පස්දින නිල සංචාරයකට ඉන්දීය යුද හමුදා ප‍්‍රධානියා ඇතුළු දූත පිරිසක් දිවයිනට

197

ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද හමුදා ප‍්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන ඊයේ (12 වැනිදා) පෙරවරුවේ මෙරටට පැමිණියේය.

මෙරටට පැමිණි ඔහු ඇතුළු දූත පිරිස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සුජීවා නෙල්සන් මහත්මිය විසින් පිළිගනු ලැබූහ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය යුද හමුදාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අගමැති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික ජෙනරාල්) කමල් ගුණරත්න, සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් හමුවීමට නියමිතය.

ඉන්දීය යුද හමුදාපතිවරයා හෙට (14 වැනිදා) සාලියපුර ගජබා රෙජිමේන්තුවේ 38 වැනි සංවත්සර උත්සවය සඳහාද සහභාගි වීමට නියමිත අතර මාදුරුඔය සටන් පුහුණ පාසලේ සංචාරයක නිරත වෙමින් මේ දිනවල එහි පැවත්වෙන ‘මිත‍්‍ර ශක්ති’ යුද අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමටද එක්වනු ඇත.

ඉන්දීය යුද හමුදාපතිවරයා සමග මෙරටට පැමිණි දූත පිරිසට ඉන්දීය යුද හමුදා භාර්යාවන්ගේ සුබසාධක සංගමයේ සභාපතිනී වීනා නාරවන, ඉන්දීය යුද හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන මේජර් ජෙනරාල් රජීව් තාපර්, හමුදා සහායක මේජර් ජෙනරාල් වික්රාන්ත් නයික් සහ කර්නල් මන්දීප් සිං දිල්ලොන් යන අයද එක්ව සිටිති.

ජෙනරාල මනෝජ් මුකුන්ද් අද (13 වැනිදා) යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වන අතර ඊට පෙර ශී‍්‍ර ජයවර්ධනපුර පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා රණවිරුවන්ගේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.

මෙම පස් දින නිල සංචාරය අතරතුර ඉන්දීය යුද හමුදාපතිවරයා සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විiාලයේ සංචාරයකට එක්වෙමින් එහි උපාධි අපේක්‍ෂකයන්ද හමුවනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment