පවර වෙණ නඳ ගොළුව ගිය සඳ

247

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ හයවන ගුණ සමරුව අදට (03දා) යෙදී ඇත.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ගෙවීගිය වසර හය පුරාම ඔහු නැති අඩුව අපි අත්විඳිමින් සිටිමු. තවත් චිරාත් කාලයක් යනතෙක් ඒ අඩුව සපුරන්නට හැකි එවන් කෘතහස්ත ගාන්ධර්වයකු අපට මුණ නොගැසෙනු ඇත. අප එසේ පවසන්නේ එවන් උතුම් ගාන්ධර්වයකු බිහිවන්නට අවැසි විෂයමූල හා මනෝමූල තත්ත්වයන් අද්‍යතන සමාජ දේහය තුළින් දිනෙන්-දින ගිලිහී යමින් තිබෙන හෙයිනි.

මේ තත්ත්වය වඩාත් හොඳින් අපට අවබෝධ කොට ගත හැක්කේ අමරදේවසූරීන්ගේ නිර්මාණ දිවිය විකසිත වූ ඒ සමාජ වටපිටාව පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පමණි. අද අපට අත්විඳින්නට සිදුව තිබෙන හරසුන්, නිසරු සංගීත ආරකට වඩා සෑම අතින් ම උසස් සංගීතයක් රසවිඳින්නට එදා විසූ සරල ගතිපැවතුම්වලින් හෙබි ජනී ජනයාට අවස්ථාව ලැබුණු බව එකල ජීවත් වූ බොහෝදෙනකු දන්නා කරුණකි.

පණ්ඩිත් අමරදේවයන්ට උපතින් ම උරුමව තිබූ මධුරස්වරය පන්සලේ දොරකඩ අස්න ගායනා කිරීමටත්, පල්ලියේ කැරොල් කණ්ඩායමේ කැරොල් ගී ගායනා කිරීමටත් මග පෑදුවේ ය. එසේ ම, කුඩා අමරදේවයන්ගේ රසාලිප්ත සිත රසාස්වාදයෙන් වඩ-වඩාත් අවදි කරන්නට කු. ජ. ප්‍රනාන්දු නමැති එතුමාගේ මුල් ගුරුවරයාත්, හෙළ හවුලේ නිර්මාතෘ කුමාරතුංග මුණිදාසයනුත් බෙහෙවින් මහෝපකාරී වී තිබේ. බොහෝ සන්ධ්‍යා කාලවල තම මුල් ගුරුවරයා සමග කුමාරතුංග මුණිදාසයන්ගේ ‘හෙවණ’ නමැති නිවසේ ගත කරන කුඩා අමරදේවයන් ඔවුන් දෙදෙනාගේ අර්ථ රසයෙන් පිරි කතා බහ අසා සිටියේ ය.

විටෙක ඔවුහු ගැයුමෙහි හපන් අමරදේවයන් ද සහභාගි කර ගනිමින් කව් ගී ගායනා කළෝ ය. එම මහාර්ඝ ඇසුර අමරදේවයන්ගේ රස මනස පුබුදු කළා පමණක් නොව, භාෂා ඥාණය ද දිනෙන් දින වර්ධනය කළේ ය. සංගීත ඥාණයෙන් මෙන් ම, භාෂා ඥාණයෙන් ද පිරිපුන් විද්වතකු ලෙස තම දිවිසැරිය පුරා අනෙක් සියලු ගායනවේදීන්ට හා සංගීතවේදීන්ට වඩා ඉදිරියෙන් ම සිටින්නට එම ඇසුර සහ එම ඇසුරෙන් ලත් භාෂා ඥාණය එතුමන්ට කෙතරම් මහෝපකාරී වී ද?

ලක්නව් හි භාත් ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ඇතුළත් වූ අමරදේවයන්ට ශ්‍රේෂ්ඨ සංගීතඥයන් රැසක් අතහිත දුන් අතර, ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඩ් අලි ඛාන්, ජී. ඇන්. නාතු, විනායක් මුකුන්ද් ලෙලේ, කදම්බජී රංගරාවෝ යන සංගීතඥයෝ ඒ අතර ප්‍රධාන තැනක් ගනිති.

සාමාන්‍යයෙන් ගායකයකුට හෝ ගායිකාවකට චිත්‍රපට පසුබිම් ගායනා සඳහා වරම් ලැබෙන්නේ ඔහු හෝ ඇය ගායන ක්ෂෙත්‍රයේ නමක් හදාගැනීමෙන් පසුව ය. එහෙත්, පණ්ඩිත් අමරදේවයන් සංගීතඥයකු, ගායකයකු සහ නළුවකු ලෙස ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ම සිනමාපටයකින් වීම විශේෂත්වයකි. ඒ, සිංහල සිනමා ඉතිහාසයේ දෙවන සිංහල සිනමාපටය ලෙස 1947 අප්‍රේල් 09 වැනි දින තිරගත වූ ‘අශෝකමාලා’ චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂවරයා, පසුබිම් ගායකයා සහ එහි ‘තාපසයා’ගේ චරිතය නිරූපණය කරමිනි. පණ්ඩිත් අමරදේවයන් ග්‍රැමෆෝන් තැටියකට තම පළමු දායකත්වය සපයන්නේ යූ. ඩී. පෙරේරා විසින් රචිත ‘රසයි කිරි – නෑ දියාරු’ ගීතය ගැයීමෙනි.

තරුණ අමරදේවයන්ගේ ගායන, වාදන හා සංගීත නිර්මාණ කුසලතා ක්‍ෂේත්‍ර ගණනාවක් පුරා පැතිර ගොස් තිබේ. වේදිකා නාට්‍ය සඳහා එතුමාගේ දායකත්වය වැඩි වශයෙන් ලබාගත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ වේදිකා නාට්‍යයට සංගීතය නිර්මාණය කරමින් ගීත ගායනයෙන් ද එක්වූ පණ්ඩිත් අමරදේවයන් ඉන්පසු සරච්චන්ද්‍රයන්ගේ ‘එලොව ගිහින් මොලොව ආවා’, ‘වෙස්සන්තර’, ‘ලෝමහංස’ යන වේදකා නාට්‍යවලට ද සංගීතයෙන් දායක වූවේ ය.

පනහේ දසකය අගබාගය වනවිට අප රටේ පැතිර යමින් තිබුණේ හින්දි, දමිළ සහ ඉංග්‍රීසි අනුකාරක සංගීතයකි. ඒ සියලු සංගීතාංගයන් ප්‍රතික්ෂේප කළ පණ්ඩිත් අමරදේවයන් එතුමාට පෙර පරපුරේ ආනන්ද සමරකෝන් සහ සුනිල් ශාන්තයන්ගේ නිර්මාණ පිළිබඳව සුවිශේෂ අවධානයකින් කටයුතු කරන්නට වී ය. ‘සීගිරියේ සිතුවම් රමණී’, ‘පීනමුකෝ කළු ගඟේ’, ‘ශාන්ත මේ රෑ යාමේ’ වැනි මධුර ගීත රැසක් එතුමාතින් බිහිවූයේ එහි ප්‍රතිඵලය වශයෙනි.

දේශීය සංගීත මාර්ගයක් සකස් කර ගැනීමට නම්, භාරතීය සංගීතය මහා සම්ප්‍රදාය ලෙස ගෙන, ජන සංගීතය චූල සම්ප්‍රදාය සේ සලකා මහා සම්ප්‍රදාය ඇසුරින් චූල සම්ප්‍රදාය පෝෂණය කළයුතු යැයි අමරදේවයන් විශ්වාස කළේ ය. එතුමාගේ විශ්වාසයන් යථාර්ථයක් බවට පත්කරන්නට කලාකරුවන්ගේ ‘සොඳුරු නිවහන’ වූ එවකට තිබූ ගුවන්විදුලිය ලබාදුන් සහයෝගය සුළුපටු එකක් නොවේ. නව සංගීත රටා බිහිකරන්නටත්, සංගීත පර්යේෂණවල නියැලෙන්නටත් ඒ අනුව පණ්ඩිත් අමරදේවයන්ට අවස්ථාව ලැබිණි. අද ද අප ඉතාමත් ආසාවෙන් රසවිඳින සිංහල සුභාවිත ගීත රැසක් බිහිවූයේ, පණ්ඩිත් අමරදේවයන් නිෂ්පාදනය කළ ‘ජන ගායනා’, ‘මධුවන්ති’, ‘විජය ගීත’, ‘ස්වර්ණ වර්ණ’, ‘රස මියුරු’ යන ගුවන්විදුලි වැඩසටහන් තුළිනි.

සුමධුර සංගීත භාවිතයෙන් දේශ දේශාන්තරවල කීර්තියට පත් අමරදේවයන් ගරු බුහුමනට පාත්‍රවන්නේ ලක්නව් හි භාත් ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ සංගීත ශිල්පය හදාරන අවදියේ දී ම ය. ගැයුමෙන්, වැයුමෙන් පමණක් නොව, ශිල්ප සංදර්ශන පෑමෙහි ද සුවිශේෂ සමත්කමක් දැක්වූ අමරදේවයන් සමස්ත ඉන්දීය වයලීන වාද්‍ය ශිල්පී තරගයෙන් ප්‍රථම ස්ථානයත්, සංගීත හා වාද්‍ය විශාරද උපාධියෙන් ප්‍රථම පන්ති සාමාර්ථයත් දිනා ගන්නේ 1956 වසරේ දී ය. ඉන් අනතුරුව 1986 දී ‘කලාකීර්ති’ ගෞරව නාමයෙන් පිදුම් ලබන අමරදේවයන් විසින් ලියා පළ කරන ලද ‘නාද සිත්තම්’ නමැති සංගීත කෘතිය වෙනුවෙන් 1989 දී එතුමාට රාජ්‍ය සම්මානය හිමිවෙයි.

භාත් ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨය සිය දීප්තිමත් ශිෂ්‍යයාට පිරිනමන ‘පණ්ඩිත්’ යන ගෞරව නාමය අමරදේවයන්ට පිරිනමන්නේ 1991 වර්ෂයේ දී ය. 1998 දී ‘දේශමාන්‍ය’ ගෞරව නාමයෙන් ද පිදුම් ලබන එතුමා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලය, 1993 දී රුහැණු විශ්වවිද්‍යාලය සහ 1998 පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිරිනැමූ ආචාර්ය උපාධි තුනකින් ද බුහුමනට පාත්‍රවෙයි.

ඉන් අනතුරුව, 2001 වර්ෂයේ දී පිලිපීනයේ ‘රමෝන් මැග්සෙයිසේ’ සම්මානය, 2002 දී ඉන්දියාවේ ‘පද්ම ශ්‍රී’ සම්මානය, 2017 වර්ෂයේ ‘ශ්‍රී ලංකාභිමානය’ ඇතුළු ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ස්වර්ණ සංඛ සම්මාන, දීපශිඛා සම්මාන ආදී සම්මාන

රැසකින් පිදුම් ලැබූ ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.

එසේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වුවද, සරල සුන්දර දිවිපෙවෙතක් ගත කළ පණ්ඩිත් අමරදේවයන් නිහතමානීත්වයේ ප්‍රතිමූර්තියක් බව පැවසුවහොත්, එය අතිශයෝක්තියක් නොවේ. තමන්ගේ ගීත වෙනත් අය විකෘති කොට ගායනා කරනු අසා කෝපයෙන් පරළවන ගායක-ගායිකාවන් සිටින රටක ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා’ යනුවෙන් විකෘති කොට ගැයෙන තම ගීතය ඉතා සැහැල්ලුවෙන් ගායනා කරමින් නෙක සභා මැද රසිකයන් රස ගන්වන්නට තරම් පණ්ඩිත් අමරදේවයන් නිහතමානී වූ අයුරු අප කොතෙකුත් දැක ඇත්තෙමු. එසේම, ගීත රචනා තෝරාගැනීමේ දී සහ යුග ගායනා සඳහා ගායිකාවන් තෝරාගැනීමේ දී ද ප්‍රවීණ, නවක භේදයකින් තොරව කටයුතු කිරීමට තරම් අනතිමානී ගුණයෙන් එතුමා පිරිපුන්ව සිටියේ ය.

● අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment