පශ්චාත් යුද සමයේ ජාත්‍යන්තරය තෙක් විහිදී ඇති මෙරට මත මඩින STF සටන

107

වසර 40 ඉතිහාසයකට උරුමකම් කියන පොලිස් විශේෂ කාර්ය බළකාය ශ්‍රී ලංකා පොලිසියේ සාඩම්බර අභිමානයයි

දශක 03 ක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්‍රවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමීමේලා ලේ දහදිය හෙලූ විශේෂ කාර්ය බළකාය ඉතිහාසයේ රන්, අකුරෙන් ලියවෙන අතිවිශිෂ්ට කාර්ය භාරයක් ඉටුකරන ලදි.

මේ වන විට දිවයින පුරා ආවරණය වන පරිදි කඳවුරු 72 ක් පිහිටුවමින් පශ්චාත් යුද සමයේදී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වෙමින් සුවිශේෂී කාර්යභාරයක් සිදුකරයි. ප්‍රධාන වශයෙන් රටට මහත් පිළිලයක්ව තිබෙන පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන්කිරීම සඳහා අතිවිශාල වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත.

පශ්චාත් යුද සමයේ ජාත්‍යන්තරය තෙක් විහිදී ඇති මෙරට මත මඩින STF සටන
වත්මන් සේනාවිධායක පොලිස් විශේෂ කාර්ය බළකාය, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ වරුණ ජයසුන්දර මහතා.

වත්මන් අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසර 03කට ආසන්න කාලසීමාව තුළ සංවිධානාත්මක අපරාධ මර්දනය, පාතාල මර්දනය මත්පැන් හා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම, නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම ඇතුළු දිවයිනේ සිදුවන නීති විරෝධී ක්‍රියා මැඬලීමට ශ්‍රී ලංකා පොලිසියට සහය වෙමින් විශාල කාර්යභාරයක් අඛණ්ඩවම සිදුකරමින් සිටී. ගතවූ තෙවසරක කාලය තුළ ජාත්‍යන්තරය තෙක් විහිදී යන මෙරට මහා ව්‍යසනයක්ව පවතින රටේ ජීවනාලිය බඳු තරුණ තරුණියන් මත් රකුසාගෙන් මුදා ගැනීමේ අභියෝගාත්මක කාර්ය භාරයට උර දෙමින් මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමෙලා විශේෂ කාර්ය බළකාය සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරමින් සිටී. ඒ අනුව ගතවූ කාලය තුළ ඩයිඇසිටයිස් මෝෆීන් හෙවත් හෙරොයින් කිලෝ 219කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

1984 අංක 13 දරන විෂ මත්ද්‍රව්‍ය අබිං සහ අන්තරාදායක ඖෂධ (සංශෝධන) පනතට එකතු වී ඇති නව නීති ලෙස 2022 අංක 41 දරන විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග ආඥා පනත යටතේ නඩු පැවරීමෙන් හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් 5ක් සඳහා මරණීය දන්ඩනය ලබාදීමට මහාධිකරණයට හැකියාව පවතී. එය කලින් පැවතියේ හෙරොයින් සුද්ධ බර ග්‍රෑම් 2ට වඩා වැඩි වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දණ්ඩනය පැනවීමයි. එමෙන්ම සුද්ධ බර ග්‍රෑම් 10ට වඩා වැඩිනම් ඇප ඉල්ලන්නේ නම් එය මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් වී මහාධිකරණය මගින් නොව අභියාචනාධිකරණ මගින් සිදු කළ යුතුවේ.

ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් පැතිර යන තරුණ ප්‍රජාව වේගයෙන් ගොදුරු වන මත්ද්‍රව්‍ය වන මෙතැම්පිටමීන් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50 ක් මේ වනවිට විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය ‘ක්‍රිස්ටල් මෙත්’ සහ ‘ක්‍රිස්ටල්’ වැනි නම් වලින්ද හඳුන්වයි. ඉතාම විෂ මත්ද්‍රව්‍යක් වන අයිස් මත්ද්‍රව්‍යය සඳහා නීති සම්පාදනය වී නොතිබුණු අතර නව පනත අනුව ද හෙරොයින් හා සමානවම ග්‍රෑම් 5කට වඩා තම සන්තකයේ තබා ගත්තොත් මරණීය දණ්ඩනය ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව ඇත. ග්‍රෑම් 10 කට වඩා සන්තකයේ තිබී අත්අඩංගුවට පත්වුවහොත් ඇප ඉල්ලීමක් සිදු කරන්නේ නම් මහාධිකරණය මගින් නොව අභියාචනාධිකරණ මගින් වීම මෙම නව සංශෝධිත පනතේ සුවිශේෂී කරුණ වේ.

තවද කේරළ ගංජා කිලෝ 4965 ක් අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බළකාය ගෝනහේන කඳවුර මගින් මැතකදී සිදු කරන ලද කේරළ ගංජා කි.ග්‍රෑම් 145ක ප්‍රමාණයද කැපී පෙනේ. ඉන්දියාවෙ සිට ඉතාම සූක්ෂම අයුරින් නීතියේ ඇසට වැලි ගසමින් ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් මෙරටට ගෙන්වන ලද මෙම කේරළ ගංජා ප්‍රමාණයේ වටිනාකම ආසන්න වසයෙන් මිලියන 18 ඉක්මවන අතර මෙය අතර මැදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මගින් සිදුවන අලෙවියේදී මෙයට වඩා මුදලකට අලෙවි වීම දක්නට හැක. මේ අතර කැනබීස් සැටයිවා එල් නොහොත් වියළි ගංජා කිලෝ 2,497 ක්ද, ගංජා වගාවන් අක්කර 287ක්ද, ගංජා ගස් ලක්ෂ 66 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධී ලෙස තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි ලක්ෂ 52 ක්ද, මත්පෙති 72749 ක්ද නීති විරෝධී මත්පැන් ලීටර් 64,926 ක්ද වසර 03 කට ආසන්න කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති අතර බෝර 12 ගිනි අවි 145 ක්, ස්වයංක්‍රිය ගිනි අවි 10 ක්, පිස්තෝල අවි 53ක්, රිවෝල්වර අවි 27ක්, මෙරට නිෂ්පාදිත ගිනි අවි 697 ක්ද ටී56 ගිනි අවි 32ක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාව වන විශේෂ කාර්ය බළකාය තම වගකීම වගවීමෙන් ඉටුකරමින් ‘නියතයි ජය’ ඔවුනගේ පාඨය ඔස්සේ මෙම සුවිශේෂී කාර්යභාරය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියටත් සිදුකිරීමට ඇප කැප වී සිටී.

මල්මි රාජපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment