පවිත්‍රා ඇමැති ලෙස අපවිත්‍ර තීරණ අරන්

505

අභියාචනාධිකරණයෙන් රීට් ආඥාවක්…
වෛද්‍ය සභාවේ ඉවත් කිරීම් බල රහිත කරයි…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරූ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා හා එම සමයේ එම සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ සෙසු සිව්දෙනා එම ධුරවලින් ඉවත් කරමින් එදා සෞඛ්‍ය ඇමැතිනියව කටයුතු කළ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2020.11.27 වැනිදා නිකුත් කර තිබූ නියෝගය බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (26) වැනිදා රීට් ආඥාවක් නිකුත් කළේය.

මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, සුනිල් රත්නප්‍රිය, යූ. එච්. ගුණසේකර, නාරද දීගගාමිණි හා පුෂ්පික දර්ශන සුනිල් ධර්මසිරි යන මහත්වරුන් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම් දෙකක් සලකා බැලු මොහොමඩ් ලෆාර් සහ එස්. යූ. බී. කරල්ලියද්ද යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

එම පෙත්සම්කරුවන් ඉවත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කළ මහාචාර්ය වජිර දිසානායක මහතාට හා මහාචාර්ය බන්දුල විජේවර්ධන, දිල්රුක්‍ෂි රුබේරු හා වජිර සේනාරත්න යන සෙසු සාමාජිකයන්ට තවදුරටත් එම ධුරවල කටයුතු කිරීම වළක්වමින් ද විනිසුරු මඩුල්ල එහිදී තවත් රීට් ආඥාවක් නිකුත් කළේය.

පිළිගත හැකි සාධාරණ හේතු නොමැතිව කිසිදු වග විභාගයකින් තොරව හිටපු සෞඛ්‍ය ඇමැතිනිය විසින් පෙත්සම්කරුවන් තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය ස්වභාව යුක්ති ධර්මයට පටහැනි නීති විරෝධී බවට නිගමනය කළ විනිසුරු මඩුල්ල එම නියෝගය කළේය.

ඒ අනුව පෙත්සම්කරුවන් විසින් කර ඇති ඉල්ලීම්වලට තම අවසරය ලබාදෙන බවත් වගඋත්තරකරුවන්ගේ පෞද්ගලික මුදලින් නඩු ගාස්තු අයකර ගැනීමට පෙත්සම්කරුවන්ට අයිතියක් ඇති බවටත් විනිසුරු මඩුල්ල නිගමනය කළේය.

වගඋත්තරකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටි අතර ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, උපුල් ජයසූරිය යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ නවීන් මාරපන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් වගඋත්තරකාර පාර්ශ්වය නියෝජනය කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment