පස්යාල පිරවුම්හලේ ඉන්ධන බෙදාහැරීමේ බලය රාත්‍රියේදී මැරයන්ගේ අතට

163

පෝලිමේ නොසිට තෙල් ගන්න රු. 500 යි

පස්යාල, මල්ලැහැව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල ආශ්‍රිතව කප්පම් ලබා ගන්නා මැර පිරිසක් නිසා ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

රාත්‍රී කාලයේ හැසිරෙන මෙම මැර කල්ලිය ඉන්ධන හල ආශ්‍රිතව ගැවසෙමින් ඉන්ධන පෝලිමේ නොසිට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ගෙන් රු. 500 ක මුදලක් ලබා ගන්නා බව වාර්තා වේ.

එසේ මුදල් ලබා ගැනීමෙන් පසු ඔවුන් විසින් ලබා ගන්නා යතුරුපැදියට ඉන්ධන ලබාදීම සඳහා භාර ගැනීම සිදු කරයි. ඒ අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින පාරිභෝගිකයන් බියවද්දා බලහත් කාරයෙන් පෝලිමට යතුරුපැදි ඇතුල් කරන බව ඉන්ධන ලබා ගැනීමට පැමිණ මෙම සිදුවීම්වලට මුහුණ දී අත්දැකීම් ලද පාරිභෝගිකයන් පවසති.

එහිදී මේවාට එරෙහි වන්නන්ට පරුෂ වචනයෙන් බැණ වැදීම හා පහරදීම්ද සිදුවී ඇත. මෙම ක්‍රියාදාමය පිටුපස ඉන්ධන හලේ ඇතැම් සේවකයන්ද සිටින බවට තොරතුරු අනාවරණය වේ. පිරවුම්හල අසල ගැවසෙමින් උසස් පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතා ඇති බව පවසමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙක්ද ඉන්ධන ලබාදීම සඳහා සීමා පනවා තිබියදී එම සීමා ඉක්මවා තම හිතවතුන්ට ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හලේ සේවකයන්ට බලකරන බව පාරිභෝගිකයෝ පවසති. දින ගණනාවක් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව පෝලිමේ සිටියදී පනහක හැටක පමණ යතුරුපැදි කණ්ඩායමක් පැමිණ පෝලිමට ඉදිරියෙන් සිට ඉන්ධන ලබා ගැනීම සඳහා මොවුන් කටයුතු කරයි. යුද හමුදාව සහ පොලිසිය නීතිය හා සාමය රැකීම සඳහා රාජකාරියේ නියුතුව සිටියද මෙවැනි සිද්ධීන් දැක දැකත් මුනිවත රැකීම පිළිබඳව පාරිභෝගිකයෝ මවිතය පළ කරති.

කල්එළිය – චන්ද්‍රවීර වික්‍රමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment