පරෙයියන් ඇල්ලේ දියේ ගිලී මියගිය අයියාගේ සහ නංගීගේ මරණ පරීක්ෂණය

363

අයියා විවාහ උත්සවය ගන්න තිබුණේ මේ 18 දා නංගි හෙද විදුහලට යන්න හිටියේ 8 වැනිදා… නංගී ලිස්සා වැටුණා… මට ඇයව අල්ල ගන්න බැරිවුණා… අයියා සහ නංගී පහළට ගසාගෙන යනවා දැක්කා…

 මියගිය දෙදෙනාගේ සහෝදරියක වන වත්සලා මදුමාලි සාක්ෂි දෙමින් කියයි

 බඩල්කුඹුර රවිඳු ගුණතිලක

 පරෙයියන් ඇල්ල පහළ දියනාමින් සිටි සුරේෂ් අයියා අපට එතැනට එන්නැයි අඬගසා කිව්වා. මමයි නංගීයි මගේ නෑනයි ඒ පැත්තට යනවිට නංගිගේ පය ලිස්සා පහළ වතුරවලට වැටුණා. ඇයව

 බේරාගන්න මම වතුරට පැන්නා. මට නංගිව අල්ලගන්න බැරිවුණා. පසුව මම අමාරුවෙන් ගොඩට ආවා. ගොඩට ආවිට දැනගත්තා අයියාත් නංගිව බේරගන්න වතුරට පැන්න බව. ටික වේලාවකින් අපි දැක්කා නංගිත් අයියාත් ජලපහර සමඟ පහලට ගසාගෙන යනවා.

 බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ ජලපහරට හසුවී දියේ ගිලී මියගිය තම අයියාගේ සහ නැගණියගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් ඔවුන් දෙදෙනාගේ සහෝදරියක වන වත්සලා මදුමාලි ගජවීර (25* මෙසේ පැවසුවාය,

 ඔක්කම්පිටිය සමගිපුර 03 කණුව අසල පදිංචි සුරාජ් මධුශංඛ ගජවීර (30* සහ අයේශා ගයේශානි ගජවීර (23* යන දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී මොනරාගල හදිසි මරණ පරීක්ෂක ඞී.එස් ගුණතිලක මහතා විසින් මෙම මරණ පරීක්ෂණ පවත්වන ලදී.

 සාක්ෂිකාරිය මෙසේද පැවසුවාය,

 විවාහයෙන් පසුව මම බෙන්තර හබුරුගල ප‍්‍රදේශයේ ජීවත්වෙනවා. ඉකුත් 31 වෙනිදා මමයි, මහත්තයයි, ඔහුගේ අම්මයි, නංගීයි, මල්ලීයි ඔක්කම්පිටියේ පිහිටි අපේ මහ ගෙදරට ආවා. මගේ අයියාගේ විවාහ උත්සවය තියෙන්නේ අගෝස්තු 18 වෙනිදා. නංගිට අගෝස්තු 08 වෙනිදා හෙද විදුහලට යන්න තියෙනවා. අගෝස්තු (01* උදේ අපේ අයියා යෝජනා කළා කොහේ හරි විනෝද ගමනක් යමු කියලා. වැල්ලවාය ඇල්ලවල ඇල්ල බැලීමට යාමට තීන්දු වුණා. ඒ අනුව අපි දහදෙනෙකු මෝටර් රථ දෙකකින් වැල්ලවාය ඇල්ලවලට යාමට පිටත් වුණා.

 බුත්තල නගරයේදී සුරේෂ් අයියා කිව්වා ඇල්ලවල ඇල්ලට වඩා හොඳ තැනක් බඩල්කුඹුරේ පරෙයියන් ඇල්ල ප‍්‍රදේශයේ තියෙනවා අපි එහාට යමු කියලා.

 ඒ අනුව අපි පස්වරු දෙකට පමණ පරෙයියන් ඇල්ලට ගියා.

 මමයි, අම්මයි, නංගීයි, මගේ නෑනායි, දරුවායි ඇල්ල අසල ගල්තලාවේ වාඩිවී සිටියා.

 මගේ අයියයි, මල්ලියි, මගේ මස්සිනායි ඇල්ල පහළට නාන්න ගියා. ටික වේලාවකින් අයියා අපට අඬගහලා කිව්වා එතනට එන්න කියලා. ඒ අනුව මමයි, නංගියි, මගේ නෑනයි එතනට යන්න ගියා. දිය පාර හරහා නොගිහින් ගල්තලාවක් වටෙන් යන්න ගියා. එකවරම නංගී පය ලිස්සා පහළ වතුර වළට වැටුණා.

 මමත් නංගිව බේරගන්න වතුරට පැන්නා. මට නංගිව අල්ලගන්න බැරිවුණා. මම අමාරුවෙන් ගොඩට ආවා. එවිට දැන ගත්තා අයියාත් දුවගෙනවිත් නංගිව

 බේරගන්න වළට පැන්න බව. අපි

 කෑගැහුවා. ටික වේලාවකින් මම දැක්කා වතුර පාරත් සමඟ නංගිව පහළට ඇදී යනවා. මම ගිහින් නංගිව අල්ලගෙන

 ගොඩට ගත්තා. ඒ එක්කම වගේ අයියාත් දියපහර දිගේ පහළට ආවා. අම්මා අයියාව අල්ලගෙන ගොඩට ගත්තා. අපි දෙදෙනාම ගොඩ අරගෙන ගල්තලාව මත තැබුවා.

 අපි කෑගහන ශබ්දයට අසල්වාසීන් දෙදෙනෙකු ආවා. ඒ එක්කම අපි 1990 ගිලන් රථයට කතා කළා.

 ඔවුන්ද ආවා. නංගිවයි අයියාවයි පරික්ෂා කරලා ඔවුන් කිව්වා දෙදෙනාම මියගිහින් කියලා. අයියාගේ සහ නංගීගේ මරණ ගැන මට කිසිම සැකයක් නැහැ.

 අයියා සහ නංගී දියේ ගිලීමෙන් මියගිය බව බවට මම විශ්වාස කරනවා.

 ගිහානි නෙත්මිනී ජයවර්ධන (17* යන අයද සාක්ෂි දුන්නාය.

 මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නිලධාරී යූ.පී.ජී. උදේශානී මහත්මිය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවාය.

 පරීක්ෂණයෙන් ලද සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මෙම මරණ දියේ ගිලීමෙන් සිදුවූ මරණ බවට මරණ පරීක්ෂකවරයා තීරණය කළේය.

 බඩල්කුඹුර පොලීසියේ ඩබ්ලිව්.පී.ජී. අල්විස් මහතා සාක්කි මෙහෙයවීය.

advertistmentadvertistment
advertistmentadvertistment