පශ්චාත් කොවිඩ් ජනවාරි පළවැනිදා

653

පශ්චාත් භාගයත් නොවන පශ්චාත් නූතන වාදයත් නොවන පශ්චාත් කොවිඞ් ජනවාරි පළවෙනිදා යනු කොවිඞ් වසංගතයෙන් පසු එළඹෙන ජනවාරි පළවෙනිදා යන අදහස ගෙන දෙන්නකි. එම වසංගතයෙන් අනතුරුව එළඹෙන දෙවැනි ජනවාරි පළවෙනිදාව ඊයේට යෙදී තිබිණ. කොවිඞ් වසංගතය නිසා මේ රටේ සහ ජාතියේ අනාගතයෙන් අවුරුදු දෙකක් බුන්වත් විය. ශ‍්‍රී ලංකාව කිසිම දෙයක් නිපදවන්නේ නැති රටක් වීම නිසා පිටරටින් බඩු මිලට ගැනීමට යෑමේදී ඩොලර් හිඟය ලොකුවටම බලපෑම් කර ඇත. පසුගිය දවස්වල ශ‍්‍රී ලංකාව සතු ඩොලර් සංචිතය බිලියන 1.6 ක් විය. මේ මුදලින් මේ රටේ ජනයාට හය මාසයක් පාන් කෑමටවත් නොහැක. ඒ අතර රටේ ඩොලර් සංචිතය බිලියන 3.1 දක්වා ඉහළ නැග ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය. එය හොඳ තත්ත්වයකි. නිකම් කතාවට කියතොත් ඒ මුදලින් අවුරුද්දක් පාන් කෑමට පුළුවන. එහෙත් ලොකුම ප‍්‍රශ්නය වන්නේ දැනට පවතින මිල ඉහළ යෑමේ රේට් එකේ හැටියට අවුරුද්දක් පාන්, බනිස්, කිඹුලා බනිස් කෑමට එම මුදල ප‍්‍රමාණවත් විය හැකිද යන්නයි. බඩු ගණන් යන්නේ යකා ගැහුවා හා සමානවය. පැරණි සිංහල ගැමි ජීවිතය තුළ කිසිවකුට යකෙක් ගැසූ කල්හි එසේ ගුටිකන එකා එක්කෝ මැරී වැටෙයි. නොඑසේ නම් අබ්බගාත වෙයි. බඩු මිල ඉදිරියේදී පාරිභෝගික අධිකාරිය ළඳ බොළඳ ළපටියකු සේ අසරණය. කිසිවෙක් එම අධිකාරිය ගණන් නොගනිත්. එබැවින් කළ යුතු හොඳම වැඬේ වන්නේ එම අධිකාරිය විසුරුවා හැර ඊට වැයවන සල්ලි ඉතිරිකොට පාන් මිලට ගැනීමය. පෙට‍්‍රල් ගණන් යන නිසා ත‍්‍රිරෝද රථ රියැදුරෝ ඉතා දරුණු ලෙස හයර් මිල වැඩි කරනවා ඇත. දැනට ඇති ආරංචිය අනුව පළමු කිලෝමීටරයට රුපියල් 20 කිනුත් ඉන්පසු එළඹෙන සෑම කිලෝමීටරයකටම රුපියල් 5 බැගිනුත් මිල වැඩි කිරීමට ඉඩ තිබේ. පෙට‍්‍රල් මිල ඉහළ ගියේ ලීටරය රුපියල් 20 කිනි. අලූත් මිල වැඩි කිරීමට අනුව පළමු කිලෝමීටරයෙන්ම පෙට‍්‍රල් ලීටරයට වැඩි කළ රුපියල් 20 උපයා ගැනීමට ත‍්‍රිරෝද රථ රියැදුරන්ට හැකිවනවා ඇත. මෙය මේ රටේ ස්වභාවයයි. ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 න් වැඩි වූ විට ආප්පයක් රුපියල් 5 කින් වැඩි කිරීමට හෝටල්කාරයා කැමතිය. එවිට ඔහු වැඩි වූ රුපියල් 100 පළමු ආප්ප 20 න් කවර් කර ගනී. සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයකින් ආප්ප 500 ක් පමණ සෑදිය හැකිය. හෝටල්කාරයා මුදල් උපයමින් පොෂ් ලයිෆ් එකක් ගත කිරීම ගැන අප තුළ කිසිදු ඉරිසියාවක් නැත. එහෙත් අපේ බඩට වදින එක ගැන අපට දුකය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මේ මොහොතේදී හිස බුන් කුකුළකු සේ එහෙ මෙහෙ දුවයි. පොහොර අවුල විසඳනු වෙනුවට ඔහු කරන්නේ ගොවියන් ගේ විරෝධය පිටුපස සිටින දේශපාලන ඉත්තන්ට බැන වදිමින් කාලය ගත කිරීමය. ඒ අතර ගොවීහු අන්ත දුකට පත්ව සිටිති. ලංකා ඉතිහාසයේ කිසි කලෙකත් මෙකල මෙන් බෝංචි කිලෝව රුපියල් 600 ටත් ගෝවා කිලෝව රුපියල් 450 ටත් මිල නැග නැත. මේ අතර රට පුරාම කළු කඩ මිලට රසායනික පොහොර තිබේ. මිනිසුන්ගේ විරෝධය විශාල අවදානමක පෙර නිමිත්තක් බව මේ ආණ්ඩුවට නොතේරේ. යහපාලන ආණ්ඩුවට සිද්ධ වුණෙත් මේ කෙළියමය. 2019 පාස්කු බෝම්බය පිළිබඳව ඉන්දියාවේ බුද්ධි අංශ අපේ ආරක්ෂක ප‍්‍රධානීන්ට කල් තියා දැන්වූ විට කවුරුවත් එය ගණන් ගත්තේ නැත. අන්තිමට බෝම්බ මාලාවක් පුපුරා දෙසිය ගණනක් මිය ගිය පසු බෝම්බකරුවන් පැන ගියේ මුහුදු මාර්ගයෙන්ද නොඑසේ නම් ගුවන් මාර්ගයෙන්ද යන නිරර්ථක කාරණය සෙවීමට ආරක්ෂක අංශ උනන්දු වූහ. එහෙත් ඒ වනවිට පැන යනු සඳහා එකම බෝම්බකාරයෙක්වත් ඉතුරුව සිටියේ නැත. ඔවුන් සියල්ලම මිය ගොසිනි. පසුගිය දින කිහිපයේදී මේ රටේ දුම්රිය දුවන ලද්දේ අන්තිම පාඩුවටය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය නිසා ටිකට් නිකුත් නොකරන ලද බැවින් දුම්රිය මගීන් සියලූ දෙනාම නොමිලේ ගමන් කළහ. ආණ්ඩුව වර්ජනයට මැදිහත් වනවිට රටට බිලියන ගණනක් පාඩුය. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් කල්තියා සොයා බැලූවේ නම් මේ බිලියන ගණන පාඩු වන්නේ නැත. ආණ්ඩුව කල්පනා කරන්නේ මහ පාරේ වැරදි කරන රථ වාහන රියැදුරන්ගෙන් දඩ මුදල් අය කරගෙන රට දිව වීමට විය යුතුය. එදා වේල සොයා ගනිමින් යැපෙන අසරණ මෝටර් බයික් කාරයෝත් ස්කූටර්කාරයෝත් නතරකොට පාරේ තැන තැන රඳවාගෙන දේශන පවත්වන සහ දඩ කොළ කඩන ට‍්‍රැෆික් රාළහාමිලා මේ දිනවල බහුලය.

මේ ආණ්ඩුව බලයට එන්නේ හැට නව ලක්ෂයක ඡන්ද තොගයකුත් සමග ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙනි. 20 වන සංශෝධනය මගින් ජනාධිපතිගේ විධායක බලතල යළි තහවුරු කොට තිබේ. ජේ. ආර්. ජයවර්ධන විධායක බලතල පෙන්වා මේ රට කණපිට ගසා යළි හොඳ පිට ගැසුවේය. හාල්, සිල්ලර බඩු වෙළෙඳුන්ගේ තුච්ඡ ඒකාධිකාරය බිඳීමට ගෝඨාභය රාජපක්ෂ ගේ විධායක බලය හොඳටම ප‍්‍රමාණවත්ය. හැම තැනම පෝලිම් තිබේ. රට පුරා ගෑස් හිඟයක් පවතී. ඒ නිසාම භූමිතෙල් හිඟයකුත් පවතී. ඒ නිසාම දර හිඟයකුත් පවතී. දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයක් සිටින රටක ළිප් මෙලවීම සඳහා මේ තිබෙන දර ටික කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. ඒ සඳහා මුළු රටේම තිබෙන ගස් කැපිය යුතුය. මේ දිනවල දර කැබලි පහක් සහිත දර මිටියක් රුපියල් 25 කි. එයින් උයා ගත හැක්කේ බතක් සහ හොද්දක් පමණි. තවත් එළවළුක් උයාගෙන මැල්ලූමක් සැදීමට තව දර මිටියක් අවශ්‍යය. ආණ්ඩුව කියන්නේ ඇති තරම් ගෑස් තොග තිබෙන බවය. ඒ ගෑස් තොග තිබෙන්නේ ගෑස් කොම්පැනියේද, නොඑසේ නම් පිට රටවල තිබෙන ගෑස් නිධි තුළ ද යන්න ආණ්ඩුව නොකියයි. ඒ නිසා ආණ්ඩුව යම් ප‍්‍රමාණයකට ගැළවෙයි. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ තව අවුරුදු තුනකින් ඡන්දයක් එන බව නොදැනද? අපේ වැටහීම වන්නේ නැවත වතාවක් බලය ලබාගැනීම කෙරෙහි මේ ආණ්ඩුව තුළ ආසාවක් නැති බවය. පශ්චාත් කොවිඞ් ජනවාරි පළවෙනිදා පිළිබඳ අපේ අදහස මෙතැනින් නිමය.

advertistmentadvertistment
advertistmentadvertistment