පවර් කට් කරන්න ඇත්තම හේතුව මෙන්න…

238

ඉංජිනේරු මාෆියාව පරාජය කරන්න බැරි ඇයි?

ඉකුත් සතියේ නම් විදුලිය කපාහැරීමක් සිදු කළේ නැත. එයින් ගම්‍යවන්නේ විදුලි අර්බුදය අවසන් යැයි කියා නොව අර්බුදයට තාවකාලික විසඳුම් ලැබී තිබෙන බවය. හේතුව වෙන කිසිවක් නොව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක‍්‍රීයව තිබූ මෙගාවොට් 300 යළි ජාතික විදුලි පද්ධතියට එක්කර ගැනීමට හැකිවූ නිසාය.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයෙන් මේ වනවිට මෙගාවොට් 900 ක්ම ජාතික විදුලි පද්ධතියට එක්කර ඇත. මේ අතර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන් පිළිබඳ සැලකිල්ල යොමු කර තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව ලබාදීම නිසා රටේ සමස්ත විදුලි ඉල්ලූම සපුරාලීමට මණ්ඩලයට හැකි වී ඇත.

මීට වඩා සැගවුණු කතාවක්ද ඇත. ඒ වෙනෙකක් නොව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා දියත් කළ වර්ජනයද වරින් වර රට තුළ සිදුවූ විදුලි බිඳවැටීමට ඉවහල් වූ කතාවය. විදුලිබල මණ්ඩලය යනු මේ රටේ ඇති විශාලම රාජ්‍ය ආයතනය ය. රටපුරා දැල්වෙන විදුලි බල්බ ගණන කොපමණදැයි කාටවත් කිව නොහැකිය. ලයිට් කණු ගණන කීයදැයි කියා මණ්ඩලයේ කිසිවකුට කීමටද නොහැකිය. මේ රටේ වැඩිම මුදලක් එක්කාසුවන ආයතන අතර මණ්ඩලයද සිටින්නේ පළමු ආයතන අතරය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවක පිරිස 24000 කි. මෙහි පාලනාධිකාරිය මෙහෙයවන්නේ ප‍්‍රධාන වශයෙන්ම විදුලි ඉංජිනේරුවන් විසිනි. මණ්ඩලයේ ප‍්‍රබලම වෘත්තීය සමිතිය ඉංජිනේරු සංගමයයි. එහි සාමාජිකයන් ගණන හත්සියයකි. මේ අතර කලක් විදුලි ඉංජිනේරු සංගමයේ සාමාජිකයන්ව සිටි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් සියයකට ආසන්න පිරිසක් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයක් ස්ථාපිත කරගත්තේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ඉංජිනේරුවන් අතර ඇතිවී තිබෙන මතගැටුම් මතය.

ඒ මතගැටුම් පෞද්ගලික ප‍්‍රශ්න මත ඇති වූ ඒවා නොව මේ රටට අවශ්‍ය බලාගාර ඉදිකිරීමට ඉඩ නොදීම යන මතගැටුම පදනම් කරගෙන වීම අතිශය වැදගත් කාරණයකි. ඇත්තටම මේ රටේ විදුලි අර්බුදයට හේතුව කුමක්ද?

බලාගාර ඉදි නොකිරීමය. කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගු කාලීන විදුලි සැලසුම් ගැන කතා කර කර බලාගාර ඉදි නොකිරීමට ඉඩ නොදෙන්නේ කවරහුද?

පළමු පිරිස විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ය. දෙවැනි පිරිස විදුලිබල අමාත්‍යාංශය ය. අනෙක් පාර්ශ්වය ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමය. තවත් පාර්ශ්වයක් ඇත. එම පාර්ශ්වය පුද්ගලික ඞීසල් බලාගාර හිමිකරුවන්ය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මගින් මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන බව කොයි කවුරුත් දනිති. එය ඉදිකරන්නට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය. වසර ගණනාවක් තිස්සේ සැලසුම්වලට පමණක් සීමා වී තිබූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය 2006 මැයි 11 වැනිදා ඉදිකිරීම් ආරම්භ කරන විට පාර්ශ්ව ගණනාවක් ඊට එරෙහිව අවි අමෝරාගෙන සිටි බව කිය යුතුය. පළමු බලවේගය ක‍්‍රියාත්මක වූයේ කතෝලික පියතුමෙකු පෙරටු කරගෙනය. නොරොච්චෝල ප‍්‍රදේශයේ පදිංචි අහිංසක පවුල් කිහිපයක් උසිගන්වාගෙන, පරිසර සංවිධානද එකතුව මෙම බලාගාරය ඉදිකිරීමට ඉඩ දුන්නේම නැත. නමුත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ අය සමග සාකච්ඡාකොට මුළු ජාතියටම අවශ්‍ය එම බලාගාරය ඉදිකර 2011 මාර්තු 22 වැනිදා වනවිට බලාගාරය ජාතියට තිළිණ කළේය. එය ඉදි නොකළේ නම් මේ වනවිට රට පැය දහයක් පහළොවක් අඳුරේය.

ඊට පසුව කෙරවළපිටියේ ඉදිකර තිබූ ද්විත්ව චක‍්‍රීය බලාගාරය එල්. එන්. ජී. මගින් ක‍්‍රියාත්මක කිරීමට කොතරම් උත්සාහ ගත්තත් පෙරකී පාර්ශ්ව ඊට ඉඩ දුන්නේ නැත. කෙරවළපිටිය ප‍්‍රදේශයේ තිබෙන මෙම ‘‘යුගදනවි’’ බලාගාරය මගින් රටට මෙගාවොට් 300 ක විදුලි බලයක් ලබාදේ. එය ඉදිකළ දින සිටම එකී මෙගාවොට් 300 නිපදවන්නේ ඉන්ධන මගිනි. නමුත් එය එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු) මගින් ක‍්‍රියාත්මක කළ හැකිය.

පසුගියදා මහ රෑ අත්සන් කළේ මෙය එල්. එන්. ජී මගින් විදුලිය ජනනය කළහැකි බලාගාරයක් බවට පත් කිරීමටය. ඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම සමඟ මහ රෑ අත්සන් කළ බව කියන එම ගිවිසුමට අනුව අදාළ අමරිකානු සමාගම හරහා එල්. එන්. ජී. මෙරටට ගෙනැවිත් බලාගාරයේ විදුලිය ජනනය කරන්නේ නම් දැනට විදුලි ඒකකයක් නිපදවීමට යන මුදලින් හරි අඩක් ඉතිරි කරගත හැකි බව පැහැදිලිය. නමුත් ඉංජිනේරු සංගමයේ ඉංජිනේරුවෝ එම ගිවිසුම දේශද්‍රෝහී ගිවිසුමකැයි කියමින් ඊට විරෝධය පාන්නට වූහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු හා එහි සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ එම්. ආර්. රණතුංග මහතා සමග අරගලයකට ගියේය. ටෙන්ඩර් පටිපාටිවලදී හා අනෙකුත් කටයුතුවලදී පාලනාධිකාරියට සහාය නොදෙන තීරණයකට එළැඹිණි. අකුරට වැඩ කරන්නට ගත්හ. අවසානයේදී ඉකුත් දෙසැම්බර් 03 වැනිදා වැඩ වර්ජනයකට ගියේය.

වැඩ වර්ජනයත් සමග රටපුරා විදුලි බිඳවැටිණි. එය මොනතරම් ලොකු සටනක් වූයේද යත් පැය අටක් රට අඳුරට වැටිණ. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සම්පූර්ණයෙන් අකි‍්‍රය විය. නොරොච්චෝල අක‍්‍රිය වූ පසු යළි එය පද්ධතියට සම්බන්ධ කර ගැනීමට දින කිහිපයක් ගතවන බව කොයි කවුරුත් දනිති. හේතුව ගල්අඟුරු දහනය කරන බොයිලේරු සිසිල් වනතුරු එහි නඩත්තු කටයුතු ආරම්භ කළ නොහැකි බැවිනි.

ඒ බැව් දන්නා ඉංජිනේරුවන් හිතා මතා හෝ නොසිතා විදුලි බිඳටෙන්නට ඉඩ හැරියේ මන්ද? සිද්ධිය කඩාකප්පල් වැඩක් යැයි සිතා ලංවිම සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළේය. අභ්‍යන්තර පරික්‍ෂණයක්ද ආරම්භ කළේය. විදුලිබල මණ්ඩලය නියාමයනයට ස්ථාපිත කළ ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම (PUCSL) වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කළේය. නමුත් එම පරීක්‍ෂණ වාර්තාවලට වෙච්ච දෙයක්ද නැත. දඬුවමක් ලද විදුලිබල මණ්ඩල නිලධාරියෙක්ද නැත. ඒවා හුදු ප‍්‍රවෘත්ති පමණක් බවට පත්වී සවනේ වැදී පාවී ගියා පමණි. මේ රටේ කොයි පරීක්‍ෂණයත් ඔයාකාරය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා පත් කළත් වැරදිකරුවන් වගවිය යුත්තන් නිදැල්ලේය. මේ පරික්‍ෂණ පවත්වන එකත් විහිළුවක් හා විකාරයක් බවට පත්ව ඇතැයි නැගෙන චෝදනා ද බැහැර කළ නොහැකිය. අතීතය දෙස බැලීමේදී මේ කොයිකත් පුස් වෙඩිය.

පවර් කට් කරන්න ඇත්තම හේතුව මෙන්න…

කෙසේ හෝ ලංවිම වැඩබලන සාමාන්‍යාධිකාරි තනතුරට ආචාර්ය සුසන්ත පෙරේරා පත් කළේය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඊට එරෙහිව සටන් කළේ ඔහුට විවිධ චෝදනා එල්ල කරමිනි. මේ වනවිට ලංවිම ඉංජිනේරු සංගමය ඉල්ලූ සාමාන්‍යාධිකාරිවරයකු පත්කර ඇත. ඒ කියන්නේ ගෙවීගිය මාස දොළහක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට සාමාන්‍යාධිකාරිවරු පස්දෙනකු පත්කළ බවය. වසර 60 ක් පිරී විශ‍්‍රාමගැන්වීම නිසා මණ්ඩලයට පත්කරන සාමාන්‍යාධිකාරිවරයකුට එම තනතුරේ සිටිය හැක්කේ ටික කලක් පමණි. එනිසා මේ යල්පැන ගිය ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩල පනත ද සංශෝධනය කළයුතු බවට යෝජනා ඇත.

මේ වනවිට රටේ දෛනික විදුලි ඉල්ලූම මෙගාවොට් 2484 ක් පමණ වේ. මේ දිනවල රට තරමක නියඟයකට මුහුණදී සිටි. ඉකුත් කාලයේදී රටට අවශ්‍ය විදුලි බලය ලබා ගැනීමේදී වැඩි වශයෙන් ජල විදුලි නිෂ්පාදනය ලබා ගැනීමට සිදුවීම නිසා මේ වනවිට ජලාශවල ජලය විශාල ප‍්‍රමාණයක් බැස ගොසිනි. කාලගුණ විiා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි හරි ගියහොත් ලබන අපේ‍්‍රල් මුල් සති දෙක වනතුරු වැස්ස නැත. වැස්ස ලැබිය යුත්තේද විදුලි බලාගාර ආශ‍්‍රිත ජල පෝෂකවලටය. මහ වරුසාව එනතුරු මේ විදුලි අර්බුදය දියේ ඔබන රබර් බෝලයක් සේ වනු ඇතැයි අප කියන්නේ එනිසාය.

මේ වනවිට රටේ විදුලිබල අවශ්‍යතාව සපුරා ගන්නේ විදුලිබල මණ්ඩලයට අයත් බලාගාරවලින් පමණක් නොවේ. පුද්ගලික බලාගාර දොළහකින් පමණ විදුලිය මිලදී ගනී. කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි සුජිට් බලාගාරය (මෙගාවොට් 72) ඒස් ඇඹිලිපිටිය (මෙගාවොට් 100) හෙළදනවි (මෙ. වො. 100) ඒෂියා පවර් සපුගස්කන්ද (මෙ.වො. 51) නදර්න් පවර් (මෙ. වො. 36) ඒෂියා හොරණ (මෙ. වො. 25) ඒස් මාතර (මෙ.වො) 25, ලක්දනවි සපුගස්කන්ද (මෙ. වො 24) ඇගි‍්‍රකෝ චුන්නාකම් (මොගාවොට් 20) කි. මෙම පුද්ගලික විදුලි බලාගාර ටිකත් මෙරට විදුලි අවශ්‍යතා පිරිමසා ගැනීමේදී අතිශය වැදගත් බලාගාරයන්ය.

මේ මොහොත වනවිට හදිසි මිලදී ගැනීම් යටතේ රටට අවශ්‍ය මෙගාවෙට් 100, 200 හෝ 300 ක් මිලදී ගන්නට විදුලිබල මණ්ඩලය වෙත යෝජනාව පැමිණ ඇත. ඒ වෙනුවෙන් සැදී පැහැදී සිටින එක්තරා බහුජාතික සමාගමක් ඉල්ලූ සැණින් අවශ්‍ය ප‍්‍රමාණයට විදුලිබල මණ්ඩලයට විදුලිය දෙන්නට කැසපොට ගසා සිටී. නිවසේ දැල්වෙන එක අනවශ්‍ය විදුලි බල්බයක් නිවන්නේ නම් දිනකට ඉතිරි කරගත හැකි මෙගාවොට් ප‍්‍රමාණය සියයකි. බැරිවෙලා හෝ හදිසි මිලදී ගැනීම් යටතේ මෙගාවොට් 100 ක් විදුලිබල මණ්ඩලය මිලදී ගතහොත් ඒ වෙනුවෙන් මසකට එකී බහුජාතික සමාගමට ගෙවිය යුතු මුදල රුපියල් කෝටි 216 ක් යැයි ඉංජිනේරුවෝම පවසති. (ඒකකයක මිල 40 ලෙස පදනම්ව) ඒ කියන්නේ පැය දහඅටක කාලයකට යටත්වය. මේ රටේ සමස්ත විදුලි පාරිභෝගිකයන් ගණන ලක්‍ෂ හැටකි. සෑම නිවසකම අනවශ්‍ය විදුලි බල්බයක් නිවා දිනකට මෙගාවොට් 100 ක් ඉතිරි කර ගන්නේද නොමැති නම් එකී මෙගාවොට් 100 හදිසි මිලදී ගැනීම් යටතේ පුද්ගලික බහුජාතික සමාගමකින් ගෙන මසක කාලයක් තුළ ඔවුනගේ සාක්කුවට රුපියල් කෝටි 216 ක් බැර කරන්නේද යන තීන්දුව ගැනීමට අපට සිදුව තිබේ.

මේ රටට අවශ්‍ය විදුලිබලාගාර ඉදිකරන්නට අවසර නොදෙන්නේ ඒ මුදල් ලැබෙන පිරිසය. ඒ පිරිස අතර ඇතැම් මැති ඇමැතිවරු විදුලි ඉංජිනේරුවරු, වෘත්තීය සමිති නායකයන් නැහැයි සහතික දිය හැක්කේ කාටද? එනිසා දැන්වත් මේ විදුලි මාෆියාවට එරෙහිව ලොකු සටනක් දිය යුතුමය. බලාගාර ඉදි නොකිරීමට හේතු සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළත් නරක නැත. මෙය නන්දිකඩාල් කලපුවේදී අවසන් වූ කොටි ත‍්‍රස්තවාදයටත් වඩා භයානකය විදුලි මාෆියාව, මත්කුඩු ජාවාරම මෙන් රටටම හෙණයකි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment