පහරදී ඝාතනය කළ මළ සිරුරක් මහනුවර පන්සලකින් හමුවේ

179

දරුණු ලෙස පහර දී ඇති බවට සැක සහිත මළ සිරුරක් මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ ගරාජයේ තිබී මහනුවර පොලිසිය විසින් ඊයේ (7දා) සොයා ගෙන තිබේ.

මියගිය පුද්ගලයා පිං කැටයක් කැඩීමට පැමිණි බවට සැක කළ හැකි සාධක පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ. පුද්ගලයෙකුට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පහර දී ඇති බවත් එලෙස පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් කවුරුන්ද යන්න විමර්ශනය කරමින් සිටින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටින බවත් පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි චමිල සුධීර රත්නායක (43) නැමති හිටපු යුද හමුදා සෙබළකි.

මියගිය පුද්ගලයා විහාරස්ථානයට පැමිණි බවට සැක කරන යතුරුපැදියක් සහ පොලිස් යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇල වූ හෙල්මටයක් ගරාජයේ තිබී පොලීසියට හමුවී ඇත.

විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයාට පුද්ගලයින් කිහිපදෙනෙකුම ඉතා දැඩි ලෙස පහර දී තිබෙන බවට මියගිය පුද්ගලයාගේ ශරීරයේ දක්නට ලැබෙන තැලීම් තුවාල වලින් තහවුරු වන බව පොලීසිය පවසයි.

මෙම පුද්ගලයා අලුයම 3.30 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවට තොරතුරු අනාවරණය තිබේ. අත්පා ලණු වලින් ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරුම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානය මගින් පොලීසිය දැනුවත් කර නැති බව දැන ගන්නට තිබේ.

විහාරස්ථන පරිශ්‍රයේ පොලිස් මුරපොළක් ද ක්‍රියාත්මක වුවද එහි සේවයේ නියුක්තව සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියෙකු පොලීසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයන් කිහිපදෙනෙකු තවත් අයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමි ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීම මත පොලිස් අධිකාරී එන්. ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරු ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.

සමන්තී වීරසේකර, ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment