පසුගිය අවුරුද්දේ ගෑනු මරපු යුද්දේ

485

කාන්තාවන් 79 ක් මරලා, අපරාධ 567 ක් සිදු කරලා

කාන්තාව යනු ජීවයේ උල්පතයි. කොටින්ම කිවහොත් ගැහැනිය නොමැතිනම් ජීවයේ පැවැත්මක් නැත. කාන්තාව ගැන ඇය වර්ණනා කරමින් ගීත මෙන්ම කවිපැදවැල් ලියවී ඇත්තේය. කාන්තාව ගැන ඇයගේ රූපය අඟ පසඟ ගැන මෙන්ම මායම් ගැනද කවිපදවැල් ගීත ලියා ඇත්තේ පිරිමින් විසිනි. එහෙත් කාන්තාවන් වැඩි වශයෙන් හිංසනයට පීඩාවට ලක්වෙන්නේ පිරිමින් අතිනි. නැතිනම් ඇයගේ සැමියා අනියම් පුරුෂයා, පෙම්වතා සහ වෙනත් පුද්ගලයකු අතිනි. අප මේ කියන්නට යන්නේද කාන්තාවන්ට සිදුවන හිංසනයන් ගැනය. කාන්තාවන්ට සිදුවන අපරාධ මෙන්ම කාන්තා ඝාතනයන් මෑතකාලයේ වැඩිවී තිබේ. ඉකුත් වර්ෂයේ දී (2021) කාන්තාවන් 79 දෙනකු ඝාතනයට ලක්ව ඇති අතර කාන්තාවට එරෙහිව බලඅපරාධ සිද්ධීන් 567ක් වාර්තා වී තිබුණි.

ඝාතනයට ලක්වූ කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ඝාතනය වී ඇත්තේ මහ දහවල් කාලයේ දීය. ඒ තම නිවස තුළදීය. ඒ විතරක් නොව කාන්තාවන් වැඩිවශයෙන් ඝාතනය වී ඇත්තේ තමන්ගේ සැමියා, පෙම්වතා නැතිනම් අනියම් පුරුෂයා අතිනි. පවුල් සංස්ථාව තුළ ඇතිවන නොයෙකුත් මතගැටුම් දුරදිග ගොස් අවසානයේ කාන්තාවන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවී ඇත. ප්‍රේම සම්බන්ධතා බිඳවැටීම, ලිංගික ගැටලු, අනියම් සම්බන්ධතා, සැකය හා අවිශ්වාසය, ආර්ථික හා සංස්කෘතික ප්‍රශ්න කාන්තා ඝාතනයන්ට ප්‍රධාන වශයෙන් හේතුවී තිබේ. ඇතැම් අවස්ථාවලදි කාන්තාවන් ඝාතනයට ලක්ව තිබුණේ ඉතා සාහසික අයුරිනි. මීට මාස කිහිපයකට පමණ ඉහතදී අක්මීමන ප්‍රදේශයේ දී කාන්තාවක් පිහියකින් ඇන ඇයගේ සැමියා විසින් ඝාතනය කර තිබුණි. සැමියා විසින් අනිනු ලැබූ පිහිය ඇයගේ සිරුර මත රැඳී තිබුණි. ඇතැම් අවස්ථාවලදී කාන්තාවන් ඝාතනයට ලක්ව තිබුණේ තම කුඩා දූ දරුවන් ඉදිරිපිටදීය. තම දෑස් ඉදිරිපිටදී තම මව ඝාතනයට ලක්වීම දියණියක් කෙසේ ඉවසාගෙන සිටින්නේද? මෙවැනි සංවේදී කරුණු කාරණා කාන්තාවන්ගේ ඝාතන මත රැඳී ඇත්තේය.

මෙකී සිද්ධිය හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වූ සංවේදී කථාන්දරයකි. අපි ඇයට නිර්මලා යැයි කියමු. නිර්මලා දියණියන් දෙදෙනකුගේ මවකි. ඕ හැඩකාර රූසපුවකට උරුමකම් කීවාය. නිර්මලාගේ සැමියා සරණපාලය. හේ මහා පරිමාණයෙන් කෘෂිකර්ම කටයුතුවල නිරත ගොවි මහතෙකි. සරණපාල දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටියේය. දහවල් කාලයේ දී හේන්වල හා කුඹුරුවල වැඩකටයුතු කරන සරණපාල රාත්‍රියට කටගොන්නක් බීගෙනවිත් නිර්මලා සමග අඬදබර කරගත්තේය. දියණියන් දෙදෙනා ඉදිරියේ ඇයට පහරදුන්නාය. නිර්මලාගේ දියණියන් දෙදෙනා යොවුන්වියට පත්ව සිටි කාලයේදී පවා සරණපාල බීමත්ව පැමිණ නිර්මලාට පහර දුන්නේය. පහරදීම් සම්බන්ධව පොලිස් පොතේ පැමිණිලි ගණනාවක් ලියවී තිබුණි. එහෙත් පොලිසියෙන් පවා මෙකී පවුල් ආරවුල්වලට විසඳුම් නොලැබුණි. සරණපාල දැඩි ලෙස ප්‍රචණ්ඩත්වයට පත්ව සිටියේය. ඒ විතරක් නොව සරණපාල සිය බිරිඳව දියණියන් දෙදෙනා ඉදිරියේ නොයෙකුත් වධහිංසාවලට ලක්කරනු ලැබීය.

මේ අතර කාලයේ දී දියණියන් දෙදෙනාම විවාහ වී අම්පාර ප්‍රදේශයේ පදිංචියට ගොස් තිබුණි. නිවසේ සිටියේ සරණපාල හා නිර්මලා පමණි. ඒ වනවිට මොවුන් දෙදෙනා මැදිවියේ පසුවූහ. දියණියන් දෙදෙනා යුගදිවියට පිවිස සිටියද සරණපාල විසින් නිර්මලාට සිදුකරන වධහිංසාවලින් අඩුවක් නොවීය. ඒ විතරක් නොව සරණපාල විකෘති කාම ආශාවලින් පෙළුනු අයෙකි. එක්දිනක් නිර්මලා හිටිහැටියේම රෝහල්ගතකොට තිබුණි. නිර්මලාගේ දියණියන් දෙදෙනාට ද මේ බව ආරංචි වී තිබුණි. දියණියන් දෙදෙනා මව බැලීම සඳහා රෝහලට පැමිණ සිටියහ. නිර්මලා රෝහලට ඇතුළත් වූ හේතුව දියණියන් දෙදෙනාගෙන් වසන් කළාය. නිර්මලාගේ යෝනි මාර්ගයේ වූ ප්‍රශ්නයක් නිසා ඇය රෝහල්ගතව සිටින බව දියණියන් දෙදෙනාට පසුව දැන ගන්නට ලැබුණි.

විකෘති කාමආශාවෙන් පෙළුණු සරණපාල නිර්මලාගේ යෝනිමාර්ගය තුළට කුඩා පොලු කැබැල්ලක් ඇතුළත්කොට තිබුණි. මේ නිසා නිර්මලාගේ යෝනි මාර්ගය තුවාල වී තිබුණි. පසුව එක් දියණියක් විසින් නිර්මලා රෝහලින් නිදහස් කරගෙන ඇයගේ නිවස වෙත රැගෙන යනු ලැබීය. නිර්මලා දියණියගේ නිවස තුළ සිටිනවාට සරණපාල කැමති වූයේ නැත. නිර්මලා කැඳවාගෙන යෑමට සරණපාල කිහිපවරක්ම උත්සාහ කරනු ලැබීය. එහෙත් එය සාර්ථක නොවීය. මේ නිසා සරණපාල නිර්මලා සමග දැඩි වෛරයෙන් පසුවිය. එක්දිනක් මහදහවල් දියණියගේ නිවසට පැමිණි සරණපාල දියණිය ඉදිරියේදී නිර්මලාට පිහියෙන් ඇන ඝාතනය කරනු ලැබීය. මේ එක් සිද්ධියක් පමණි. තවත් මෙවැනි සිද්ධීන් ඕනෑතරම් ඇත.

ඒ විතරක් නොව මීට වසර දෙක තුනකට පමණ ඉහතදී දෙදරු මවක් පිහියකින් ඇන ඇයගේ අනියම් සැමියා විසින් මහදහවල් ගාල්ල නගරය ආසන්නයේ දී ඝාතනයට කරනු ලැබීය. ඇය පාසලට දියණිය අරලවා යතුරුපැදියෙන් යමින් සිටියදී මග රැක සිටි අනියම් පෙම්වතා ඇය ඝාතනයට ලක්කොට තිබුණි. කාන්තා ඝාතන දෙස නිරීක්ෂණය කිරීමේ දී කාන්තාවන් වැඩි වශයෙන් ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පිහි වන අතර පොලුවලින් පහරදීම් වලින්ද කාන්තාවන් ඝාතනයට ලක්ව තිබුණි. කාන්තාවන් ඝාතනයට ලක්වූ පසු එයට සම්බන්ධ ඝාතකයන් වැඩිවශයෙන් සඳහන් කරන්නේ ක්ෂණික කෝපය නිසා තමන් එම ඝාතනය සිදුකළ බවය. එහෙත් එය ඇත්තක් නොවේ. ඇතැමුන් කාලයක් තිස්සේ එකී ඝාතනය සිදුකිරීම සඳහා සැලසුම් කරති. මුලදී පවුල් අතර මත ගැටුම් ඇතිවන අතර පසුව එය පහරදීම් දක්වා දිග්ගැස්සේ. පවුල් ආරවුල් සම්බන්ධව පොලිස් පොතේ පැමිණිලි දැම්මද පොලිසිය විසින් පවුල් ආරවුල්වලට නිසි විසඳුම් දීමට කටයුතු කරන බවක් දක්නට නැත. ඒ විතරක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කාන්තා පරිවාස, සමෘද්ධි බෞද්ධ කටයුතු සමායෝජක මෙකී නොකී නිලධාරීන් රොත්තක් සිටියද පවුල් සංස්ථාව තුළ ඇතිවී තිබෙන ගැටුම් සඳහා නිසි අයුරින් උපදෙස් ලබාදීමට හැකිවී නැත. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන මගින් පවුල් උපදේශන සේවාද පවත්වාගෙන යයි. එහෙත් කාන්තාවන්ට සිදුවන බල අපරාධ හා ඝාතනයන් අඩුවී නැත.

පොලිස් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව ඉකුත් වර්ෂය තුළදී කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ සිද්ධීන් 567න් වර්ෂය අවසන් වනවිට 355කට අදාළ විමර්ශන අවසන්ව නොතිබුණි. කාන්තාවන්ට එරෙහිව වාර්තා වී ඇති බල අපරාධ අතුරින් වැඩිම සංඛාවක් වාර්තා වී තිබුණේ ස්ත්‍රි දූෂණ වන අතර එම සංඛ්‍යාව 186කි. පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 43කි. බරපතළ තුවාල කිරීමේ සිද්ධීන් 194ක් වාර්තා වී තිබූ අතර පැමිණිලි විසඳීමේ ප්‍රතිශතය සියයට 35කි. කාන්තා ඝාතන සිද්ධීන් 55ක් වර්ෂය අවසන් වනවිට තවදුරටත් විමර්ශන මට්ටමේ පැවතුණි. මේ අනුව බලනවිට විමර්ශන කටයුතු සිදුවී ඇත්තේ ද මන්දගාමී අයුරිනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ මහත්මිය කාන්තා ඝාතන සම්බන්ධයෙන් විවිධ වූ පර්යේෂණ සිදුකොට ඇති මහාචාර්යවරියකි. ඇය 2013, 2014, සහ 2015 වර්ෂවලදී බස්නාහිර, දකුණ, නැගෙනහිර, සබරගමුව උතුරුමැද යන පළාත්වල සිදුවූ කාන්තා ඝාතන සිද්ධීන් 243ක් සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකරනු ලැබීය.

මා විසින් කරනු ලැබූ පර්යේෂණයට අනුව මෙම කාන්තා ඝාතනවලින් හරි අඩක් සිදුවෙලා තිබුණේ මහ දහවල් කාලයේදී. ඝාතනය වූ ස්ථාන වශයෙන් ගතහොත් සියයට 75ක් සිදුවෙලා තියෙන්නේ නිවෙස්වලදි. පොදු හා අනිකුත් ස්ථානවල දි. කාන්තාවන් ඝාතනය වෙලා තිබුණේ ඉතා අඩු සංඛ්‍යාවක්. මෙකී ඝාතනවලට ප්‍රධාන හේතුව තමයි නිවස තුළ දි නැතිනම් පවුල් සංස්ථාව තුළදි ඇති වූ ගැටුම්. අනික් කාරණය තමයි කාන්තා ඝාතනවලට සියයට හැටක් විතර සිදුකරලා තියෙන්නේ සැමියා, අනියම් සැමියා, පෙම්වතා හා වෙනත් පුද්ගලයෙකු විසින්. හඳුනානොගත් පුද්ගලයන් විසින් කාන්තාවන් ඝාතනයට ලක්කරලා තිබුණේ සියයට 18ක් විතර. මේ ප්‍රශ්නයට නිවස තුළ තියෙන ප්‍රශ්නය විසඳන්නේ නැතිව කුමන දේ කළත් වැඩක් නැහැ. පවුල් ප්‍රශ්න, ප්‍රේම සම්බන්ධතා, ලිංගික ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න කාන්තා ඝාතනවලට වැඩි වශයෙන් හේතුවී තියෙනවා. මෙම පර්යේෂණයට අනුව පොලිස්වලට දෙතුන් වතාවකට වඩා සියයට අටක් පැමිණිලි කරලා තිබුණා. නමුත් පොලිසිය කියන්නේ මෙම පැමිණිලි කරන්නේ දඬුවමක් දෙන්න එපා ආරක්ෂාව වෙනුවෙන් කියලා. නමුත් මේ නිසා අවසානයේ පවුල් සංස්ථාව තුළ ඇතිවූ ගැටුම් අවසන් වෙලා තිබුණේ මිනීමරුම්වලින්. ඇත්තටම මේ පිළිබඳ සමාජ විද්‍යාඥයන් විසින්ද මේ ගැන පර්යේෂණ සිදුකළ යුතුව ඇති බැව් මහාචාර්වරිය සඳහන් කළාය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා කාන්තා හිංසනයන් හා ඝාතන ගැන කීවේ මෙවැනි කථාවකි.

පවුල් සංස්ථාව තුළදී කාන්තාවන් විවිධ හේතු නිසා තාඩන පීඩනවලට ලක්වෙනවා. කාන්තාවන්ට දීර්ඝකාලයක් තිස්සේ ගෘහස්ථව සිදුවන තාඩන පීඩන මතුපිටට එන්නේ නැහැ. එසේ තාඩන පීඩනවලට ලක්වන කාන්තාවන් ආර්ථික හා සාමාජීය වශයෙන් පිරිමියා මත තමයි රඳා පවතින්නේ. ඒ නිසා පිරිමියාට එරෙහිව එවැනි කාන්තාවන්ට කටයුතු කරන්න බැහැ. කාන්තාව සියලු දේ ඉවසාගෙන සිටිනවා. අවසානයේ ඇයට සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවෙනවා. කාන්තාවගේ අසරණ තත්ත්වයත් මේ සඳහා බලපානවා. ඇතැම් පිරිමින් කාන්තාව ලිංගික වස්තුවක් ලෙස සලකනවා. ඇතැම් පිරිමින් ලිංගික අවශ්‍යතාව සඳහා පමණක් කාන්තාව උපයෝගි කරගන්නා අවස්ථාවන් තියෙනවා. එයට විරුද්ධ වන අවස්ථාවලදී පහරදීලා ඝාතනය කරපු සිද්ධීන් තියෙනවා. පිරිමි කිහිපදෙනකු අතර කාන්තාව බෙදැගැනීමට බැරිවූ අවස්ථාවලදීත් ඝාතන සිදුවෙලා තියෙනවා යැයි මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

කාන්තාවන්ට පමණක් නොව ඉකුත් වර්ෂය තුළදී (2021) ළමුන්ට එරෙහි බල අපරාධ සිද්ධීන් 3183ක් වාර්තා වී ඇති අතර ඉන් සිද්ධීන් 1876කට අදාළව විමර්ශන කටයුතු අවසන්ව නොතිබුණි. ළමුන්ට එරෙහිව වාර්තා වී ඇති අපරාධ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දූෂණ වන අතර එම සංඛ්‍යාව 1780කි. මින් විමර්ශන කටයුතු අවසන්කොට තිබුණේ සියයට 44කි. අපහරණය සම්බන්ධයෙන් සිද්ධීන් 611ක් වාර්තා වී ඇති අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 30කි. බරපතළ ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් සිද්ධීන් 580ක් වාර්තා වී තිබූ අතර විසඳීමේ ප්‍රතිශතය සියයට 43කි. අපරාධ විසඳීමේ ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පැවතුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment