය. එය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතියට අප ගරු කළ යුතුය. ගිනි ගනිමින් තිබුණු රටක වගකීම භාරගත් නායකයෙක් රට හදාදෙන බවට පොරොන්දු වන්නේ නම් ඒ සඳහා අපට යම්කිසි කාලයක් දිය නොහැක්කේ මන්ද?

ඕනෑම කෙනකුට ඇහුම්කන් දිය හැකි විචක්ෂණශීලී මතයක් රනිල්ට ඇත. මෙවන් වටපිටාවක අප කළ යුත්තේ බිඳුණු රටක් නගාසිටුවීමට වෙර දරන මිනිසාට යම් තරමකින් හෝ උදව්වක් වීම නොවන්නේද? ශ්‍රී ලංකාව ඔබෙත් මගෙත් රටයි. වර්ජනයකින් අනතුරුව එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු කළා යැයි වහසි බස් දොඩවන මිනිසුන් සිටින රටක ඔබෙත් මගෙත් ඉරණම කෙසේ විසඳෙනු ඇද්ද?

රනිල්ට නැතිවීමට තවත් කිසිවක් නැත. ලබාගත යුතු කිසිවක් ද නැත. රනිල් උත්සාහ දරන්නේ අපේ දරු පරපුරේ අනාගතය සුරක්‍ෂිත කිරීමට නොවේද? නැතිවීමට ගිය රටක් නගාසිටුවීම නොවේද? අපි වර්ජන කරමු. උද්ඝෝෂණ කරමු. බෝඩ් අල්ලමු. පන්දම් පත්තු කරමු. ඊට පෙර අපි අපේ රට හදාගමු. ජූරිය ඔබයි.

දීප්ති ප්‍රමිතා අධිකාරි

advertistmentadvertistment
advertistmentadvertistment