පරිසරය රැකගන්න මා සමඟ අත්වැල් බැඳගන්න – වනවාසී රාහුල හිමි

225

ජාතික නාමල් උයන 31 වැනි සංවත්සරයට සමගාමීව ජාත්‍යන්තර පරිසර සංවිධානයක්

නාමල් උයන පිහිටුවා මේ වන විට වසර 30 ක් ගෙවිලා. මේ වසර 30 පුරා නාමල් උයන සංරක්‍ෂණය කර රටට ජාතියට භාර දීම සඳහා ඔබ වහන්සේ සුවිශාල වැඩකොටසක් ඉටු කළා. ඒ අතීතය සිහිපත් කළොත්…….?

ජාතික නාමල් උයන එකල මිනිස් වාසයෙන් තොරවයි තිබුණේ. පෙර හෙළ රජ දවසින් පසුව ප‍්‍රථම වතාවට ලෝකයට එළි දැක්කුවේ මම. මේ රටේ මතු පරපුර වෙනුවෙන් සංරක්‍ෂණය කිරීම මා විසින් ආරම්භ කළා. මෙහි දේශීය, ජාතික, භූගෝලීය ඓතිහාසික වටිනාකම් කියා නිමකළ නොහැකියි. ඒ නිසා මම විශ්වාස කරනවා, ස්වභාවික සම්පත් විනාශ වන වකවානුවක ස්වභාවධර්මය විසින්ම නියෝජිතයෙක් හැටියට පත් කළා කියල. මොරගහ උඩ පැලක් හදා මේ ජාතික මෙහෙවර 1991 මාර්තු මස 28 වැනිදා ආරම්භ කළා. ඒ කටයුත්තට අදට අවුරුදු 31 ක් වෙනවා. මේ වෙන කොට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජාතික නාමල් උයන තියෙනවා. විශේෂයෙන් පාසල් දරුවන් විශාල ප‍්‍රමාණයක් එනවා. ඒ වගේ පාරිසරික සංචාරක කර්මාන්තයේ ඉහළ අද්විතීය ස්ථානයක් බවට පත් වෙලා. ඒ විතරක් නොවෙයි මේ නිසා ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තියෙනවා. තවත් සංවර්ධනය වෙමින් පවතිනවා. මම විශ්වාස කරන විදිහට මේ රටේ පුරවැසියෙක් හැටියට ඒ වගේම බෞද්ධ භික්‍ෂූන්වහන්සේ කෙනෙක් හැටියට මගේ කාර්යභාර්ය ඉටු කළා කියලා තමයි මම විශ්වාස කරන්නේ. අක්කර දෙදහසක් පමණ ඇති මෙම භූමිය තුළ ඉතාමත් වටිනා දේශීය ඖෂධ පැළෑටි, පානීය පිරිසිදු ජලය තිබෙනවා. ඒ වගේම බුදුපිළිම හැදුවේ නැති වුණාට අහස උසට වෙහෙර විහාර ගොඩනැඟුවේ නැති වුණාට මිනිසාට ජීවත් වෙන්නට පුළුවන් පිරිසිදු ඔක්සිජන් වාතය, ලබා දෙන ඉතාමත් සුවිශේෂී වූ වනාන්තරයක් මම ලෝකෙට හඳුන්නලා දුන්නා. ඒ වගේම ආරක්‍ෂා කරලා දුන්නා. නා ගහ කියන්නේ අපේ රටේ ජාතික වෘක්‍ෂය. නා ගහ ජාතික වෘක්‍ෂය හැටියට ප‍්‍රකාශ කළේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා 1996 ජූලි මස 26 වැනිදායි. ඒ වගේ දේශීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් පූජනීය වශයෙන් වටිනාකම දී නා ගහ ජාතික වෘක්‍ෂය බවට ප‍්‍රකාශ කරනු ලැබුවා. එය පදනම් කරගෙන මම ලංකාවට ආවේණික වූ ‘‘බටු නා’’ විශේෂය පිහිටි මේ භූමි භාගය ‘‘ජාතික නාමල් උයන හැටියට නම් කළා.

  • ජාතික නාමල් උයනේ 31 වැනි සංවත්සරය සමඟ ඔබ වහන්සේ තවත් අලූත් වැඩකට මුලපුරා තිබෙනවා. ඒ ජාතික නාමල් උයන ජාත්‍යන්තර පරිසර සංවිධානය නමින් සංවිධානයක් ගොඩනඟා එහි කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. මේ පාරිසරික සංවිධානය කුමක්ද? එහි අරමුණු මොනවාද?

ඔව් ‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය’’ පිහිටු වනු ලැබූවා. මේ නාමල් උයන අවුරුදු 30කට වැඩි කාලයක් සංරක්‍ෂණය කරලා එය මධ්‍යම සංස්කෘතික අරමුදලට මම භාර දුන්නා. භාර දුන්නට පස්සේ මම හිතුවා සියලූ බැඳීම්වලින් නිදහස් වෙලා මේ රටට මේ ජාතියට මේ අනාගත බාල පරපුරට කිසියම් කාර්යභාරයක් කිරීමට. ඒ වගේම පාරිසරික වශයෙන් ගත්තොත් එහි අරමුණු තියෙනවා.

මේ රටේ දරුවන්ගේ අනාගතය, බාල පරපුරේ යහපත වෙනුවෙන් මෙය ආරක්‍ෂා කිරීමට කටයුතු කිරීමයි මගේ ප‍්‍රධාන අරමුණ.

ශ‍්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත රෝස තිරුවානා කඳු වැටියට වසර මිලියන පන්සිය පනහක් පැරණියි. මේ ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් පරිසර විද්‍යාත්මක භූමිය ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාව වෙනුවෙන් සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කිරීම හා අධ්‍යාපනික වශයෙන් ප‍්‍රයෝජනයක් ඇති ස්ථානයක් බවට පත් කිරීම මෙහි මුඛ්‍ය පරමාර්ථය වෙනවා.

මෙහි අරමුණු පහක් තියෙනවා ඒවා තමයි:

මේ වැදගත් පරිසර පද්ධතිය තුළ මතු දැක්වෙන සුවිශේෂී කරුණු පිළිබඳව ලෝකවාසී ජනතාවට ශිෂ්‍ය ප‍්‍රජාවට අධ්‍යාපනය කිරීමට පර්යේෂණ කිරීමට අවස්ථාව සලසලා දෙනවා.

ජාතික නාමල් උයන කේන්ද්‍ර කර ගනිමින් මානව සත්ත්ව, ශාක හා අජීවී පරිසරයක සංවේදී ශිෂ්ට සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වාසී මෙන්ම ලෝකවාසී ජනතාව ඉහත කරුණු කෙරෙහි බලගැන්වීමට බලාපොරොත්තු වෙනවා.

පරිසරය රැකගන්න මා සමඟ අත්වැල් බැඳගන්න - වනවාසී රාහුල හිමි

දැනට නාමල් උයන පරිශ‍්‍රයේ සිට ක‍්‍රියාත්මක වන පරිසර හා පාරිසරික සංචාරක කර්මාන්තය, අධ්‍යාපනික, සංචාරක හා ආර්ථික වශයෙනුත් පුළුල් කිරීමත් මෙහිදී අරමුණක්.

ශ‍්‍රී ලංකාව ඇතුලූ ලෝකය පුරාම පාරිසරික සංවේදී ස්ථාන පිහිටුවීම තවත් කරුණක්. ඒ සඳහා පහත අරමුණු අපි ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ශ‍්‍රී ලංකාවේ හා ලෝකය පුරා අදාළ ස්ථාන හඳුනා ගැනීම, ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනැඟීම අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීම ඇතුළු ප‍්‍රමුඛතා ලයිස්තුවක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ අරමුණුත් සමඟම පුංචි දරුවාගේ ඉඳලම මානසික ආකල්පවල වෙනසක් ඇති කරන්න ඕන. මේ සංවිධානය තුළින් ප‍්‍රධාන වශයෙන් ඒ කටයුතු බලාපොරොත්තු වෙනවා.

ආකල්පමය වෙනසක් ඇති වෙන තුරු කවදාකවත් මේ රටේ ගහට කොළට සතා සිවුපාවාට ආදරය කරන ජන සමාජයක් ගොඩනැඟීම ඉතාමත්ම අපහසු කාර්යයක් හැටියටයි මම දකින්නේ. මොනම රජයකටවත්, මොනම සංවිධානයකටවත්, මොනම පුද්ගලයකුටවත් ඒක කරන්නට බැහැ කියන එක මගේ පෞද්ගලික විශ්වාසය. මම විශ්වාස කරන්නේ මේ සියලූම දෙනාගේ මානසික ආකල්පමය වෙනසක් ඇති කරන්න අවශ්‍යයි. මේ ප‍්‍රධාන අරමුණු ටික සාක්‍ෂාත් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

  • මෙම පරිසර සංවිධානයේ ව්‍යුහය මොනවගේද? කුමන මට්ටමේ අයට මෙහි සාමාජිකත්වය ගත හැකිද?

‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානය’’ කියලා රජයේ ලියාපදිංචි කරලා තියෙනවා. මෙහි අධ්‍යක්‍ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අධ්‍යක්‍ෂ මණ්ඩලයට පරිබාහිරව අපි මේකේ මව් සංවිධානයක් හදනවා. ලංකාව පුරාම සාමාජිකයෝ ලක්‍ෂයක් අපි බඳවා ගන්නවා. ඒ ලක්‍ෂය ගෞරවනීය, යාවජීව, ක‍්‍රියාකාරී ලෙස කොටස් තුනකට බෙදලා තියනවා. ඒ විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා විදේශ රටවල්වල සංවිධායකවරු පත් කරන්න. ඒ වගේම විදේශ රටවල්වල ශාඛා ඇති කරන්න. ඒ වගේම ලංකාවේ ආසන මට්ටමින් දිස්ත‍්‍රික් මට්ටමින්, කලාප මට්ටමින් ඒ ආදී වශයෙන් සංවිධායකවරු පත් කරලා මේක බලමුළු ගැන්වීමට. පරිසරය ආරක්‍ෂා කරගැනීම සඳහා කරන මෙම කටයුත්ත කිසිදු දේශපාලන භේදයකින් තොරයි. ආගම් බේදයකින් තොරයි, සංවිධානය තුළ කිසිම කෙනෙකුට ජාතිවාදී අරමුණු ආගම්වාදී අරමුණු ඒ වගේම දේශපාලනික අරමුණු සාක්‍ෂාත් කරගන්නට කිසිදු අවස්ථාවක අපි ඉඩ දීලා නැහැ. මේ රටේ ජාතික සංවිධාන මෙතෙක් කාලයක් පිහිටුවලා තිබෙනවා. සංවිධාන පිළිබඳ බලන කොට මිනිසුන්ගේ තියෙන්නේ එතරම් යහපත් දැකීමක් නෙවෙයි. දේශපාලනයට කඬේ යනවා එක්කෝ ව්‍යාපාරයක් පටන්ගන්නවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා මිනිසුන්ට කලකිරීමක් තියෙනවා. මම අවුරුදු ගානක් අධ්‍යයනය කළා. එයින් පසුව තමා මේ ජාතික නාමල් උයන ජාත්‍යන්තර පරිසර සංවිධානය මම ස්ථාපිත කරනු ලැබුවේ. මෙයින් සිදුවන්නේ ජාතික නාමල් උයන ආරක්‍ෂා කිරීම විතරක් නොවෙයි බොහොම ස්වාධීනව සාධාරණ හේතූන් මත සංවර්ධනයයි පරිසරයයි දෙකම එකම රටක සිදුවිය යුතු ක‍්‍රමයවේදයට හැදීම සඳහා තමයි මේ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ.

  • ඔබ වහන්සේ මෙම සංවිධානය ජාත්‍යන්තර පරිසර සංවිධානය කියලා හඳුන්වන්නේ ඇයි මෙයට ජාත්‍යන්තර මුහුණුවරක් දුන්නේ ඇයි?

ජාත්‍යන්තර පරිසර සංවිධානයක් හැටියට හඳුන්වන්න අදහස් කළේ අපේ රටේ පරිසරය සංරක්‍ෂණය කරන්න තියෙන ආයතන තියෙන්නේ ඉතා අතලොස්සයිනේ. ඒ ආයතනවලට කළමනාකාරීත්වය කියන එකක් නැහැ. ඒ වගේම සම්පත් දායකත්වය නැහැ. ඒ නිසා ජාත්‍යන්තරයෙත් පරිසරයට ආදරය කරන ජනතාවක් ඉන්නවා. උදව් උපකාර කරන්න කැමති පිරිසක් ඉන්නවා. ඒ නිසා මම හිතුවා මේක ජාත්‍යන්තර පාරිසරික සංවිධානයක් හැටියට ස්ථාපිත කරලා පුංචි පුංචි ව්‍යාපෘති හදලා ඒ වගේම ගම්මාන, ආගමික නායකයන්, ආගමික සිද්ධස්ථාන කේන්ද්‍රස්ථාන කරගෙන ආධාර ලබාගෙන පුංචි පුංචි පරිසර ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කරන්න.

  • මේ සඳහා ලැබෙන රාජ්‍යය අනුග‍්‍රහය මොනවගේද? මේ සඳහා ඔබ වහන්සේට උදව් උපකාර කරන පිරිසක් සිටිනවාද?

1991 සිට වර්තමානයේ ජනපතිවරයා දක්වාම මේ රටේ සියලූම රාජ්‍ය නායකයින් හා රාජ්‍ය නිලධාරින් එක්ක මම කටයුතු කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම මේ කටයුත්ත සඳහා සහාය ලබා දුන්නා. ඒකට හේතුව මම පෞද්ගලිකව කිසිම දේශපාලන පක්‍ෂයකට ගැතිකම් කරලා නොතිබීම ඒ නිසා හැම රාජ්‍ය නායකයකු හා වර්තමාන ආණ්ඩුව සහයෝගය ලබා දෙනවා. මේකට අවශ්‍ය කරන සම්පත් දායකත්වයත් යම් යම් අවස්ථාවල ලබා දෙනවා. ඒ වගේම මාර්තු මාසේ 18 වැනිදා සවස 4ට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික නාමල් උයන 31 වැනි සංවත්සරයට සමගාමීව ‘‘ජාතික නාමල් උයන ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ’’ සමාරම්භක උලෙළ් පැවැත්වෙනවා. අපි ඒ සඳහා සහභාගි වන හැම කෙනාටම නා පැළයක් හෝ මී පැළයක් ප‍්‍රදානය කරනවා. ඒ වගේම දිස්ත‍්‍රික් සංවිධායකවරු තුන් දෙනෙක් පත් කරනවා. කාම්බෝජය, ජපානය, එංගලන්තය වැනි රටවල් තුනකට සංවිධායකවරු පත් කරනවා. ඒ කාර්යයන් එදිනට සිදු කරනවා. ඒ වගේම නාමල් උයන ආරම්භයේ සිටම මේ මොහොත දක්වාම ‘‘දිවයින’’ පුවත්පත ඇතුළු උපාලි පුවත්පත් සමාගම මෙන්ම මේ රටේ සියලූම මුද්‍රිත මාධ්‍ය ආයතන, විද්‍යුත් මාධ්‍ය ආයතන මේ ජාතික නාමල් උයන ආරක්‍ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යන්නට මාධ්‍ය දායකත්වය ලබා දුන්නා. මෙම මාධ්‍ය ආයතනවලට මගේ හෘදයාංගම ස්තූතිය මේ මොහොතේ පුද කරනවා මෙන්ම සිරස නමා ස්තූතිය පුද කරනවා.

  • ඔබ වහන්සේට තවත් විශේෂ යමක් කියන්නට තියෙනවාද?

මෙහිදී ඕනෑම කෙනෙකුට ආරාධනා කරනවා ජාතික නාමල් උයනේ පරිසර සංවිධානයේ සාමාජිකත්වය ගන්න. අපි සාමාජික මුදලක් අය කරනු ලබනවා. තවද පරිසරයට ආදරය කරන යහපත් ජන සමාජයක්, නිල්ල පිරුණු දේශයක් කරා යන්නට සියලූ දෙනාම අත්වැල් බැඳගෙන මා සමග එකට කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

පරිසරය රැකගන්න මා සමඟ අත්වැල් බැඳගන්න - වනවාසී රාහුල හිමි

සාකච්ඡා කළේ
සුජානි ඉන්දිකා

advertistmentadvertistment
advertistmentadvertistment