පස් වසරක සුවසැරිය ඉදිරි දශකයට සූදානම් කරමු

181

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක, රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සුවසැරිය පදනමේ සාමාජික සන්ධ්‍යා සල්ගාදු සහ සුවසැරිය ප‍්‍රධාන විධායක නිළධාරී සොහාන් ද සිල්වා යන මහත්ම මහත්මීන් මිරිහාන පොලිස් ස්ථානයේ සුවසැරිය උපපොළ විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගී වූ අයුරු.
 
විවිධ බාධක මැදින් ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවය මේ ජූලි 28 වැනිදා ජයග‍්‍රාහී පස්වන සංවත්සරය සමරනු ලබයි. අනාගතයේදී මෙම සේවාවෙන් රටට සිදුවන සේවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙහි යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කළ යුතුව ඇත. කොවිඞ්-19 වසංගතයට රට මුහුණ දෙමින් සිටින මේ අවස්ථාවේදී මෙම සේවාව විසින් රටට කරන ඉමහත් සේවයට මුළු රටේම ගෞරවය මේ වනවිට හිමිවෙමින් තිබේ.
 
අද මෙම සේවාව පස්වන සංවත්සරය සමරන්නේ ඉමහත් අභිමානයෙනි. මෙම සේවාව අද තිබෙන තත්ත්වයට රැුගෙන ඒමට ඇප කැපවූ සුවසැරිය කාර්ය මණ්ඩලය ඇතුළු සියලූම දෙනාට හිස නමා ආචාර කළ යුතුය. විශේෂයෙන්ම මෙම සේවාවට අඛණ්ඩව ස්වේච්ඡුාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායක මහතාටත් මෙහි ප‍්‍රධාන විධායක නිළධාරී සොහාන්ද සිල්වා මහතාටත් විශේෂ ස්තූතියක් පුදකළ යුතුව තිබේ. මේ වසර පහ තුළදී මෙම සේවාව මගින් රටට කළ සේවය ඉදිරි දශකය තුළදී තව තවත් වර්ධනය කිරීම ඉතාමත් වැදගත් වේ. මේ නිසා, මෙම සේවාව පස්වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි අවශ්‍යතාවය හොඳින් අධ්‍යනය කර මෙම සේවාවේ යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසයි. එය අනිවාර්යෙන්ම ඉතා වැදගත් සමාජ ආයෝජනයක් බවට පත්වෙනු ඇත.
 
2016 ජූලි 28 වනදා 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ නියමු ව්‍යාපෘතිය ගිලන් රථ 88 ක් යොදා ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කළ අතර ඒ සඳහා ඉන්දියාව විසින් යළි නොගෙවිය යුතු ඩොලර් මිලියන 7.55 ක පරිත්‍යාගයක් සිදුකරන ලදී. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම සේවාව දිවයින පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව යළිත් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 15.2 ක පරිත්‍යාගයක් සිදුකළේය. මේ වනවිට, 1990 සුවසැරිය ගිලන් රථ 297 ක් රට පුරා ක‍්‍රියාත්මක කර තිබෙන අතර එය මේ වනවිට සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් පාලනය වන්නේ 2018 අංක 18 දරණ 1990 සුවසැරිය පදනම පනත මගින් ඇතිකළ සුවසැරිය පදනම මගිනි.
 
මේ ගෙවුණු අවුරුදු පහ රටම සුවපත්කළ වසර පහක් ලෙසින් සඳහන් කළ හැකිය. මෙවැනි සේවාවන් සමහර දියුණු යැයි කියන රටවල පවා නොමැත. මෙහි සේවය ලබාගෙන තිබෙන ඕනෑම අයකුට එහි වැදගත්කම පිළිබඳව අනිවාර්යෙන්ම අවබෝධයක් තිබේ. අප විසින් මෙම සේවාව මගින් බලාපොරොත්තු වූ ඉලක්ක සියල්ලම පාහේ මේ වසර පහ තුළදී ළඟාකර ගැනීමට සමත්වී තිබේ. මෙම සේවාව ආරම්භ කිරීමට අපට නායකත්වය දුන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාටත්, මෙම සේවාව ශ‍්‍රී ලංකාවේ ආරම්භ කිරීමට උපරිම සහයෝගය ලබාදුන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාටත් අපගේ ස්තූතිය හිමිවේ. මෙම සේවාව ඉතාමත් හොඳින් ඉදිරියට රැුගෙන යන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියටත්, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මියටත් අපගේ විශේෂ ස්තූතිය හිමිවේ. මෙම සේවාව මගින් මේ වනවිට රෝගීන් 901,173 දෙනකු රෝහල් ගතකර තිබෙන අතර සමස්ත දිවයිනම සලකා බැලූවිට  රෝගියකු වෙත පැමිණීමේ සාමාන්‍ය කාලය විනාඩි 14 කුත් තත්ත්පර 28 ක් පමණ වේ.
 
පාර්ලිමේන්තු මන්තී‍්‍ර
ආචාර්ය හර්ෂ ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment