පසුගිය රජය රටින් ගෙනාපු කිරිදෙනුන්ගෙන් කිරි ලීටර් 20 ක් ගන්න පුළුවන් කිව්වත් ලැබුණේ 8 යි

245

යළිත් වරක් කිරි ගවයන් ගෙන්වීම මුදල් නාස්තියක් – විශ‍්‍රාමික කෘෂිකර්ම නිලධාරී ගුණපාල විතාරණ

පසුගිය රජය රටින් ගෙනාපු කිරිදෙනුන්ගෙන් කිරි ලීටර් 20 ක් ගන්න පුළුවන් කිව්වත් ලැබුණේ 8 යි
ගුණපාල විතාරණ මහතා

යළිත් වරක් කිරි ගවයින් පිටරටින් ගෙන ඒමට ගෙන ඇති තීරණය අනිවාර්යයෙන්ම මුදල් නාස්තිවන නිෂ්පල ක‍්‍රියාවක් බව රජයේ ගොවිපළ කිහිපයක කළමනාකරු ලෙස සේවය කර ඇති සත්ත්ව නිෂ්පාදනය පිළිබඳ නෙදර්ලන්තයේ ඩිප්ලෝමාධාරියකු වන විශ‍්‍රාමික කෘෂිකර්ම නිලධාරී ගාල්ලේ ගුණපාල විතාරණ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ යළිත් වරක් කිරි ගවයන් 2500 ක් ගෙන ඒමට තීරණය කර ඇති බවට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද ප‍්‍රකාශය පිළිබඳ අදහස් දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ගුණපාල විතාරණ මහතා මෙසේද පැවසීය.

”මම අඹේවෙල, බෝපත්තලාව, පොළොන්නරුව, රජයේ ගොවිපළවල කළමනාකරු හැටියටත්, සත්ත්ව පාලන නිලධාරී හැටියටත් සේවය කළා.

කිරි ගවයන් ගෙන්වීම වෙනුවට කළ යුත්තේ කෘතිම සිංචන ටියුබ් ගෙනැවිත් අභිජනනය කිරිමයි. එම ටියුබයක් රුපියල් හයදහස් පන්සීයක් වැනි මිලක් වෙනවා. දෙදහස් තුන වසරේ සිට අඹේවෙල ගොවිපල ඉතාමත් විශිෂ්ඨ සත්ව පාලන ව්‍යාපාරයක් කරගෙන යනවා. සතුන් අභිජනනය කරනවා. එංගලන්තය, ඩෙන්මාර්කය, නවසිලන්තය වැනි සත්ත්ව නිෂ්පාදනය දියුණු රටවල් පවා කෘතිම සිංචන මගින් අභිජනනය කරනවා.

පසුගිය රජයෙන් මේ ක‍්‍රමවේදය අනුගමනය නොකර ඔස්ටේ‍්‍රලියාවෙන් ජර්සි වර්ගයේ කියල කිරි ගවයින් විසිදහසක් ගෙනාවා. හැබැයි ඒ නියම ජර්සි නොවෙයි. එම දෙනුන්ගෙන් කිරි ලීටර් විස්සක් ගන්න පුළුවන් කිව්වට ලැබුණෙ ලිටර් අටයි නැත්නම් දහයයි.

අවාසනාව නම් එසේ ගෙනාපු කිරි ගවයින් සියල්ලම මේ වනවිට මැරිලා. එනිසා මෙවර රජය කරන්න යන්නෙත් නොකළ යුතු ක‍්‍රියාවක්. මා මුලදි කිව්ව වගේ දැන් ලෝකයේ රටකින් තවත් රටකට බෝ කිරීම සඳහා සතුන් ගෙන යන්නේ නැහැ. හොඳම ක‍්‍රමය නම් කෘතිම සිංචනයයි.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment