පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ගැන ගම්මන්පිල තොරතුරු ඉල්ලයි

46

මෙරටට පසුගිය මස 14 වැනිදා පැමිණි ඇමරිකානු රාජතාන්ත්‍රික දූත පිරිස පිළිබඳව තොරතුරු තමා වෙත ලිඛිතව ලබාදෙන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, උදය ගම්මන්පිල මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තොරතුරු නිලධාරිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ඉකුත් පෙබරවාරි මස 14 දා සී-17 ග්ලෝඩ් මාස්ටර් ගුවන් යානා දෙකකින් අදාළ ඇමරිකානු දූත පිරිස මෙරටට පැමිණ ඇති බැවින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධානයන්ට ප්‍රකාරව තමනට ඉහත තොරතුරු ලබාදෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.

අදාළ ගුවන් යානයේ පැමිණි පිරිසගේ නම්, එම පිරිස අතර ඇමරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිත ආයතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේ ද? පැමිණි දූත පිරිසේ ගමන් බලපත්‍ර මෙරට ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂාවට ලක් කළේ ද, මුද්‍රා තැබුවේ ද? එම පිරිස රට තුළට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් ද, ප්‍රභූ පර්යන්තයෙන් ද, විශේෂ ප්‍රභූ පර්යන්තයෙන් ද ආදී තොරතුරු මෙන්ම එකී දූත පිරිස ආගමන විගමන සහ රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක් නොකරන මෙන් යම් පුද්ගලයකු උපදෙස් ලබාදුන්නේ ද එසේ නම් එම පුද්ගලයා කවුරුන්ද යන වග ද දැනුම් දෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය ලිපිය මගින් ගුවන්තොටුපළ තොරතුරු නිලධාරියාගෙන් ඉල්ලා ඇත.

සුජීව තත්සර, එරික් ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment