පරිගණකයට ලෙඩක්: දඩ නැතිව බදු තොරතුරු දෙන්න සතියක කාලයක් – ඇමැති ෂෙහාන් සේමසිංහ

105

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු භාර ගැනීම හා සම්බන්ධ පරිගණක මෘදුකාංගය හදිසියේ අක්‍රීයවී ඇති හෙයින් බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අය කිරීමකින් තොරව සතියක කාලයක් ජනතාව වෙත ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01දා) පැවසීය.

ඇමැතිවරයා එසේ කියා සිටියේ සමගි ජන බලවේගය මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ජේ සී අලවතුවල මහතා :-

ආදායම් බදු ඇතුළත් කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියෙනවා. මේක හිතා මතා කරපු දෙයක්ද නැද්ද කියලා අපි දන්නේ නැහැ. මේ නිසා එහි වැඩකටයුතු නැවතිලා තියෙනවා. මේකේ ඇත්ත තත්ත්වය දැනගන්න කැමතියි.

ෂෙහාන් සේමසිංහ මහතා :-

මෙතුමා මතුකරපු කාරණය ඇත්ත. ඊයේ දිනය වනවිට සියලු දෙනා ආදායම් බදු වාර්තා ලබාදීම කළ යුතුව තිබුණා. මේ නිසා එම මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. අද දිනයේ දී පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ධ බද්ද ආදී බදු රිටර්න්ස් ෆයිල් කළ යුතුව තිබුණා. මේක කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි. මේ තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට බදු ලිපිගොනු ඉදිරිපත් කිරීමට අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ වගේම එම තොරතුරු භාරදීම නොවැම්බර් මස 20 වැනිදා ලෙස සලකන ලෙසත් දැනුම් දීලා තියෙනවා. මේ කාලයේ දී කිසිම දඩයකට යටත් කරන්නේ නැහැ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment