පලා මිටියක්වත් ණයට දෙන්නේ නැත

1282

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු කොයි ඉන්ධනයත් වහා ගිනි ගන්නාසුලුය. මේ බව තෙල් බවුසර්වල ඉතා පැහැදිලිවත්, ලස්සනටත් අත්අකුරෙන් ඇඳ තිබේ. පසුගිය කාලයේදී අප විසින් අවබෝධ කරගත් වැදගත්ම කාරණය වන්නේ ඉන්ධන පමණක් නොව ඉන්ධන පෝලිම් ද වහා ගිනි ගන්නාසුලු බවය. මේ පෝලිම්වල දවස් දෙකේ තුනේ ළගිමින් එදිනෙදා ආදායම ද අහිමිව ශෝකජනක ලෙස චාටර් වන ජනයා නාසය ළඟින් මැස්සෙක් ගියත් මිනී මරාගන්නට සූදානම් ය. මෙසේ ගහ මරාගත් අවස්ථා රැසක් පසුගිය කාලයේදී වාර්තා විය. රඹුක්කන ෂෙඩ් එකේදී තෙල් කලහයක් නිසා පොලිසියෙන් කොන්දට වෙඩි තැබූ පුද්ගලයකු සැනෙකින් මළේය. සිද්ධියට සම්බන්ධ, අරක්කු පීප්පයක් වැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කෙනෙක් දැනට වැඩ තහනම්ව සිටී. ඒ අතර පසුගිය දවසක යුද හමුදා ලුතිනන් කෙනෙක් තෙල් ගන්නට ෂෙඩ් එකට පැමිණි මිනිහකුට පයින් ගැසුවේය. මේ ලුතිනන් ඉතා දක්‍ෂ මිනිසෙකි. ඔහුට අඩි හයකට වඩා කකුල ඉස්සීමට පුළුවන. තෙල් ගැනීමට පැමිණි මිනිසාට පයින් ගසන ලද අවස්ථාවේදී ඔහු අඩි පහක් පමණ කකුල උස්සා තිබිණ. ඒ නිසා තවත් අඩියක් දෙකක් කකුල එසවීමට ඔහුට අමාරු නැත. මේ සිද්ධිය නිසා මේ වනවිට ඔහු සියලු රාජකාරීවලින් ඉවත් කර තිබේ. අපගේ යෝජනාව වන්නේ ඔහුගේ වැඩ තහනම් කර එම කාලය තුළ පාදය තවත් අඩි කීපයක් එසවීම සඳහා දියතලාවේ කෑම්ප් එකෙන් ඔහුට පළපුරුද්දක් ලබාදිය යුතු බවය. මේ අතර තෙල් පෝලිම්වලදී ආමි එකත් පොලිසියත් ගුටි කෙළි ගන්නා බව පෙනේ. සමහර විට පොලිසිය පැමිණ තෙල් පෝලිමේ සිටින අයට ටෝකන් දීගෙන-දීගෙන යයි. මිනිස්සු ද තෙල් පෝලිමේ හිටගෙන-හිටගෙන සිටිති. එහෙත් ටෝකන් මිස තෙල් එන බවක් නොපෙනේ. මෙසේ දවස් තුනක් හතරක් ගත වන කල හමුදාවෙන් පැමිණ පොලිසියේ ටෝකන් වීසිකර දමා අලුත් ටෝකන් දීගෙන-දීගෙන යයි. මිනිස්සු ද නැවත වතාවක් හිටගෙන-හිටගෙන සිටිති. සෑම පාර්ලිමේන්තු සැසියකදීම මේ රටේ ඇමැතිවරු තෙල් නැව් එන කාලසටහන සබා ගත කරති. මේ අනුව දළ වශයෙන් ගත් කල හෙට නැව් දෙකකුත්, අනිද්දා නැව් තුනකුත්, ඉන් අනිද්දා නැව් පහකුත් පැමිණීමට නියමිතය. නැව් එන බව ඇත්ත. හැබැයි ඒවායේ තෙල් නැත. ඒවායේ තෙල් ඇතොත් ඇත්තේ නැව දිවවීමට අවශ්‍ය තරමට එන්ජින් කාමරයේ ටැංකිවල පමණි. ඒ නැව් ඒ තෙල් විකුණන්නේ නැත. තෙල් පෝලිමේ සිටගෙන සිටීමත් නැව් නොපැමිණීමත් අපට දැන් පුරුදු වී ඇත. මේ පුරුද්ද හොඳ පුරුද්දක් ලෙස වටහා නොගන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. මේ පුරුද්ද නරක පුරුද්දක් වූ විට ආණ්ඩුවට පණ ගලවා ගැනීම සඳහා දිවීම පිණිස අලුතින් පාරවල් කපන්නට සිදුවේ. මේ ප්‍රශ්නවලට පෙනෙන දුරක විසඳුම් නැතැයි සාමාන්‍ය ජනතාව කියති. අපගේ අදහස වන්නේ මේ ප්‍රශ්නවලට විසඳුම් ඇති බවය. එහෙත් පෙනෙන දුරක් නැත.

තෙල් මිලදී ගැනීම සඳහා රුපියල් නැතැයි තෙල් සංස්ථාව කියයි. ඒ සඳහා සල්ලි තමන් සතුව ද නැතැයි මහා භාණ්ඩාගාරය කියයි. එවිට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ කියන්නේ අඩුම ගණනේ ටි්‍රලියන් කාලක්වත් සල්ලි අච්චු නොගැසුවොත් තෙල් ගන්නට රුපියල් නිකුත් කළ නොහැකි බවය. ආණ්ඩුව රුපියල් නිකුත් කළත් ඒවා ඩොලර්වලට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය අප සතුව තිබේද? අප මෙතෙක් කලක් දැන සිටියේ පිටරටින් බඩු ගෙන්වීමට අප සතුව ඩොලර් නැති බවය. ආණ්ඩුව දැන් කියන්නේ ඩොලර් තියා රුපියලුත් නැති බවය. මේ අනුව අපට කීමට ඇත්තේ මේ රටට ආණ්ඩුවකුත් නැති බවය. දැනට ඉතිරිව ඇත්තේ වර්ග සැතපුම් විසිපන්දහස් තුන්සිය තිස්දෙකක් විශාල ශ්‍රී ලංකා භූමිය සහ අපේක්‍ෂා භංගත්වයට පත් දෙකෝටි විසි ලක්‍ෂයක ජනගහනයකුත් කිසියම් තැනක UNDER GROUND ගොස් සිටින ජනාධිපති කෙනෙකුත් එදා වේල ජීවත් වීම සඳහා මොකක් හෝ බොරුවක් කියා ගේමක් ගසන දෙසිය විසිපහක මන්ත්‍රී මණ්ඩලයකුත් පමණි.

තෙල් හිඟය සහ විදේශ විනිමය හිඟය නිසා ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉතිහාසයේ දරුණුම සහ වඩාත්ම තිත්ත අත්දැකීම මේ මොහොතේදී භුක්ති විඳිමින් සිටී. පිටරටින් ගෙන්වන සියලුම ආහාර වර්ග හිඟයක් පවතින අතර තියෙන කෑම බීමවල ද මිල ඉතා ඉහළය. එසේම අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල විශාල හිඟයක් රටපුරා පවතී. ඩීසල් හිඟය හේතුවෙන් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය පිට පළාත්වලින් නගරයට ළඟා වීම කඩාකප්පල්වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එළවළු නිපදවන පළාත්වල එළවළු මිල ඉතාම පහළින් පැවතීමත් කොළඹ ඇතුළු නගරයේ එළවළු මිල බෙහෙවින් ඉහළ යෑමත් විශාල ගැටලුවක් වී තිබේ. දැනට පෙනෙන්නට තිබෙන්නේ තෙල් ආවොත් සියලු ප්‍රශ්න විසඳෙන බවය. එහෙත් එය මායාවකි. තෙල් ප්‍රශ්නය විසඳුණු ගමන් සෙසු ප්‍රශ්න දුම් දමමින් උතුරන බව අපි යථාර්ථවාදී ලෙස තේරුම් ගත යුත්තෙමු. ඒ නිසා ඩොලර් ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා තිරසාර විසඳුමකට යෑමට ආණ්ඩුවට සිදුවනු ඇත. මේ රටේ ආර්ථිකයට අවුරුදු 30 කින් ගෙවී යන පරිදි අඩු පොලියට ඩොලර් බිලියන 10 ක් පොම්ප කළොත් ඩොලරය රුපියල් 210 ට බසිනු ඇතැයි ඇතැම් අර්ථ ශාස්ත්‍රඥයෝ කියති. ඒත් කවුද ඉතින් අපිට එහෙම ණයට දෙන්නේ? දැනට පිටරටකින් පලා මිටියක්වත් ණයට දෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment