පරිසර සන්නිවේදනයේ  සාහිත්‍ය ප‍්‍රවේශය

171

සුනිල් උඩුකල ලියූ පාරිසරික  සාහිත්‍ය කෘති තුනක් දොරට වඞී

 පරිසර සන්නිවේදන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලීන ව නිරතව සිටින සුනිල් උඩුකල විසින් රචනා කරන ලද පාරිසරික සාහිත්‍ය කෘති 3ක් එළිදැක්වීමේ උත්සවය 20 දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ හා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, පිහිටි පරිසර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

පරිසර සන්නිවේදනයේ  සාහිත්‍ය ප‍්‍රවේශය

ශ‍්‍රී ලාංකීය මාතෘ භූමියේ පරිසර සුරක්ෂණය වෙනුවෙන් සිය නිර්මාණාත්මක සන්නිවේදන භාවිතාව මගින් පුරවැසියන් දැනුම්වත් කිරීම සඳහා සුනිල් උඩුකල මහතා කටයුතු කරමින් සිටී. ඒ සඳහා විවිධ වූ සන්නිවේදන ආකෘති ඔස්සේ සිය කාර්යභාරය ඉටු කරන ඔහුගේ නවතම ප‍්‍රවේශය වනුයේ සාහිත්‍ය කෘති කීපයකින් පරිසර සන්නිවේදන කාර්යයේ නිරත වීමයි. ඒ අනුව කුරුගහ මණ්ඩිය – (පාරිසරික තීරු ලිපි සංග‍්‍රහය), මිටියාවත – (පාරිසරික ගුවන් විදුලි නාට්‍ය සංග‍්‍රහය), නිල් වනපෙත – (පාරිසරික ගේය කාව්‍ය සංග‍්‍රහය) කෘති තුන මෙසේ ජනගත කෙරිණි.

 සුනිල් උඩුකලයන් විසින් රචනා කරන ලද පාරිසරික තීරු ලිපිවල එකතුවක් කුරුගහ මණ්ඩිය කෘතියට අන්තර්ගත කර ඇත. මිටියාවත කෘතියට අන්තර්ගත වනුයේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවය සඳහා රචනා කරන ලද පාරිසරික ගුවන් විදුලි නාට්‍ය එකතුවකි. මෙම ග‍්‍රන්ථ දෙකම ප‍්‍රකාශයට පත් කර ඇත්තේ ගොඩගේ ප‍්‍රකාශන සමාගමයි. තුන් වන කෘතිය වනුයේ නිල් වනපෙත පාරිසරික ගේය කාව්‍ය සංග‍්‍රහයයි. කර්තෘ ප‍්‍රකාශනයක් ලෙසින් දොරට වඩින මෙම කෘතිය තුළ සුනිල් උඩුකලයන් විසින් වසර ගණනාවක් තිස්සේ රචනා කරන ලද ගීත ඇතුළත් කර ඇත. සංගීත විශාරද ඩෙනිස්ටර් පෙරේරා, සහන් රන්වල සමග සංගීත් නිපුන් ආචාර්ය නිශාද් හඳුන් පතිරණයන් මෙම ගීත සංගීතවත් කර ඇත. ලංකාවේ ජනප‍්‍රිය ගායක ගායිකාවන් කීපදෙනෙක් ම ඔහුගේ ගීත ගායනා කර ඇති අතර එම ගීත සමගින් නව ගීත රචනාවන් ගණනාවක් ම නිල් වනපෙත කෘතියට ඇතුළත් කර ඇත.

 මෙම සාහිත්‍ය කෘති එළිදැක්වීමේ උත්සවයේ මුඛ්‍ය දේශනය ප‍්‍රවීණ ගීත රචක ආචාර්ය රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් පවත්වන ලද අතර, මහාචාර්ය චරිත හේරත්, ප‍්‍රවීණ ගීත රචක බුද්ධදාස ගලප්පත්ති, කිවිපති මාලින්ද සෙනෙවිරත්න, ප‍්‍රවීණ ගීත රචක හා සාහිත්‍ය විචාරක ධම්මික බණ්ඩාර යන කලාකරුවන් ඇතුළු පාරිසරික හා සාහිත්‍ය සහෘදයින් රැුසක් උත්සව අවස්ථාවට සහභාගි වූහ.

 * නයනකේෂී විජේකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment