පවනක වේගයෙන් දිවි සැරිය නිම කළ පවන්

420

හදිසි අනතුරක් සිදුවන්නට ගත වන්නේ අසුරු සැණකි. පන්තේරු නර්තන ශිල්පියෙකු වූ පවන් වීරසේකර ද පවනක් බඳු වේගයෙන් ජීවිතයට සමුදුන් තරුණයෙකි. නොනිම් ආශාවකින් පෙරහරට දායක වන්නට ගිය පවන් තම දිවිසැරිය නිම කරනු ඇතැයි මව්පියන් කිසිවිටෙකත් නොසිතන්නට ඇත. වයස අවුරුදු දහනවයක් වන විට ජීවිතයට සමුදුන් තම පුතුගේ වියෝව සම්බන්ධයෙන් දෙමව්පියෝ දැඩි කම්පනයකට පත්ව සිටියහ.

 පන්තේරු ගුරු කුලයට අයත් කුරුණෑගල නර්තන ගුරුන්නාන්සේ සමග එක්ව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ නාථ දේවාල පෙරහරට පැමිණි පවන් හට පෙරහරේ පෙළහර පාන්නට ලැබුණේ සිව් දිනක් පමණි. ඔහු අවසන් කුඹල් පෙරහර දින නාථ දේවාල පෙරහරේ පන්තේරු නැටුම් කණ්ඩායම නියෝජනය කරමින් වීථි සැරීය. අවසානයේ නැවත නාථ දේවාලයට පැමිණ රාත‍්‍රියේ නවාතැන් ගන්නා පැරණි ධර්මරාජ ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගියේය. මේ දරුවන් වයස අවුරුදු දහනවයත් විස්සත්ත් වැනි වයස් කාණ්ඩවල තරුණයින් බැවින් තරුණ ජවයෙන් මේ දින ගණනේම සාමූහිකව වැඩ කරමින් උන්හ. පෙරහර නිමවී තම තමන් වෙසෙන ගොඩනැගිල්ලට වතුර බෝතල් ගෙන යාමේ මොහොත උදා වී තිබිණි. වට රවුමේ පඩි පෙළෙන් වතුර බෝතල් ගෙන යන්නට ඉඩ සලසා තිබුණද මේ දරුවෝ බිම සිට වතුර බෝතල් උඩුමහලට විසිකර කර තිබේ. ඒ බෝතල් අල්ලා ගන්නට උඩුමහලේ සිටි තරුණයින් කටයුතු කර ඇත. පවන් වැඩි උවමනාවක් දක්වමින් බංකුවක් තබා ඒ මත නැගී බෝතල් අල්ලන්නට පටන් ගෙන ඇත. හිටි හැටියේම බංකුව ගැස්සී පවන් විසිවී දෙමහලින් බිමට ඇදවැටී ඇත.

 වහා ක‍්‍රියාත්මක වූ නාථ දේවාලයේ පරිපාලන පිරිස් ඇතුළු සියල්ලෝ පවන් ඒ මොහොතේම මහනුවර ජාතික රෝහලට කැටුව ගොස් තිබේ. ක්ෂණික ප‍්‍රතිකාර ඒකකටය ඇතුළත් කල පවන් එසැණින්ම ශල්‍යාගාරය වෙත යොමු කිරීමට ස්නායු ශල්‍ය වෛද්‍යවරුද කටයුතු කර තිබිණි. ඒ අනුව පවන් හදිසි ශල්‍යකර්මයකටද භාජනය කළේය. ස්නායු ශල්‍යාගාරය අසල වන හදිසි ප‍්‍රතිකාර ඒකකට ඇතුළත් කිරීමෙන් පසුව, පවන් දහ අටවැනි දින සිට යන්ත‍්‍රසූත‍්‍ර වල ආධාරයෙන් ජීවිතය සමග පොර බැදීය.

 ඒ වෑයම සාර්ථක නොවුණේ පවන්ගේ මොළයට රුධිර වහනය වී තිබූ නිසාත් කශේරුකාවට හානි සිදුව තිබූ නිසාත් බව වෛද්‍යවරු කියා තිබිණි. ජීවිතයත් මරණයත් අතර හුස්ම පොද සමග පොර බැදි පවන් ඉකුත් තුන්වැනිදා සවස තම හුස්ම පොද වාතලයට පවනේම පාකර හැර තිබිණි. ඒ වන විට පවන් වත්මන ලොවක් අසරණ කර සිටින කොවිඞ් වෛරසයේ ගොදුරක් බවටද පත්ව සිටියේය. දළදා පෙරහරට නටන්නට එන්නට දහසක් සිහින මැව් ඒ සිහින මිතුරන් සමග බෙදා ගත් පවන්ට සිය කුළුඳුලේ අත්දැකීම ආපසු ගොස් මතුගම යහළුවන් කැලට පැවසීමට රුදුරු මරුවා ඉඩ තැබුවේ නැත. ඔහු දැන් සියල්ල අතහැර දමා ගොස්ය. සිතින් සියල්ල අතහැර දමා ගිය පවන්ගේ කයට මිය ගොස් දින පහක් ගතවන තුරුත් සැනසීමක් ලැබී තිබුණේ නැත. මියගිය තම පුතුගේ දේහය මතුගම සිය නිවෙස් අසල ආදාහනාගාරය වෙත ගෙන ගොස් ආදාහනය කිරීමට ඔවුහු මහනුවර රෝහලෙන් අවසර ඉල්ලා තිබිණි. ඒ අනුව ඉකුත් හත්වැනිදා පෙරවරුවේ මහනුවර මහයියාව ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට වෙලාව වෙන්කර තිබූ පවන්ගේ මළසිරුර මෘතශරිරාගාරයේම තවදුරටත් තබා තැබීමට රෝහල් කාර්යය මණ්ඩලයට සිදුව තිබිණි. පවන්ගේ මළසිරුර මතුගමට රැගෙන යෑමට නම් මතුගම මහජන පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මහනුවරට පැමිණ එය භාර ගත යුතුය. නමුත් එවැන්නක් සිදු නොවූ බැවින් අදාළ මළ සිරුර මැණික්හින්නේ පිහිටි කොළඹ මල් ශාලාවට භාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛිතව මෘත ශරීරාගාරයට දන්වා තිබිණි. මැණික්හින්න මල්ශාලාවට භාරදී තිබුණේ සෙසු කිසිදු මල්ශාලාවක් කොවිඞ් ආසාදිත මළසිරුරු ප‍්‍රවාහනය නොකිරීම නිසාය. නමුත් මළ සිරුර සම්බන්ධයෙන් රජයේ නිලධාරියකු වගකිව යුතු බැවින් සහ කොවිඞ් නිරෝධායන නීති රෙගුලාසි අනුව කොවිඞ් ආසාදිත මෘත දේහයක් ආදාහනය කළ හැක්කේ රෝහල ආසන්නයේ පවතින ආදාහනාගාරයක පමණක් බැවින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පනාපිටිය මහතා කියා සිටියේ මෙම මළ සිරුර මහයියාව ආදාහනාගාරයේදී ආදාහනය කරන ලෙසය. නමුත් පවන්ගේ දේහය ඉකුත් නව වැනිදා තෙක්ම මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ආදාහනය සඳහා පෝලිමට ඇති මළසිරුරු අතර තබා තිබෙනු දක්නා ලැබිණි. සිහියක් පතක් නැතිව ශල්‍යාගාරයේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබා තිබුණු පවන්ගේ කයට හුස්ම පොද නැතිව නිසල වුවද සැනසීමක් නැත. භාරහාර පුද පූජා බණ දහම් පිරිත් පිංකම් මේ සියල්ලක්ම සිදු කරන්නේ සැනසීම පිණිස වුවද බහුතරයක් ජනයා ඒ සියල්ල සිදු කරනුයේ රටට ලෝකයට පෙනෙන්නට පමණක් බව මෙවන් සිදුවීම් වලින් සනාථ වන්නේය. මිය ගිය පසුව ගෞරවාන්විත නික්මීමක් සනිටුහන් වන්නේ නිසල කයටද වහා සැනසීමක් දුන් විටය. මේ වග ඇතැමුන්ට වැටහෙන්නේ නැත්තේ ඇයි දැයි පවන්ගේ පාව ගිය චුතිසිතම දැන් කල්පනා කරනු ඇත.

 * සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment