පරාටා සමග පටලවා නොගත යුතු පරාටේ එක්සිකියුෂන් (අවසන් දර්ශනය අති බිහිසුණු විය හැක)

2517

පහන්තුඩාව දිය ඇල්ල අසලදී වර්ගයා බෝ කිරීමට අදාළ වීඩියෝවක් නිපදවා පෝර්න් හබ් නමැති අසභ්‍ය යූටියුබ් චැනලයට විකුණූ තරුණ යුවළට මාස තුනක සිර දඬුවමක් සහ රුපියල් 10800 ක දඩයක් පනවා පෙරකී සිර දඬුවම හත් අවුරුද්දකට අත්හිටුවන ලදැයි දැනගන්නට ඇත. ශ‍්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වීම ගැන අප තුළ ගෞරවයක් පැන නඟී. පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඞීමේ වරදට සැක පිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කිරීමෙන් පසු රුපියල් 5000 ක ඇපයක් ගෙවා එළියට යාගත නොහැකිව අවුරුදු හත අට රිමාන්ඞ් බන්ධනාගාරය තුළ ලගින ජනයා මේ රටේ සිටිති. සමහරවිට හොර පොල් කැඞීමට ලැබෙන දඬුවම මාස හයක් විය හැක. ඇප ගෙවා ගැනීමට බැරිව රිමාන්ඞ් එක තුළ අවුරුදු දහය පහළොව ගතකරන්නට වීම විසි තිස්
වාරයක් හොර පොල් කඩා හිරේ ගියා හා සමානය.

මෙවැනි සිරකරුවන් සම්බන්ධයෙන් කිසියම් මානුෂික පියවරක් ගෙන ඉක්මන් අධිකරණ ක‍්‍රියාවලියකට යන මෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලමු. පහන්තුඩාවේ ජෝඩුව වීඩියෝව සෑදීම, එය ජනගත කිරීම, එම ජෝඩුව අත්අඩංගුවට ගැනීම, ඇප දීම, නඩු ඇසීම, ඔවුන්ට සිර දඬුවම් පැමිණවීම යන ක‍්‍රියාවලියට තුන් මාසයක්වත් ගතවුණේ නැත. අධිකරණ ක‍්‍රියාවලිය වේගවත් වීමෙන් ජන සමාජයට සැලසෙන යහපත ඉතා වැදගත් ය. මෙතැන් සිට අපි අපේ ප‍්‍රධාන මාතෘකාවට එළඹෙමු. රටේ ආර්ථික සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා මාස හයක වැඩපිළිවෙළක් මහ බැංකුවේ අධිපති නිවාඞ් කබ්රාල් විසින් ඉදිරිපත් කරන ලදී. මේ වැඩපිළිවෙළේ තිබෙන, සාමාන්‍ය ජනතාවට බලපාන වැදගත්ම කාරණය වන්නේ බැංකු වලින් ණය ලබාගෙන එම ණය ගෙවා ගැනීමට බැරිවූ අයගේ ඇපකර (වාහන හා දේපළ) ඉදිරි මාස හය තුළ පවරා නොගැනීමට ගෙන ඇති තීන්දුවය.

මෙසේ දේපළ පවරා ගැනීම හඳුන්වනු ලබන්නේ පරාටේ එක්සිකියුෂන් (Parate Execution) නමැති බැංකු නීතිය මගිනි. පරාටේ යනු එම වචනයේ ඇමරිකන් උච්චාරණයයි. බි‍්‍රතාන්‍ය උච්චාරණයට අනුව මෙය පැරේට් විය යුතුය. කෙසේ හෝ වේවා දැනට සෑම හෝටලයකම විකිණීමට තිබෙන පරාටා රොටි සමග මෙය පටලවා නොගත යුතුය. 1977 විවෘත ආර්ථිකයෙන් පසු බිහිවූ ආහාර සංස්කෘතියේ අග‍්‍ර ඵලය වන කොත්තු රොටි මෙරටට හඳුන්වාදීමෙන් පසු අරාබි මූලයක් සහිත පරාටා රොටියද සමාජගත විය. පාන් පිටි, ලූණු, වතුර, තෙල් යන අමුද්‍රව්‍ය වලින් සමන්විත තඹ සල්ලියක වටිනාකමක් නැති කාබෝහයිඞ්රේට ගුලියක් වූ පරාටා රොටිය සමාජ ආර්ථික ක‍්‍රියාවලිය කෙරෙහි දක්වන දායකත්වය ඉතාම දිළිඳුය. එහෙත් පරාටේ එක්සිකියුෂන් හෝ පැරේට් එක්සිකියුෂන් ක‍්‍රමය මගින් ආර්ථිකය සහ ජන සමාජය තුළ කරන කැළඹිල්ල මාරාන්තිකය.

බැංකු වලින් ණය ගැනීමේදී ඇප වශයෙන් තබන දේපළ, එම ගත් ණය ගෙවා ගැනීමට නොහැකි වූ කල්හි බැංකුවෙන්ම පැහැරගෙන වෙන්දේසි කරන්නේ 1988 බැංකු නීති අංක 30 යටතේ බලාත්මක වූ පරාටේ එක්සිකියුෂන් නීතිය මගිනි. උදාහරණයක් වශයෙන් නිවාස ණයක් ලබාගෙන ගෙයක් හදන මනුස්සයාට එය ගෙවා ගැනීමට නොහැකි වූ විට නඩු නොදමාම නිවැසියන් එලියට ඇද දමා ගේ දොර වෙන්දේසි කිරීමට මේ නීතිය යටතේ බලය ලැබේ. බැංකු වලින් ණය ලබාගෙන මිලට ගත් වාහන සම්බන්ධයෙන් තත්ත්වයත් මෙසේමය. එහෙත් මෙහිදී සිහිපත් කළයුතු වැදගත්ම කාරණය වන්නේ ෆිනෑන්ස් කොම්පැනි මගින් සිදුකරන කුණු වැඩ වාණිජ බැංකු ක්ෂේත‍්‍රයේදී සිදු නොවන බවය. ෆිනෑන්ස් කර වාහනයක් මිලට ගැනීමෙන් පසු මාස තුනක් වාරිකය ගෙවා ගත නොහැකි වූ විට ප‍්‍රමාද ගාස්තු දඩ පොලී යනාදී වශයෙන් විශාල මුදලක් එකතු කරනු ලැබේ. එම මුදල වාරිකයක ප‍්‍රමාණයට සමාන වූ විට ෆිනෑන්ස් කොම්පැනිය කියන්නේ තම ගනුදෙනුකරුවා මාස හතරක්ම ෆිනෑන්ස් ගෙවා නැති බවය.

මේ විදියට මාස හයක් ෆිනෑන්ස් ගෙවා ගැනීමට බැරිවූ විට අවුරුදු එකහමාරක් පමණ වාරික ගෙවා නැති බව දඩ පොලී සහ ප‍්‍රමාද ගාස්තු ඔස්සේ ගණනය කර පෙන්වීමට ෆිනෑන්ස් කොම්පැනි වලට පුළුවන. කිසිම ආණ්ඩුවක් හරියාකාරව ෆිනෑන්ස් කොම්පැනි නියාමනය කර නැත. පරාටේ එක්සිකියුෂන් නීතිය බලපාන්නේ බැංකු වලට පමණි. එය ෆිනෑන්ස් කොම්පැනි වලට බලපාන්නේ නැත. ෆිනෑන්ස් කර වාහන ලබාගත් බහුතර ජනතාවට කොරෝනා විපත නිසා වාරික ගෙවා ගැනීමට නොහැකි වී තිබෙන අතර දැනට එම වාහන ටික පැහැරගෙන යන්නේ නැතිව ආරක්ෂා වී තිබෙන්නේ එක් කාරණයක් අරභයා මීට කලකට පෙර ජනාධිපතිතුමා දුන් නියෝගයක් නිසාය.

කෝට්ටේ පැත්තේ ෆිනෑන්ස් කොම්පැනියක් වාරික ගෙවා ගැනීමට බැරි වූ මිනිහකුගේ ත‍්‍රීවීලරයක් උස්සගෙන ගියේය. ඒ ගැන කතා කිරීම සඳහා ත‍්‍රීවීල් සංගමයේ සභාපති ෆිනෑන්ස් කොම්පැනියට ගියේය. එවිට එම කොම්පැනිය අයිතිකාරයාගේ කුලී මැරයෝ ත‍්‍රීවීල් සංගමේ සභාපති උස්සා පොළවේ ගැසීය. හිස කොන්ක‍්‍රීට් ලෑල්ලක වැදීම නිසා ත‍්‍රීවීල් සභාපති මිය ගිය අතර එම සිද්ධිය ආරංචි වීමෙන් පසු නැවත දන්වන තුරු වාරික ගෙවා ගැනීමට බැරිවූ අයගේ ඇපකර වාහන පැහැර නොගන්නැයි ජනාධිපතිතුමා නියෝග කළේය. මේ කුණු ෆිනෑන්ස් කොම්පැනිය අදටත් එතනම පවතී. මේ අතර මීට දෙමසකට පමණ පෙර ඉතා ප‍්‍රසිද්ධ ෆිනෑන්ස් කොම්පැනියක සීසර් කෙනෙක් හෙවත් වාහන පැහැර ගන්නා කුලී දාමරිකයෙක් හිඟ වාරික ගෙවා ගැනීමට බැරිවූ වාහන අයිතිකරුවකුගේ දරුවා පැහැරගෙන ඔහුගේ ගෙල මිරිකා මැරීමට තැත්කොට වාහන අයිතිකරුවා බිය ගන්වා වාහනය පැහැර ගත්තේය.

කොවිඞ් උවදුර නිසා මේ රට පත්ව තිබෙන තත්ත්වය ඉතා අන්තරාදායකය. කිසිම කෙනකුට කිසිම ණයක් ගෙවා ගැනීමට නොහැක. ආණ්ඩුව පවා පිටරට වලින් ලබාගත් ණයවල වාරික ගෙවන්නේ හතර අතේ ණය වී ඉතා අමාරුවෙනි. ආණ්ඩුවකට එපමණ අමාරු නම් සාමාන්‍ය මිනිහකුගේ තත්ත්වය කොහොම ඇත්ද? මේ වෙලාවේදී මේ රටේ සියලූ ව්‍යාපාර පවතින්නේ ණය බර නමැති කඳු මුදුනේ ඉහළම තැනය. ආණ්ඩුව ගන්නා ඕනෑම අනර්ථකාරී පියවරකින් මේ කන්දෙන් පහතට පෙරලී බංකොලොත්භාවය නමැති ලෝදිය සාගරයේ ගිලී යෑමට එම සමාගම්වලට සිදුවේ. එබැවින් බැංකු සහ ෆිනෑන්ස් කොම්පැනි වලින් ණය ලබාගත් ජනතාවට මාස හයකට වැඩි සහන කාලයක් ලබාදීම ආණ්ඩුව කළ යුතුමය. නැතහොත් දැකගැනීමට ලැබෙන දර්ශනය වන්නේ පැහැරගත් වාහන ලක්ෂ ගණනක් පිරුණු ෆිනෑන්ස් කොම්පැනි වාහන අංගනත් දහදිය හලාගෙන පයින්ම ගමන් කරන රථ වාහන අහිමි වූ මිනිසුනුත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment