පශ්චාත් කොවිඞ් සමය ජය ගැනීමට ඒ.ඞී.බී. බැංකු සමුළුව මෙරට පැවැත්වීම වැදගත් – මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ

133

* කොරෝනා එන්නත්කරණයෙන්  ශ‍්‍රී ලංකාව ප‍්‍රශස්තයි – ආසියානු සංවර්ධන බැංකුවේ මහ ලේකම්

සමස්තයක් ලෙස කොවිඞ් ව්‍යසනය කළමනාකරණය කිරීම අතින් ශ‍්‍රී ලංකාව ප‍්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, කොවිඞ් එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් ආසියානු සංවර්ධන බැංකුවේ මහ ලේකම් මුහමඞ් ඉෂාන් ඛාන් මහතා පවසා ඇත.

ලබන වසරේ (2022) මැයි මස 2 සිට 5 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුවට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවට පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සිට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මහ ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

මෙම ගිවිසුමට අත්සන් කිරීම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර ඊට ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා අත්සන් තබා ඇත.

මෙහිදී සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව පැවැත්වීම සඳහා ඉතාම සුරක්ෂිත රට ශ‍්‍රී ලංකාව බවද ප‍්‍රකාශ කර ඇති ආසියානු සංවර්ධන බැංකුවේ මහ ලේකම්වරයා පශ්චාත් කොවිඞ් කාලවකවානුවට මුහුණදීම සඳහා කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ‍්‍රී ලංකාවට අමතර ශක්තියක් වනු ඇති බවට ද විශ්වාසය පළකර තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවක් පවත්වන කලාපයේ දෙවැනි රට ශ‍්‍රී ලංකාව බවත්, එම අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුව වෙත සිය කෘතඥතාව පළකර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළට ප‍්‍රමුඛතාව ලබාදී කොවිඞ් වසංගතය සාර්ථකව මැඬ පැවැත්වීමට සමත් වෙමින් සිටින බවත්, කොවිඞ් ව්‍යසනය කළමනාකරණය කිරීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් සිටින බවත්, පශ්චාත් කොවිඞ් සමය ජය ගැනීම වෙනුවෙන් මෙම සමුළුව සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවට ද ඇමැතිවරයා විශ්වාසය පළකර තිබේ.

කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කර ගැනීම ප‍්‍රමුඛතම අවශ්‍යතාව බව පෙන්වාදී ඇති මුදල් ඇමැතිවරයා ඒ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරන බවත්, ආසියානු සංවර්ධන බැංකුව සමග විශ්වසනීයව හා විනිවිද භාවයෙන් කටයුතු කිරීමට කැපවන බවත් සඳහන් කර ඇත.

දේශගුණික විපර්යාසයන්ට අනුගත හරිත ආර්ථිකයක් ස්ථානගත කිරීම තේමා කරගනිමින් ලබන වසරේ දී ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවට සාමාජික රටවල නියෝජිතයන් 3000 ත් 5000 ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත අතර ඊට මුදල් ඇමැතිවරු, මහ බැංකු අධිපතිවරු, ජාත්‍යන්තර බැංකු නියෝජිතවරු හා සමාගම් විධායක නිලධාරීහු සහභාගී වීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment