පල්ලියෙත් සිංහල අලුත් අවුරුදු තිබුණා….

509

ලෝකයේ දියුණු නොදියුණු සෑම ජාතියකටම විශේෂිත වූ ජාතික උත්සවයක් ඇත. ජාතියකට අනන්‍ය වූ සිරිත් විරිත් රැක ගැනීම සඳහා ද ජාතික සංස්කෘතියක් ඇතිකර ගැනීම සඳහා ද එවැනි උත්සවයක් අනිවාර්යයෙන්ම ඉතාමත් වැදගත් ්කොට සැලකිය යුතුය.

සිංහල අවුරුදු උත්සවය වැනි ජාතික උත්සවයකට අනුගතවීම ශ්‍රී ලාංකික කතෝලිකයන්ගේද අනිවාර්යය යුතුකමක් වන්නේ එනිසාය.

සිංහල අවුරුදු උත්සවයේදී සුබ වෙලාවල් නැකත පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.

නමුත් කතෝලිකයන් සාමාන්‍යයෙන් නැකත් සහ සුභ වෙලාවල් ගැන විශ්වාස කරන්නේ නැත.

නමුත් ඒවා බාධාවන් නොකරගෙන කතෝලිකයන්ට සිංහල අවුරුද්ද පැවැත්වීමේ හැකියාව ඇත.

නැකත් සහ සුභ වේලාවල් අනුගමනය කිරීම ගැන ගැටලුව පසකට තිබියදී සිංහල අවුරුද්ද කතෝලිකයන්ට එලෙසින්ම අනුගමනය නොකිරීමට එක් ප්‍රධාන බාධකයන් වූයේ සමහර අවුරුද්දක ජේසුතුමන් දුක්විඳීම සිහිපත් කරන කාලය එනම් චතාරික කාලය සිංහල අලුත් අවුරුද්ද සමග එකට එළැඹීමය.

චතාරිකය යනු කතෝලිකයින් ජේසු තුමන්ගේ දුප්ප්‍රාප්තිය සිහිකරමින් යාඥාවෙන් නිරාහාර ශීලයෙන් ගතකරන කාල පරිච්ඡේදයකටය.

චතාරික කාලය සකස් වන්නේ යුදා කැලැන්ඩරය අනුවය.

පල්ලියෙත් සිංහල අලුත් අවුරුදු තිබුණා….

අවුරුද්දේ දෙවන පෝයෙන් පසුව එන දෙවන බදාදා (අළු බදාදා වශයෙන් සලකා) චතාරික කාලයේ පළමු දිනය වශයෙන් සලකා එතැනින් සිට දින හතළිහක් චතාරික කාලය වශයෙන් සලකා මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා තීරණය විය.

මෙනිසාම කිසියම් චතාරික කාලයක සිංහල අවුරුද්ද එළඹුණු කාලවකවානු විය. එවන් විටක සිංහල අවුරුද්ධ උත්සවශ්‍රීයෙන් පැවැත්වීමේ හැකියාව කතෝලිකයන්ට නැතිවිය.

නමුත් පාස්කුව කිසියම් නිශ්චිත දිනයක පැවැත්වීමට අවසර ගැනීමේ හැකියාවද නැත්තේ නොවේ.

උදාහරණයක් වශයෙන් පැවසුවහොත් ග්‍රීක ඔතඩොක් සභාවේ පාස්කු දිනය යෙදෙන්නේ අප්‍රියෙල් විසිහත් වන දිනය.

පාස්කු උත්සවය හා සිංහල අවුරුදු උත්සවය මගින් කියැවෙන්නේ පැරණ ජීවිතය අවසන් කරමින් නව ජීවිතයකට අවතීර්ණ වීමක් ගැන නිසා කතෝලිකයන්ට ඉතාමත් පහසුවෙන් සිංහල අවුරුද්ද හා පාස්කුව ගලපා ගත හැක.

කතෝලික ජනයාට සිංහල අවුරුදු සමයේ එම සමාජීය චාරිත්‍රයන්ට හවුල්වීමේදී පාස්කු සතියේ ජන වන්දනා මෙහෙයන් තුළින් ඒවායේ ආර්ථාන්විත භාවය ඉතාමත් අපූරුවට ගලපා ගත හැක.

ආලේලුයියා සෙනුසරාදා (මහ සිකුරාදාට පසු දිනය) රාත්‍රියේ දේව මෙහෙයන් පවත්වන කතෝලික දෙවිමැඳුර විදුලි පහන් නිවා අඳුරට පත් කරනු ලැබේ.

එසේ මුලු දෙව්මැඳුරම අඳුරට පත්කළායින් පසු තෙවරක් ක්‍රමයෙන් පහන් තුනකින් පාස්කු ඉටිපන්දම් දැල්වීම සිදු කරනු ලබයි.

මෙය සිංහල අවුරුදු උත්සවයේදී නව සඳ බැලීමට සහ අවුරුදු උදාවට අර්ථ ගලපා ගත හැක.

පාස්කු උත්සවයේදී පිරිසිදු බවේ සලකුණක් ලෙසට ප්‍රසාද ස්නාපන ජලය ආසිරිගන්වා සැදැහැවතුන් තම නිවෙස්කරා ගෙනයති. මෙම පාස්කු සිරිත සිංහල අවුරුදු උත්සවයේදී ස්නානය කිරීමේ චාරිත්‍රය හා අපට ගලපා ගත හැක.

මහ බ්‍රහස්පතින්දා දින ශුද්ධවූ තෛලය ආශිර්වාද කිරීම රදගුරුතුමන්ලා අතින් ඉටුවන සුවිශේෂ මෙහෙයකි.

පල්ලියෙත් සිංහල අලුත් අවුරුදු තිබුණා….

කතෝලික වත් පිළිවෙත්වලදී හිස පමණක් නොව නළල ඇස්දෙක, කන, නාසය, පපුව, කොඳු නාරටිය ආදිය ශුද්ධවූ තෛලයෙන් ආලේප කරනු ලැබේ.

කතෝලිකකම ලබන්නන්ද (භෞතීස්ම කිරීමේදීත්) කතෝලික පූජකවරය ලබන්නන්ද, කතෝලික රාජගුරු පදවිය ලබන්නන්ද ආගමික වන්දනාව සඳහා වෙන්වූ කතෝලික දෙව් මැඳුරු පූජා භාණ්ඩ අභිෂේක කරන්නේ නොහොත් ඒ ඒ ආගමික කාර්යයන් සඳහා ඇප කැප කරන්නේ ශුද්ධවූ තෛලයෙන් ආලේප කිරීමෙනි.

සිංහල අවුරුදු උත්සවයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය සඳහා මෙම ශුද්ධවූ තෛලය ආලේප කිරීම කතෝලිකයන්ට ආදේශකර ගත හැක.

ආගමික විශ්වාසයන් කුමක් වුවත් සිංහල අවුරුද්ද සැමරීම තුළින් ශ්‍රී ලාංකික සිංහලයන් වන් අපට ජාතික සිරිත් විරිත් රැක ගැනීම තුළින් එමගින් මතුවන සාරධර්ම තම ජීවිත තුළට ඇතුළත්කර ගැනීමට හැකියාව ඇත.

“අපි ආගමේනේ අපිට සිංහල අවුරුදු නැහැනේ” සිංහල අවුරුද්ද සමරනවාද යන්න ඇසූවිට සමහර කතෝලිකයන් අතීතයේ පිළිතුරු දුන් අවස්ථා එමට විය.

බොහෝ විට එවැනි ප්‍රකාශ කිරීමට ඇතැමුන් පෙළඹෙන්නට ඇත්තේ සිංහල අවුරුදු උත්සවය ජාතික උත්සවයක් වශයෙන් නොව ආගමික උත්සවයක් වශයෙන් සැලකීම නිසා විය යුතුය. මෙය ආගමික උත්සවයක් වශයෙන් සමහරවිට වරදවා තේරුම් ගැනීමට හේතුවන්නට ඇත්තේ සිංහල අවුරුද්ද හා සබැඳි නැකත් සහ සුබ වේලාවල් නිසා විය යුතුය.

වතිකානයේ විශ්වාසය ප්‍රවර්ධන සංසදය විසින් සියලුම ධර්මදුතවරුන්ට යැවූ සංදේශයක් අනුව කතෝලික ධර්මයට සහ කිතුනු සදාචාරයට පටහැනි නොවනසේ තමන් ජීවත්වන රටවල පවතින සිරිත් විරිත් අනුගමනය කිරීමේ අවසරය ලබාදී ඇත.

මෙයට අමතරව දෙවන වතිකානු මන්ත්‍රන සභාවෙන් තමන් ජීවත්වන දේශයේ බහුතරයක් අනුගමනය කරන සිරිත් විරිත් භාවිත කිරීමේ අවසරය කතෝලිකයන්ට ලැබී ඇත.

පල්ලියෙත් සිංහල අලුත් අවුරුදු තිබුණා….
මර්සලීනු ජයකොඩි පියනම දළදා වහන්සේ වස්දනා කිරීමට ගිය අවස්ථාවක්… සාමායික සුහදත්වය. ගරු හේනේපොළ ගුණරත්න හිමි, අස්ගිරි පාර්ශ්වයේ පළිපාන චන්දානන්ද මහ නාහිමි, කඹුරුපිටියේ වජිර හිමි

1965 දෙසැම්බර් හත්වන දින නිකුත් කෙරුණ ධර්මදුතික සංදේශය අනුව විවිධ රටවල පැතිර පවතින කතෝලික සභාවන්ට තමන් ජීවත්වන එම රටේ බහුතර ජනතාවගේ සිරිත් විරිත් සහ සම්ප්‍රදායන්ගෙන්ද ඔවුන් භාවිත කරන කලාවන් සහ විද්‍යාවන්ද දේව මහිමය ප්‍රකාශ කිරීමට අවසරය ලැබී ඇත.

මෙමඟින් අපගේ සංස්කෘතිකාංග සිරිත් විරිත් ක්‍රිස්තියානි මුහුණුවරකින් පැවැත්වීමේ අවසරය දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් ලැබී ඇත.

ලතින් භාෂාවෙන් පැවැත්වූ පූජාව සිංහල භාෂාවෙන් පැවැත්වීම, බොහෝ ලතින් ගීතිකා වෙනුවට සිංහල ගීතිකා ගායනය වඩාත් ප්‍රචලිත වූයේ මෙම දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසුවය.

එපමණක් නොව මර්සලින් ජයකොඩි පියතුමා වැනි සමහර පූජා ප්‍රසාදීවරුන් අල්තාරය මත තැබීම දිව්‍ය පූජාවකදී මඟුල් බෙර වැයීම වැනි සිංහල සංස්කෘතිකාංගද කතෝලික පල්ලිය තුළට වැද්ද ගත්තේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් ලැබුණ එම සහනශීලී අවකාශයන් නිසාය.

මෙනිසාම සිංහල අවුරුද්ද කතෝලික දෙව්මැඳුර භූමියේ පැවැත්වුණ අවස්ථා එමටය.

ගරු මර්සලීනු ජයකොඩි පියතුමා, ගරු අර්නස් පෝරුතොට පියතුමා වැනි පියවරුන් කතෝලික සභාව තුළ සිංහල අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා කතෝලික ජනතාව මෙහෙයවීමේ පුරෝගාමී ව්‍යායාමයක නිරත වූහ.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment