ආර්ථිකය නිදහස් කළ ජාතික නායකයා

289

අදට යෙදෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙන් පළවන ලිපියකි

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව විවිධ කාලවලදී ජාතික, ආගමික, සමාජීය, ආර්ථික වශයෙන් ඇද වැටී වියවුලට පත්ව තිබූ අවස්ථා පිළිබඳව මහාවංශය ආදී ඉතිහාස ග්‍රන්ථවල සටහන්ව ඇත. එම සියලුම අවස්ථාවලදී එම තත්ත්වයෙන් රට මුදවාගෙන යළිත් සුඛිත මුදිත රටක් ගොඩනඟන්නට සුදුසු නායකයා රට තුළින් බිහිවූ අයුරු එම ඉතිහාස ග්‍රන්ථවල මැනවින් දක්වා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාව ගෙවා දමමින් සිටින්නේ එවන් අන්ධකාර සමයකි. එම අඳුර නිවා යළිත් දේශය නඟාසිටුවීමට සුදුසු නායකයා නියමිත කලට බිහිවී ඇත. ඔහු වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මැතිඳුන්ය. එතුමන් ජන්ම ලාභය ලැබ අදට වසර 74 ක් සම්පූර්ණ වේ. 1948 න් පසු නිදහස් ලංකාවේ උපත ලද රනිල් වික්‍රමසිංහ මහතා දකුණු සිරිලක ගිංගඟ මිටියාවතේ බද්දේගම විසූ පරපුරක පැවත එන්නෙකි. ඔහුගේ දේශපාලන උරුමයේ සමාරම්භය 1917 දක්වා තරම් ඈතට විහිදී යයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන් වූ ලංකාවේ ප්‍රථම සිංහල දිසාපතිවරයා වන සී. එල්. වික්‍රමසිංහ මහතා නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සමකාලීනයෙකි. ඔහු 1917 වසරේ ගාලු ජාතික සංගමය නම් රුහුණේ ප්‍රථම දේශපාලන සංවිධානය බිහි කරන විට එහි තවත් පුරෝගාමියකු වශයෙන් සී. එල්. වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත. 1923 වසරේදී දකුණු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස ව්‍යවස්ථාදායක සභාවය. කන්නන්ගර මහතා ඡන්දයෙන් ජය ලබා යන විට ගාලු ජාතික සංගමයේ එතුමා දැරූ ලේකම් පදවිය හිමිවන්නේ සී. එල්. වික්‍රමසිංහ මහතාටය. එතුමන්ගේ වැඩිමහල් පුතණුවන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන්ය.

නිදහස් ලංකාවක් සඳහා ජාතික නායකයන් ගෙන ගිය අරගලයට දැනුමෙන්ද, ධනයෙන්ද, කාලයෙන්ද පරිත්‍යාගයන් සිදු කළ ඩී. ආර්. විජේවර්ධන මහතා ලංකාවේ පත්තර මහ ගෙදර නිර්මාණය කළ ආදි කර්තෘවරයා විය. එතුමාගේ දියණිය වූ නාලිනි විජේවර්ධන මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ දයාබර මෑණියන්ය. මෙතුමියගේ පවුලට උපන් දෙවෙනි දරුවා උපන්නේ 1949 මාර්තු 24 වෙනිදාය. එසේ උපන් දරුවා වූයේ අද සිය උපන් දිනය සමරන ලක්දිව අටවෙනි විධායක ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිය හදාර නීතිඥයකු වශයෙන් මීට වසර පනහකට පමණ පෙර දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා එවකට එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඇරයුමෙන් දේශපාලනයට එක්වන්නේ සම්බුදු පා පහස ලද ඓතිහාසික කැළණිය පුරවරයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වශයෙන් 1975 වසරේදී ය.

දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් වූ රනිල් පක්ෂය තුළ නීතිඥයන්ගේ සංගමයක් පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරේ යෙදින. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥ සංගමය ඇරඹිණි. රටේ අධ්‍යාපනය පිළිබඳව තරුණ අවධියේ සිටම අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ ජාතික අධ්‍යාපන සේවක සංගමය පිහිටුවීමට ද රනිල් වික්‍රමසිංහ මහතා පෙරමුණ ගෙන ක්‍රියා කළේය.

එවකට පැවැති මැතිවරණ තීරණය කිරීමේ කොමිසමේ නිර්දේශය පරිදි කැළණිය ආසනය දෙකකට බෙදී වෙන්කර අභිනවයෙන් බියගම නමින් නව මැතිවරණ කොට්ඨාසයක් බිහිවිය. ඒ අනුව කැළණියේ එ.ජා.ප. සංවිධායකවරයා වූ රනිල් බියගම ආසනයේ අභිනව සංවිධායක පදවියට පත් වූයේ කැළණියේ සංවිධායක ධූරය හිටපු ඇමැතිවරයකු වූ සී. සිරිල් මැතිව් මහතාට පිරිනමමිනි. 1977 වසරේ ජූලි 21 වෙනි දින පැවැති මහ මැතිවරණයෙන් බියගම අසුන ජයගෙන මැති සබයට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා ජේ. ආර්. ජයවර්ධන මහතා පිහිටුවූ නව එක්සත් ජාතික පක්ෂ රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයට පත්විණි. පසුව පැවැති නව කැබිනට් සංශෝධනයේදී එම රජයේ ලාබාලම ඇමැති පදවියට 1978 වසරේදී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා විය. 1965 වසරේ බිහිවූ එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව 1978 වන විට පැවතියේ ඉතා මන්දගාමී තත්ත්වයකය. එම තත්ත්වය මුලිනුපුටා දමා ජාතික තරුණ සේවා සභාව මේ රටේ තරුණ තරුණියන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්කිරීමේ හැකියාව රනිල් වික්‍රමසිංහ මහතාට හැකි විය. රටට ගමට අවශ්‍ය තරුණ නායක නායිකාවන් රාශියක් තරුණ සේවා සභාව හරහා බිහි විය. අද පාර්ලිමේන්තුව නියෝජනය කරන බොහෝ තරුණ නියෝජිතයන් තරුණ සේවා සභාවේ යෞවන සමාජ හරහා නායකත්වයට පත් වූ පිරිස්ය. පළාත් සභා හා ප්‍රාදේශීය සභා තුළ සිටි බොහෝ මන්ත්‍රීවරු යෞවන සමාජ තුළින් ඉදිරියට පැමිණි පිරිස් විය.

පසුව අධ්‍යාපන ඇමැති පදවියද විටෙක කර්මාන්ත හා විද්‍යා කටයුතු ඇමැති පදවියට ද පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා 1989 පැවති මහ මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂ රජයේ මැති සබයේ සභානායක පදවියට පත්විය. එවකට ජනාධිපති පදවිය දැරූ ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂය තුළින්ම එල්ලවූ දෝෂාභියෝගයේදී තම පක්ෂයත් නායකයාත් රැක ගැනීමට විශාල මෙහෙවරක් ඉටුකළ රනිල් වික්‍රමසිංහ මහතා එම අර්බුදයෙන් ජනාධිපතිවරයා බේරා ගත්තේ සිය දේශපාලන බුද්ධිය මනාව කළමනාකරණය කරගනිමිනි.

1993 වසරේදී ජනාධිපති පදවිය දැරූ ආර්. ප්‍රේමදාස මහතාගේ ඝාතනය නිසා එවකට අගමැති පදවිය දැරූ ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති පදවියට පත් වූ හෙයින් හිස් වූ අගමැති පදවියට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූයේ මෙරට අගමැති පදවියට පත් වූ දස වැන්නා ලෙසය. ඩී. බී. විජේතුංග මහතාගේ දේශපාලන විශ්‍රාමයත් සමගම 1994 වසරේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වූයේ ගාමිණී දිසානායක මහතාගේ හදිසි අභාවයත් සමගය. එතැන් සිට මැති සබයේ විපක්ෂ නායක පදවියත් අගමැති පදවියත් හෙබවූ රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ වැඩිම වාර ගණනක් අගමැති පදවියට පත් වූ දේශපාලනඥයා ලෙස තබා ඇති වාර්තාව සුළු පටු නැත.

රනිල් වික්‍රමසිංහ මහතා දෙවනුව තැබූ ලෝක දේශපාලනික වාර්තාව වූයේ මැති සබයේ තම පක්ෂය සතුව තිබූ එකම මන්ත්‍රී ධූරයෙන් මැති සබයට පිවිස අගමැති වී ජනපති වීමය. එය එතුමාගේ දේශපාලන දිවි ගමනේ උච්ඡතම අවස්ථාව විය. එතුමා ජනාධිපති වූයේ නිල වශයෙන් බංකොළොත් යැයි ප්‍රකාශ වූ රටකය. ජනතාවගේ කුසට ආහාරයක් නොමැතිව දුක් විඳිමින් සිටියදී, රටේ කිසිම වාහනයකට කර්මාන්ත ශාලාවකට ඉන්ධන නොමැති අවස්ථාවකදී, දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති සියලු පාසල් වැසී තිබියදී, රටට විදුලිය නොමැතිව අඳුරේ ගිලී තිබියදී, මුළුතැන් ගෙවල්වල ගෑස් උඳුන් වලට ගෑස් නොමැතිව යළි දර ලිප ගිනි දැල්වුණු වෙලාවක, විදුලි උඳුන් පුපුරාගොස් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට ද පත් වූ අවස්ථාවක, විවිධ පෝලිම්වල ජනතාව මහ මග මහ අව්වේ වැස්සේ නොකා නොබී මියගිය අවස්ථාවක. ලෙඩට බෙහෙත් නොමැතිව රෝහල්වල ජනතාව දුක් විඳිමින් සිටියදී, මෙවන් රටක රාජ්‍ය පාලනය අරාජික වෙමින් තිබුණි. රටේ පාලකයෝ පෑල දොරින් පළා ගියහ. මන්ත්‍රීවරුන් මහ මග සිත්පිත් නොමැති ත්‍රස්තවාදීන් අතින් ඉතා අමානුෂික ලෙස ඝාතනය විය. ඔවුන්ගේ දේපළ ගිනිතබා වැනසුවේ පොළොන්නරු යුගයේ කාලිංග මාග ආක්‍රමණය සිදුවූ අයුරිනි.

මැති සබය වටළා බලය ඇල්ලීමට අරගලකරුවෝ සූදානම් වී පාරට බැස්සේය. ජනපති මැඳුරු කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, නිල මැඳුර අරගලකරුවන් අත්පත් කරගෙන තිබුණි. මෙවන් බිහිසුණු යුගයක රාජ්‍ය භාර ගන්නා ලෙස විපක්ෂයේ සිටින නායකයන්ට එවකට සිටි රාජ්‍ය නායකයා ඇරයුම් කළත් කිසිවකු එය භාරගත්තේ නැත. මේ අඳුර දුරලා රට රැකීමට භාරගන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

ඔහු පළමුවෙන් රාජ්‍ය ස්ථාවරත්වය තහවුරු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගත්හ. අරගලකරුවන් නීතිය හමුවට ගෙනවුත් අධිකරණ කටයුතු ආරම්භ කළහ. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් යළි ලබා දීමට ක්‍රමානුකූලව පියවර ගන්නට විය. රටේ ආර්ථික අඳුර නිවාලන්නට ගත් වෙහෙස තුළින් මේ වන විට ආර්ථික නිදහස උදා කරමින් සිටී.

හිටපු අමාත්‍ය,
වජිර අබේවර්ධන (පා.ම.)
සභාපති – එක්සත් ජාතික පක්ෂය.

advertistmentadvertistment
advertistmentadvertistment