පස්හැවිරිදි දැරිය දූෂණය කළ හතළිස් හැවිරිදි සැකකරු වසර හැටක් බර වැඩවලට මහ උළු ගෙදරට

1201

මට වුණු නින්දා අපහාසවලට මරණ දඬුවම දෙන්න – වින්දිත දැරිය

රාත්‍රි කාලයේ සූක්‍ෂ්මව නිවසකට ඇතුළුවී මව හා වැඩිමහල් සහෝදරියට මැදිවී ඇඳක නිදාසිටි පස්හැවිරිදි දැරියක් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් අවස්ථා දෙකකදී දූෂණය කිරීම සහ බරපතළ ලිංගික

අපයෝජනය කිරීම, ඇය පැළඳ සිටි කරාබු යුගල කොල්ලකෑම ඇතුළු අධිචෝදනා පහකට වරදකරු කරනු ලැබූ 40 හැවිරිදි විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (21 දා) බරපතළ වැඩ සහිත වසර හැටක අනිවාර්ය සිර දඬුවමක් හා රුපියල් 95,000 ක දඩයක් නියම කළේය.

මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම නිසා එලෙස එකී අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තිකරුට, වින්දිත දැරියට රුපියල් ලක්ෂ හතරක දඩයක් ගෙවීමටත් එහිදී නියම කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගවන්නේ නම් අමතර වසර 4 1/2 ක ලිහිල් සිරදඬුවම් ද පනවා එම සිර දඬුවම් කාලය එකවර එනම් වසරක කාලයකින් ගෙවී යන ලෙස ලබාදීමට නියෝග කළේය.

විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඉදිරියට කැඳවූ වින්දිත තරුණියගෙන් පැවසීමට යමක් ඇතිදැයි අධිකරණය විමසූ අතර වසර අටකට පමණ පෙර සිදුවූ එකී අපරාධය නිසා තමන්ට සමාජය තුළදී බොහෝ නින්දා අපහාස විඳීමට සිදුවූ බැවින් විත්තිකරුට මරණ දඬුවම ලබාදෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

පවතින නීතිය අනුව එකී අධිචෝදනාවලට විත්තිකරුට මරණ දඬුවම් නියම කළ නොහැකි බව වින්දිත දැරියට පහදා දුන් විනිසුරු නවරත්න මාරසිංහ මහතා එවකට 32 හැවිරිදි වියේ පසුවූ විත්තිකරු සිදුකර ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට පමණක් නොදෙවැනි වරදක් වන බැවින් ශිෂ්ට සමාජය පිළිකුල් කරන ඉතා බරපතළ වරදක් වන එකී අධිචෝදනාවලට ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමට තම අධිකරණය නොපසුබටවන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන්නේය.

බාල වියෝදී සිදුවූ එකී අපරාධය නිසා ශාරීරිකව විඳි වේදනාවට වඩා ඉතා බලවත් මානසික පීඩාවක් වින්දිත දැරියට විඳීමට සිදුවී ඇති බවත් විත්තිකරුට කුමන දඬුවමක් නියම කළත් ඇය ජීවත්වන තුරාම එකී මානසික පීඩාවෙන් අත්මිදීමට නොහැකි වන නමුත් එවැනි අපරාධ සිදු නොවන අයුරින් සමාජයට පාඩමක් ගත හැකි අයුරින් උපරිම දඬුවම් විත්තිකරුට නියම කරන ලෙස රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment