පවුල් ඒකක මිලියන 2.28කට අස්වැසුම ලබා දෙනවා මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ

1284

රජය කරන්නේ බොරු: මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් එය පැහැදිලියි – කබීර් හසීම් (සජබ)

දේශපාලනීකරණයෙන් තොරව දිළිඳුබව නැති කළ යුතුයි- ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

දුප්පත්කම ඡන්ද වේදිකාවට ගෙනාවොත් ජනතාව සමාව දෙන එකක් නෑ – මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ)

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීම් යෝජනාවලිය මගින් පවුල් ඒකක මිලියන 2.28ක ප්‍රමාණයකට සමාජ ආරක්ෂණ දීමනා ලබාදිය යුතු බවට මේ වන විට හඳුනාගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. නිවේදන, කාරක සභා වාර්තා, ලිපිලේඛන, වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27/02 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීම සිදු විය.

අනතුරුව දිනට නියමිතවූ , සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින්, මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා –

අපේ රටේ සුබසාධන දීමනා ලබා දීමේදී ලැබිය යුතු විශාල ජන කොට්ඨාසයකට ඒවා නොලැබීමත් යම් හැකියාවක් ඇති අය ඒවා ලබා ගන්නවා කියන මතයක් තිබෙනවා. වතුකරයේ ජනතාවටත් සුබසාධන දීමනා නොලැබෙන බවට විවේචනයක් තිබෙනවා. ඒ වරද මේ වන විට රජය විසින් නිවැරදි කරගෙන යනවා. ඒ අනුව නුසුදුසු අයට වඩා සුදුසු අය මේ සඳහා යොමු කිරීමට පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමකදී එකඟතාවයකට පැමිණියා.

එතනදී අපට හොඳ යෝජනා ඉදිරිපත් වුණා, අපි දැක්කා. ඒ අනුව අස්වැසුම සුබසාධක යෝජනාවලිය අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අනුව සුබසාධනය අවශ්‍ය නිවැරදිම කණ්ඩායමට අපි එම දීමනා ලබා දෙනවා. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී තිබෙනවා. අපි නීතිපති උපදෙස් ලබාගෙන තිබෙනවා. ඒ වගේම අපි සංඝණනයක් කළා. එහිදී ලක්ෂ තිස්හතහමාරකින් ලක්ෂ 32 ක පමණ පිරිසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඉතිරි අය ඒ සඳහා ඉදිරිපත් වුණේ නෑ. මේ වන විට අපි කළ සංඝණනයේ ප්‍රතිඵල විශ්ලේෂනය කරමින් සිටිනවා. මේ ප්‍රමාණය යම් වෙනසක් වෙන්න පුළුවන් වුවත් අපි හිතනවා පවුල් ඒකක මිලියන 2.28ක ප්‍රමාණයකට ඉදිරියේදී සමාජ ආරක්ෂණ දීමනා ලබා දෙන්න අවශ්‍ය වෙයි කියලා. මේ සුබසාධන දීමනා කණ්ඩායම් 04ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අයට රුපියල් 2500 සිට රුපියල් 15,000 දක්වා වූ දීමනාවක් ලබා දෙන්න හැකියි කියලා අපි හිතනවා. ඒ වගේම පවුල් ඒකක නොවන තනි පුද්ගලයන් ලෙස සිටින අයට විශේෂයෙන්ම ආබාධිත අය වශයෙන් හඳුනාගෙන දීමනාවක් ලබා දීමට අපි කටයුතු කරනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හසීම් (සජබ) :

පසුගිය ආණ්ඩු දුප්පත්කම වර්ධනය කිරීම පමණයි කර තිබෙන්නේ. දුප්පතුන් සියයට 20කට අයවැයෙන් සියයට 4යි ලැබුණේ. මේ රජය කරන්නේ බොරුව පමණයි. මෙතෙක් ගත් පියවරවලින් ඒක හොඳට පේනවා. වර්ෂ 2015-2019 වනවිට දරිද්‍රතාවෙන් පෙළෙන අය සියයට 11යි. 2020 සිට අද වනවිට සියයට 25 දක්වා වැඩිවී තියෙනවා. රටේ මිලියන 22ක්ම දුප්පත් වෙලා. 2015 දී සමෘද්ධි දීමනාව වසරකට රුපියල් බිලියන 15 දුන්නේ. පසුව අපි තවත් බිලියන 15කින් වැඩි කළා. 2019 වනවිට බිලියන 49 දක්වා වැඩි කළා. අද ශ්‍රම බළකාය ලක්‍ෂ 60ක්. ඉන් අවිධිමත් රැකියා ලක්‍ෂ 30ක් ඉන්නවා. ඉන් සියයට 60කට පමණ කොවිඩ් නිසා රැකියා අහිමි වුණා. පොහොර නැතිව තවත් ලක්‍ෂ 10ක් අසරණ වුණා. මේවා ගැන නිවැරදිව සොයා බලන්න. අපක්ෂපාතීව මේ සොයාබැලීම් කරයිද කියා සැකයි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බංඩාර (ශ්‍රීලපොපෙ) :

අපි තවම නිවැරදිව රටේ දුප්පත්කම හඳුනාගෙන නෑ. මෙහි පැතිකඩ ගණනාවක් තියෙනවා. අපි අඩු ආදායම්ලාභී පවුල් නැංවීමට පමණයි ව්‍යාපෘති කළේ. නමුත් දිළිඳුකම ඉතා පුළුල්. අපි කරපු ව්‍යාපෘති අසාර්ථක බව එයින් පේනවා. අපි තරුණ අවධියේදී ජනසවිය වැඩසටහන පුළුල්ව පරීක්‍ෂා කළා. රටේ දිළිඳුකම තුරන් කිරීමට ගෙනා වැඩසටහන් බොහොමයක් දේශපාලනීකරණය වුණා. එය විවෘතව සිදුවූයේ නෑ. එක් වරක් ලක්‍ෂ හයකට වැඩිපුර සමෘද්ධි දෙන්න තීන්දු කළා. ඒවා අපි ජයග්‍රාහී ලීලාවෙන් කටයුතු කාරනා නොවෙයි.

දිවිනැගුම සඳහා වෙනම ආයතන හැදුණා. ව්‍යාපෘති රැසක් හැදුණා. පසුව එය නවත්වා යළි සමෘද්ධි ව්‍යාපාරය ඇරැඹුණා. දුප්පත්කම නැති කිරීමට අද විශාල මුදලක් වියදම් කරනවා. ඒත් ඇත්තටම දුප්පත්කම තුරන් කිරීමට එතරම් මුදල් අවශ්‍ය වන්නේ නෑ. රටේ ජනතාවට ඇත්ත කීම වැදගත්. දුප්පත්කම තුරන් කිරීමට යැයි කියා විශාල ලෙස ව්‍යාපෘතිවලට මුදල් වැය කරනවා.

ඉදිරියේ දී දුප්පත්කම වේදිකාවට ගෙනල්ලා ඡන්ද පදනම වැඩිකරගන්න හදනවා නම් ජනතාව සමාව දෙන එකක් නෑ. මේ රටේ අතිමහත් බහුතරයක් උපකාර අවශ්‍ය අයට උපකාර කිරීමට රජය, පෞද්ගලික අංශය, ස්වෙච්ඡා සංවිධාන සමග එක් විය යුතුයි. ඉදිරි දශකය දුප්පත්කම තුරන් කිරීමේ දශකය බවට පත් කරගත යුතුමයි.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

අත්වැසුම වැඩසටහනේ තේරුම සැනසිල්ලක් ලබාදීමයි. නමුත් මෙය ඇස්වැසුමක් වන හේතු තියෙනවා. මෙම වැඩසටහන ජනතාවගේ ඇස් වහලා බොරුවක් වෙන්නට නොදිය යුතුයි. මෙහි පරීක්‍ෂණ වියදම බිලියන 423යි. වැඩසටහනේ මුළු වියදම බිලියන 824යි. එය නිවැරදි කරගත යුතුයි.

පරිපාලන වියදම් ප්‍රමාණය අඩුකරගත යුතුයි. මේ වියදම බංකොළොත් රටකට සුදුසු නෑ. රටේ දුප්පත් ප්‍රමාණය ගැන විද්‍යාත්මක දත්ත මත පදනම් වූ විශ්ලේෂණයක් වෙරිටේජ් රිසව් ආයතනය සතුව තිබෙනවා. ප්‍රතිලාභීන් තෝරා ගැනීම වඩාත් හොඳම ක්‍රමය විදුලි පරිභෝජන ප්‍රමාණය මුල්කරගත් ක්‍රමය කියලා එහි සඳහන්. එය තාප්‍රශස්ත ක්‍රමයක්. මෙම වැඩසටහන අනුව ජනතාව සවිබල ගැන්වෙන්නේ වසර 3කට පසුවයි. පරිභෝජනය මතම කේන්ද්‍ර නොවී බහු ඉලක්ක ඇති වැඩසටහනක් බවට පත් කරන්න.

සියල්ලට මේ ආණ්ඩුව වගකිව යුතුයි. පවුල් ලක්‍ෂ 40ක් ආහාර නැතිව ඉන්නවා කියලා ලෝක බැංකුව කියනවා නම් ලක්‍ෂ 20කට ආධාර දීලා ප්‍රමාණවත්ද?

පවුල් ලක්‍ෂ 4කට මාසයකට රුපියල් 2500යි ලැබෙන්නේ. 2500 වටින්නේ කොහොමද ඉන් ගත හැක්කේ මොනවාද?

දැනට ඉදිරිපත් වී ඇති අභියාචනා දේශපාලනයෙන් තොරව පරීක්‍ෂා කරන්න.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ) :

අපේ රටේ සමාජ සුබසාධනය තැලෙන පෙළන ජනතාව උඩට ගැනීමට වඩා දේශපාලකයන් උඩට ගැනීමටයි ක්‍රියාත්මක වී තිබෙන්නේ. දුප්පත් ජනතාව තවත් දුප්පත්කමේ හිරකර තබා ගැනීමක් සිදුවන්නේ. ඡන්ද කාලවල රැස්වීම්වලට ආවේ නැත්නම් සමෘද්ධිය කපනවා කිව්වා. දුප්පත් ජනතාවගේ කඳුළ සුසුම මැදින් යන දේශපාලන ගමනක් තියෙන්නේ.

කොවිඩ් සමයේ සමෘද්ධි බැංකුවලින් ණයක් අරගෙන ජනතාවට රුපියල් 5000 බැගින් ගෙව්වා. ඒ ගෙව්වොත් සමෘද්ධි නිලධාරීන්මයි.

සහනාධාරය තියෙන්නේ සමෘද්ධි වැඩසටහනින් සියයට 10ක් පමණයි. එහි වැඩපිළිවෙළ පුළුල්. සමෘද්ධි ව්‍යාපාරය මගින් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදෙනවා. නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කළා. අත්වැසුම වැඩපිළිවෙල සමෘද්ධි වැඩපිළිවෙළට අභියෝගයක් නෑ. එයින් වන්නේ එදිනෙදා කන්න බොන්න මුදල් දීමයි. එය මේ කාලයේ අත්‍යවශ්‍ය දෙයක්.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර (සජබ) :

සමෘද්ධි වැඩසටහන දේශපාලනීයකරණය කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපි නොවෙයි. ළමා මන්දපෝෂණය අපේ රට දකුණු ආසියාවේ දෙවැනියාට පත්කර තිබෙනවා. දිළිඳු බව ඉහළට ගිහිල්ලා. මේවායේ විනිවිදභාවය ගැන ආණ්ඩුව කතා කරනවා. ඔවුන් මූල්‍ය අරමුදලේ ගිවිසුම සභාගත කළේ නැහැ.

ඇස්වැසීමක් නොවී සියලු අස්වැසුමක් බවට ව්‍යාපෘතිය පත්විය යුතුයි.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) :

සමාජ ආරක්ෂණ ක්‍රියාවලියට වැඩසටහනක් ඉදිරිපත් කරනවා නම් මොවුන් හඳුනාගෙන මුදල් දීම පමණක් නොව තවත් සුබසාධන නඩා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුයි.

සමාජ ආරක්ෂණය පුළුල් ක්‍රියාවලියක්. ඊට පුළුල් වැඩසටහනක් අවශ්‍යයි. ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩසටහනින් මුදල් ලබාදීමයි සිදුවන්නේ. එය අවශ්‍ය වුවත් දිළිඳුබව නැති කිරීමට ඊට වඩා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

දිළිඳුබව නැති කිරීමේ ක්‍රමවේදය දේශපාලන භේදයෙන් තොරව සිදුවිය යුතුයි. ජනතාවගේ සත්‍ය තොරතුරු ලබාගත යුතුයි. දේශපාලකයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත කරන බලපෑම නැවැත්වීමට ක්‍රියා කළ යුතුයි.

අදත් සමෘද්ධිය මගින් විවිධ වැඩසටහන් සිදුවෙනවා. ඒවා තෝරා ගන්නේ කවර තොරතුරු පදනම් කරගෙනද යන්න ප්‍රශ්නයක්. සමෘද්ධි අංශය මගින් අවුරුදු උත්සව සඳහා විශාල මුදලක් වෙන් කළා. මේවා කළේ මොන තොරතුරු පදනම් කරගෙනද? සුබසාධන වැඩ කරන විට ජනතාවගේ ගරුත්වය ඇතිවන පරිදි වැඩසටහන් සිදුකළ යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර (ශ්‍රීලපොපෙ) :

වැරදියට සමෘද්ධි දුන්නේ යහපාලන ආණ්ඩුව කාලයේදීයි. හාරලක්‍ෂයකට වඩා ඔවුන් සමෘද්ධිය දුන්නේ ඒ දේශපාලන මැදිහත්වීම මතයි. එය නැවැත්වීමට දැන් කාලය එළැඹිලා. දශක ගණනාවක් දිළිඳු ජනතාව නැගී සිටුවාලීමට විවිධ වැඩසටහන් ආවා. ඒ එකකින්වත් දිළිඳු ජනතාව නැගිට්ටවීමට හැකි වූවාද කියා ගැටලුවක් පවතිනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

සමෘද්ධිය නුසුදුසු අයට ලැබෙනවා කියලා වසර ගණනාවක සිට කියනවා. ඒවා තෝරා බලා කපන්න කෙනෙක් නෑ. ඒ වෙනුවෙන් තියෙන දේශපාලනය ප්‍රබලයි. මේ රටේ ආදායම් විෂමතාව නැති කිරීමට රජය මැදිහත් වීම අවශ්‍යයි. සමහරුන්ට කන්න බොන්න දේවල් එන්නෙත් පිටරටින්. එක වේල කන්න නැති අයත් රටේ ඉන්නවා. ආර්ථිකයේ කඩා හැලීම් තුළ ගොවි ජනතාව ඉතා අසරණ වෙලා. පොහොර දෙනවා කිව්වත් ගොවි බිම්වලට ඒවා ලැබී නෑ.

පාර්ලිමේන්තුව නැවත ලබන මස 06දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment