පරිසර අධිකාරියේ ලොක්කෙක් සංවේදී කලාපයක හෝටල් හදලා

213

මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළම පෙළේ තනතුරු දරන්නකු සහ ඔහුගේ පුතු විසින් මාතලේ පිටවල – රත්නින්ද ප්‍රදේශයෙන් ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන් ද අතිශය වැදගත් පාරිසරික සංවේදී භූමිභාගයක සිදුකරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් එකක් වන තෙල්ගමුව ඔය ගලා යන අතර, හෝටලය මුහුණලා ඇත්තේ මෙම තෙල්ගමුව ඔයටය.

දීර්ඝ කාලීනව ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුකිතුලේ ඇළ ද මෙහි පිහිටා තිබේ.

ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදිකිරීම් සිදු වන අතර, එහි සිට සංචාරකයන්ට ඔයට යෑමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක් ද සැකසෙමින් පවතී. මේ ප්‍රදේශය වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ හිමියන් ලග්ගල දිවිගෙවූ සමයේ දිය නෑ තොටක් ලෙස (උන්නාන්සේ නාපු තොට) ඇටන්වල, පිටවල හා රත්නින්ද ගම්වැසියන් විසින් විශ්වාස කරනු ලබන අතර, ඒ ආශ්‍රිතව ඔවුහු කිරි ඉතිරවීමේ මංගල්‍යයක් ද පවත්වති. රාජ උදහසට ලක්ව සිටි සඟරාජ හිමියන් වැඩසිටි පන්සලේ ගෙදර ද ඇත්තේ මීට මදක් මෑතින් වූ රත්නින්ද ගමෙහිය.

සංචාරකයන් ගැවසෙන්න පටන් ගත් කල මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බව

ගම්මුන්ගේ අදහසයි. ඒ අතර මේ මාර්ගයේ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයට ද හානි වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

හෝටල් සංකීර්ණයට ළඟා වීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර මේ වන විට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අතර එමඟින් ඇළ ඛාදනය වීමක් ද රොන් මඩ ගලා යෑම නිසා තෙල්ගමු ඔයේ ජල දූෂණයක ද අවදානම පවතී.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරු කරා හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බව ඒත්තු ගන්වා ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණ අධිකාරියෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයක් මේ හෝටල් සංකීර්ණයේ හිමිකරුවන් ලබා ගෙන නැති බව දැනගන්නට තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment