පවුල් 61,000 කට මසකට රු. දසදහසක්…. හිඟ ගොවි ණය රු. මි. 688 ක් කපා හැරෙයි

218

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉතා ඉක්මනින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61,000ක් සඳහා මසකට රුපියල් දසදහසක බැගින් ලබා දීමට යෝජනා කරමින් සහ එවැනි වැඩසටහන් කිහිපයක් සඳහා රුපියල් මිලියන 46000ක මුදලක් වෙන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැය යෝජනාවලිය ඊයේ (30දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මුදල් සහ ආර්ථික ස්ථායිකරණ ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ මෙම වසරේ (2022) ඉදිරි මාස 04 සඳහා අදාළ යෝජනාවලිය ඉදිරිපත් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තුව ඊයේ පස්වරු 01ට රැස්විය. පස්වරු 01.02 ට පමණ ජනාධිපතිවරයා නව අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර කිසිදු විවේකයකින් සහ අපහසුතාවකින් තොරව න්‍යාය පත්‍රයේ සඳහන් වූ පරිදිම පස්වරු 02 වන විට විනාඩි 58 කදී අයවැය කියවා අවසන් කළේය.

පවුල් 61,000 කට මසකට රු. දසදහසක්.... හිඟ ගොවි ණය රු. මි. 688 ක් කපා හැරෙයි

රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයකු ලෙස ඉදිරිපත් කරන ලද ප්‍රථම අයවැය යෝජනාවලිය වූ මෙම සංශෝධිත අයවැය මගින් අංශ 33ක් කෙරෙහි අවධානය යොමු කර තිබිණ.

මෙම අයවැයෙන් දැනට පවතින එකතු කළ අගය මත බද්ද (වැට්) සැප්තැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, සියයට 12 සිට සියයට 15 දක්වා වැඩි කරන බව යෝජනා කළේය. ඊට අමතරව එමගින් ඉදිරිපත් කර ඇති සෙසු යෝජනා කිහිපයක් මෙසේය.

රාජ්‍ය ආයතනවල වංචා, නාස්තිය සහ දූෂණය හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධීක්ෂණ ජනරාල් ක්‍රමයක් ස්ථාපනය කෙරේ.

රාජ්‍ය අංශවල සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩු කරනු ලැබේ.

රජයේ කාර්යයන් සඳහා මින්මතු පොසිල ඉන්ධන පාදක කොටගෙන ධාවනය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවේ.

රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක්.

රාජ්‍ය ආයතනවල ගොඩ ගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීම රජයේ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක්.

ණය කළමනාකරණ ක්‍රියාවලිය වෙනුවට ස්වාධීනව ක්‍රියාත්මක වන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවේ.

ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් සියයට 20 ක ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් සහ සේවකයන් වෙත ලබා දීමට යෝජනා කෙරේ.

ගැබිනි මව්වරුන් සඳහා දැනටමත් ලබාදෙන රුපියල් 20,000 ක දීමනාවට අමතරව රුපියල් 2,500 ක මාසික අතිරේක දීමනාවක්

භූමිතෙල් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයේ සහ වතුකර ප්‍රදේශයන්හි දුෂ්කරතාවයන්ට පත් ජනතාවට සහනාධාරයක් ලබාදේ.

මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,000 – 7,500 අතර ප්‍රමාණයකින් වැඩිකර ලබා දෙනු ලැබේ.

සමෘද්ධිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටි පවුල් 726,000 ක් පමණ සඳහා මසකට රුපියල් 5,000 ක තාවකාලික දීමනාවක්.

ගොවීන්ගේ රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති හිඟ ණය මුදල වන රුපියල් මිලියන 688 ක මුදල (පොලිය හැර) කපා හැරීමට ක්‍රියා කරනු ලැබේ.

ශ්‍රී ලංකාව ද විදේශීය සිසුන් වෙත අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා පෞද්ගලික ආයෝජන දිරි ගැන්වේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපනය කිරීමට ද යෝජනා කෙරේ.

දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනේ.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන විදුලි පාපැදි සඳහා බදු සහන.

ආදී වශයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කළ ජනාධිපතිවරයා අවසානයේදී සිය අයවැය කතාව සමාප්තියට පත් කරමින් සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වන ලෙස සියලු පක්ෂවලට යළිත් ආරාධනා කරනු ලැබීය.

අයවැය සම්බන්ධයෙන් විවාදය අද (31දා) සහ හෙට (01දා) පෙරවරු 9.30ට ආරම්භ කෙරේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment