පහන්තුඩාව (රට ලොක්ඩවුන් අතරේ පටන්ගත් අලුත්ම සුළු කර්මාන්තය)

441

ජපානයේ හොන්ඩා සමාගම හෝ කවසාකි සමාගම තමන්ගේ මෝටර් බයික්වල කොටස්වලින් වැඩි හරියක් තම සමාගමේ කර්මාන්ත ශාලාවේ සාදන්නේ නැත. ඔවුහු ඒවා නිපදවීම කුඩා කර්මාන්තකරුවන්ට භාර කරති. එය හඳුන්වන්නේ Out Source කිරීම ලෙසය. බයික්වල ඇණ, මුරිච්චි, බුෂ්, පෙට‍්‍රල් ටැංකිය යනාදිය ඒ රටේ සුළු කර්මාන්තකරුවෝ කොන්ත‍්‍රාත් ක‍්‍රමයට නිපදවති. ජපානයේ ගැමි ගෙවල්වල පිටි පස්සේ කාමර එකක හෝ දෙකක බයික් බඩු හදන කුඩා කම්හල් ඇත. මේවා හඳුන්වනු ලබන්නේ Cottage Industries ලෙසය. දැනට ඒ ටික මතක තබා ගන්න. ඉතිරිය මෙසේය.

බ්ලූ ෆිල්ම් හෙවත් අමු අමුවේම කාමය මුදාහරින චිත‍්‍රපට නිපදවා අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රදර්ශනය කරන වෙබ් සයිට් දස දහසකට වඩා ලෝකයේ තිබේ. මේ වෙබ් සයිට් වලින් තිහ හතළිහක් පමණ ශ‍්‍රී ලංකාවේ සයිබර් අවකාශය පරිහරණය කරන අන්තර්ජාල ප‍්‍රජාව අතර ජනප‍්‍රියව ඇත. ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල ප‍්‍රජාව ඉතා බහුල ලෙස පරිහරණය කරන අංග දෙකක් තිබේ. ඉන් පළමුවැන්න සෝෂල් මීඩියා යටතේ එන ෆේස්බුක් ය. දෙවැන්න යූ ටියුබ් ය. ලෝකයේ තිබෙන සියලූම කුණුහරුප වෙබ් සයිට් ස්වකීය වල් චිත‍්‍රපට මුදා හරින්නේ යූ ටියුබ් චැනල් හරහා ය. බ්ලූ ෆිල්ම් හැදීම වියදම් අධික කාරණයක් වීමට පටන්ගත් කල්හි ඉහත සඳහන් කුණුහරුප වෙබ් සයිට්කාරයෝ බ්ලූ ෆිල්ම් සෑදීම Out Source කිරීමට පියවර ගත්හ.

මේ අනුව ඕනෑම කෙනකුට බ්ලූ ෆිල්ම් එකක් නිපදවා එම වෙබ් සයිට් වලට විකිණිය හැකිය. ජපානයේ ගෙවල් පිටිපස්සේ කුඩා කාමරවල මෝටර් බයික් කොටස් සාදන්නාක් මෙන් ආසියාවේ රටවල් ගණනාවක ජනයා කුඩා ඩිජිටල් කැමරා හෝ ස්මාර්ට් ෆෝන් යොදාගෙන බ්ලූ ෆිල්ම් සාදා ඉහත සඳහන් සයිට් වලට විකිණීමට පටන්ගෙන තිබේ. මේ රටේ යුවළක් හෙවත් අවුරුදු 25 ක තරුණියක් සහ අවුරුදු 36 ක කැමරා ශිල්පියකු එක්වී බෙලිහුල්ඔය පළාතේ පහන්තුඩාව නමැති දිය ඇල්ල අසලදී නිපදවන ලද බ්ලූ ෆිල්ම් එකක් මේ දිනවල අන්තර්ජාලය කළඹා ඇත.

නිෂ්පාදන වියදම් අඩුකර ගැනීම සඳහා හෙවත් නළු නිළියන්ට ගෙවන ගාස්තුව ඉතිරිකර ගැනීම සඳහා ඉහත සඳහන් බ්ලූ ෆිල්ම් එකේ නළුවා සහ නිළිය ලෙස පෙර කී යුවළම පෙනී සිටිති. බ්ලූ ෆිල්ම් නිෂ්පාදනය කිරීම ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව තහනම් ය. ඒ නිසා ඉහත සඳහන් යුවළ දැනටමත් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස ලැබ සිටිති. මේ යුවළ පසුගිය කාලයේදී මෙවැනි චිත‍්‍රපට 40 ක් පමණ කුණුහරුප වෙබ් සයිට් වලට විකුණා ඇත. මෙය ඉතා පහසු ආදායම් මාර්ගයකි. එහෙත් මෙයින් වන සමාජ හානිය අපමණය. අප මේ කතුවැකිය ලියන්නේ පටු සදාචාරවාදී පරමාර්ථ වෙනුවෙන් නොව බ්ලූ ෆිල්ම් නැරඹීමේ අනර්ථය පැහැදිලි කරදෙනු පිණිසය. මේ පුවත්පත ප‍්‍රතිපත්තියක් වශයෙන් ලිංගිකත්වයට එරෙහි නැත. ලිංගිකත්වය යනු ප‍්‍රජාවගේ පැවැත්ම උදෙසා ස්වභාවධර්මය විසින් හඳුන්වා දෙන ලද ක‍්‍රමෝපායයකි. එහෙත් මේ පුවත්පත බ්ලූ ෆිල්ම් වලට විරුද්ධය.

බ්ලූ ෆිල්ම් නැරඹීමට ඇබ්බැහි වන එකා මතු අනාගතයේදී ස්ථිර වශයෙන්ම විකෘති ආසාවන් සහිත අයෙක් බවට පත්වෙයි. මේවා චිත‍්‍රපට පමණක්ම බවත් ගානක් කපා ගැනීම සඳහා රූපගත කර අන්තර්ජාලයට මුදාහරින ලද වෙළෙඳ භාණ්ඩ බවත් ඒවා බලන එකා නොදනී. ස්මාර්ට් ෆෝන් නිසා මේ රටේ අන්තර්ජාල ප‍්‍රවේශය ඉතාම පහසු වී තිබේ. ගෙදර සිට ස්මාර්ට් ෆෝන් එක හරහා ඔන් ලයින් පංතියට සහභාගි වන දරුවකුට විවේක කාලයේදී ඒ ස්මාර්ට් ෆෝන් එකෙන්ම බ්ලූ ෆිල්ම් එකක් නැරඹිය හැකිය. වැඩිදෙනා නොදන්නවාට කුණුහරුප වෙබ් සයිට් සිය ගණනක මේ රටේ තරුණ තරුණියන් රඟපාන බ්ලූ ෆිල්ම් 2000 ක් පමණ තිබේ.

Fire Wall නමැති තාක්ෂණික උපක‍්‍රමය යොදා පෙරකී කුණුහර්ප වෙබ් සයිට් වාරණය කිරීමට ක‍්‍රියාකළ හැකි වුවද Proxi නමැති තවත් උපක‍්‍රමයක් යොදා ඒවා නැරඹිය හැකිය. බ්ලූ ෆිල්ම් නමැති සාධකය මෙයට අවුරුදු 50 ට පෙරත් මේ රටේ තිබුණු නමුත් අන්තර්ජාලය නොතිබූ බැවින් විනාශකාරී සාධකයක් ලෙස ජනතාව අතරට ගමන් කළේ නැත. මෙයට අවුරුදු 50 ට පෙර බ්ලූ ෆිල්ම් පෙන්වන ලද්දේ කුඩා ප්‍රොජෙක්ටර් යන්ත‍්‍ර යොදාගෙන ගංජා කාමර තුළය.

 මේ ගංජා කාමර වලට පොලිසිය පැනීමෙන් පසු මනරම් දර්ශනයක් දැකබලා ගත හැකිය. එනම් එකෙක් ප්‍රොජෙක්ටරය හිස මත තබාගෙන පාර දිගේ ගමන් කරයි. ඔහු පිටුපසින් චිත‍්‍රපටයේ පිටපත අයිතිකරු එය ඔළුවේ තබාගෙන ගමන් කරයි. ඊළඟට පෝලිමේ ගමන් කරන්නේ නරඹන්නන්ය. පොලිසියට යන අතර දිගටම ඔවුන්ට පහරදෙනු ලැබේ. විවෘත ආර්ථිකය මෙරටට පැමිණීමෙන් පසු මේ ක‍්‍රියාවලියේ උපකරණ පමණක් වෙනස් විය.

ඒ අනුව මුලින්ම යන්නේ ටී වී එකක් ඔළුව උඩ තබාගත් මහත්මයෙකි. වීඩියෝ ප්ලේයරයක් හිස මත තබාගත් තවත් මහත්මයෙක් ඔහු පසුපසින් එයි. තුන්වැන්නා වූ කලී බ්ලූ ෆිල්ම් තිබෙන වීඩියෝ කැසට්වල හිමිකරුය. පොලිසියේ අණ පරිදි ඔහු ඒවා එක පිට එක හිස මත තබාගෙන යයි. සෙස්සෝ නරඹන්නෝය. පොලිසියට යන තුරු රාළහාමිලා මේ පිරිසට මග දිගටම නෙළති. අද මේ කරදර කිසිත් නැත. අතේ ඇති ස්මාර්ට් ෆෝන් එක හරහා බ්ලූ ෆිල්ම් බැලිය හැක. පොලිසියත් නැත. පොලිසියට ගෙන යෑමකුත් නැත. එබැවින් මහා පාරේ පෝළිමේ ගමන් කිරීමක් ද නැත. අවසන් පලය වන්නේ තවත් පහන්තුඩාවල් දහස් ගණනක් එළියට ඒමය.
 

advertistmentadvertistment
advertistmentadvertistment