පසුගිය වසර නවයට ඩොලර්  බිලියන 45ක් රටින් පිට කරලා

222

– ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර

උත්තර ලංකා සභාගය ජනගත කළදා


ජනතාවට බර දරා ගන්න කියා වසර 9ක් තුළ යම් පිරිසක් ඩොලර් බිලියන 45ක් අයථා ලෙස රටින් පිට කරලා. ජාත්‍යන්තර වාර්තාවක සඳහන් කර තියෙනවා යැයි ප්‍රජාතන්ත්‍රාවදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

පසුගිය වසර නවයට ඩොලර්  බිලියන 45ක් රටින් පිට කරලා

ඒ මහතා මේ බව කියා සිටියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුව විසින් පිහිටුවා ගනු ලැබූ උත්තර ලංකා සභාවට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

රටේ මුදල් අර්බුදයක් ඔක්කෝමලා කැප කරන්න ලෑස්ත්ති වෙන්න ඕන කියනවා. බදු ගෙවන්නෙ කොහොමද? අපි ගෙවනවා බදුවලින් සියයට අසූපහක්. ඉහළම පන්තිය ගෙවනවා බදුවලින් සියයට පහළොවක්. බර අදින්න කියන්න එපා. ඒ ගොල්ලන් තමයි සංවර්ධනයේ මැෂිම අපි ඇණ මුරිච්චි.

අපිට බර දාන්න පුළුවන්. අපිට හැම දේකම බර දරාගන්න බැහැ. විශේෂයෙන් කියන්න ඕන ග්ලෝබල් ෆයිනෑන්ස් ඉන්ටෙගැරිටි රිපෝට් කියලා 2020/2021 පළවුණා. ඒ වාර්තාවෙන් කියනවා ලංකාවෙන් අවුරුදු 9ක් ඇතුළත මෑත කාලයේ ඩොලර් බිලියන 45ක් අයථා ලෙස රටින් පිටවෙලා කියලා. ඇයි හැම ආණ්ඩුවම ධනපති පන්තිය හුරතල් කළා.

උත්තර ලංකා සභාගයේ සභාපති ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,

නව උත්පත්තියක්, නව තත්ත්වයක් බිහිකරමින් සිටින වෙලාවක සමහරු හදනවා ඒ නව උත්පත්තිය ගබ්සා කරන්න. ඒ නව උත්පත්තිය ගබ්සා කරලා පැරණි උත්පත්තියම පවත්වාගෙන යන්න.

හැම තැනම තියෙන්නේ බිඳ වැටීමක්. රාජ්‍ය ආයතනවලට අලුත් තාක්‍ෂණික ක්‍රමවේද හඳුන්වා දෙනවා. සතියක් යනකොට ඒවා කඩනවා. ගුවන් තොටුපළේ සීසීටීවී සවිකරන්න හදනකොට රේගුවේ සමහරු ඒකට විරුද්ධ වෙනවා. ඒ නිසා ඒවා සවි කරන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ පරණ මානසිකත්වය වැරදි දේට වැට බඳින එකට වළ කපන මානසිකත්වය. වැරදි දේ වැරදි හැටියට දැකලා වළක්වන්න ගන්න උත්සාහය නතර කරන මානසිකත්වය. ඒ මානසිකත්වය ඇතුව මේ රටට කොහෙත්ම ඉදිරියට යන්න බැහැ. අද මේ රටට ඕනේ වැරදි දුටුවිට නිවැරදි කරන්න පුළුවන් දේශපාලන නායකත්වයක්. දේශපාලන බලවේගයක්. වැරදි එක්ක හුරතල් වෙන දේශපාලන බලවේගයක් නොවෙයි.

ලොකු පක්‍ෂ ඉන්න සභාගවල අපි හිටියනේ. ඒගොල්ලන්ට අනුව අපි මේ පොඩි පක්‍ෂ. මහත්වරුනි සැප්තැම්බර් 4 දිනය මතක තියා ගන්න. පටන් ගත්තු වැඩේ ඉවරකරන කොට ලොකු කට්ටිය චුට්ටි කරලා චුට්ටි කට්ටිය ලොකු කරන්නේ මේ රටේ ජනතාව. පොදු ජනතාවගේ සිත් සතන් ඇතුළේ ඒ අභියෝගය අපි භාර ගන්නම්.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

2019 මෙතැන ඉන්න හැමෝම එකතුවෙලා හැදුව මහා දැවැන්ත සභාගයක්. මෙතැන ඉන්න නායකයෝ ඔක්කොම එකට අස්සන් තැබුවා. ජනතාව පැතුම් පොදි බැඳගෙන ලක්‍ෂ හැටනවයක මහ ජනවරමක් භාර දුන්නා. අපේ වචන විශ්වාස කරපු මහජනතාවගේ සිහින සැබෑ කරන ජනතාව දුකෙන් මුදවා ගන්න අපි හැමෝම දකින සිහින රාජ්‍යය බවට ලංකාව පත් කරන ආණ්ඩුවක් හැදුවා කියලා අපි හිතුවා. නමුත් මිත්‍රවරුනි ජනතා න්‍යාය පත්‍රය පැත්තකට දාලා පුද්ගලික න්‍යාය පත්‍ර පවුලේ න්‍යාය පත්‍ර ඉදිරියට අරන් ඇවිල්ලා ඔබෙත් අපෙත් සිහින පැතුම් බලාපොරොත්තු සියල්ල මේ නායකයන් පොඩි පට්ටම් කරල දැම්මා. ගමන අතරමඟ නතර වුණා කියලා පෙණුනත් නැග්ග බස් එක වැරදුනා විතරයි. අපි බස් එකෙන් බැස්සා. ඒත් අපේ ගමන අපි යනවා කියන එක අපි බය නැතුව ප්‍රකාශ කරනවා.

අපි අද උජාරුවට කාල බීලා ඉන්නේ අපේ ආදරණීය දරුවන් මත බර පටවන්න. අපේ දරුවන් උගසට තියලා අපි කාල බීලා ඉන්නේ. අපි සැබැවින්ම දරුවන්ට ආදරේ දෙමවුපියන් නම් අපේ දරුවන් උගසට තියලා කාල බීලා උජාරුවට ඉන්න අපිට පුළුවන්ද, අපේ ප්‍රශ්නය ණය බරින් මිරිකීම නම් අපේ ප්‍රශ්නය ජාතික ආදායමෙන් 145% දක්වා ණය බර වැඩිවීම නම් උත්තරය ණය ගැනීම වෙන්නෙ කොහොමද?

අපි අලුත් යුගයකට පා තබනවා. සිංහලයනි වරල්ලා දමිළයින් වරෙල්ලා, මුසල්මානුවනි වරෙල්ලා වාද භේද පසෙක තබා වරෙල්ලා. මේ ගිනි ගන්නේ ඔබටයි මටයි අපි හැමෝටම තියෙන එකම රට. මේ රට ඇර අපිට යන්න තැනක් නෑ. මේ රටේ ගිනි නිවන මං සෙවීමේ වගකීම අපි අද සෑම කෙනෙක්ගේ උරය මත තියෙනවා. ඒ නිසා ප්‍රශ්න ගැන කතා කරන එක පැත්තක තියල ප්‍රශ්නවලට උත්තර හොයන්න ඒ උත්තර මහ පොළොවේ පැළ කරන මේ දේශපාලන ව්‍යාපාරයේ ජීවමාන සක්‍රීය සාමාජිකයෙක් වන ලෙස සමස්ත ජාතියට ම ආයාචනා කරනවා.

ස්වාධීන පක්‍ෂ 11 එකමුතුවේ සෙසු නායකයන් ද මෙහිදී අදහස් දැක්වූහ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment