පසුගිය වසරේ ලක්‍ෂ තුනක් විදෙස් රැකියාවන්ට ගිහින් – ඇමැති මනූෂ නානායක්කාර

85

මේ වසරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්‍ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් පෙරේදා (18දා) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300-400 අතර ප්‍රමාණයක් වූවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසු එක් මසකට ශ්‍රී ලාංකිකයන් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසයි. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එය 76,579 කි. කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයන් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත. විදේශ රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කීවේය. විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය. විදේශ ගතවන ශ්‍රමිකයාට ගුවන් තොටුපොළේදී පිළිගැනීමක් ලබාදීම සඳහා Hope Gate නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා පැවැසීය. තවද ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන්(Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment