පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ඖෂධ විකිණූ මහරගම පිළිකා රෝහල් සේවකයා රිමාන්ඩ්

328

පරිත්‍යාගශීලීන් විසින් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ ඉතා වටිනා එන්නත් කුප්පි තොගයක් රහසිගතව නිවසට රැගෙන ගොස් එක් එන්නත් කුප්පියක් රුපියල් 21,000 බැගින් අලෙවි කළේ යැයි කියන මහරගම පිළිකා රෝහලට අනුයුක්තව සේවය කරන සේවකයකු වන නිශ්ශංක උදයංග නමැත්තා ලබන 28 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (16 දා) නියෝග කළේය.

එකී එන්නත් කුප්පියක් රෝගියකුට රුපියල් 21,000 කට අලෙවි කරමින් සිටියදී සිය කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් එම සැකකරුව අත්අඩංගුවට ගත් බවත් ඉන්පසු ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එවැනි එන්නත් කුප්පි විශාල ප්‍රමාණයක් නිවසේ තිබියදී අත්අඩංගුවට ගත් බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා රුපියල් හාරලක්‍ෂ විසිපන්දහසකට අධික මුදලක් එම නිවසේ තිබී අත්අඩංගුවට ගත් බවද අධිකරණයට පැවසීය. සිය සේවාදායකයා ඖෂධවේදියකු බවත් ඔහුගේ නිවසේ ඖෂධ අලෙවි කිරීමේ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බවත් සැකකාර රෝහල් සේවකයා වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. එම සැකකරුට ඖෂධ අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් නොමැති බවද එහිදී අධිකරණයට පැවසූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා ඖෂධ නියාමන අධිකාරිය විසින් එකී එන්නත් කුප්පි තොගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නියමිත බවද වැඩිදුරටත් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment