පහරදුන් මැරයන් හඳුනාගන්න පෙරට්ටුවට ගිය සිසුන් 3 ක් පොලිසියෙන් අල්ලලා

335

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ‍්‍රයේ ඉකුත් 2 දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට අනුබල දී මැදිහත් වූවැයි සැකපිට වෛද්‍ය පීඨයේ තවත් සිසුන් තිදෙනකු ඊයේ (03 දා) සවස රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන සිටි සිසුන් තිදෙනා ඊයේ (03 දා) සවස කඩිමුඩියේ වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත‍්‍රාත් හේෂන්ත ද මෙල් මහතා විසින් ඇප ලබා දීමට නියෝග කළේය.

මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට සිටි වෛද්‍ය සිසුන් තිදෙනාම වෛද්‍ය පීඨයේ ගැටුම සම්බන්ධයෙන් වැලිසර අධිකරණය ඉදිරියට පමුණුවා සිටි සැකකරුවන් 06 දෙනා හඳුනාගැනීම සඳහා පැවැති පෙරට්ටුවකට සහභාගිවූවන් වීම විශේෂත්වයකි.

එම සිසුන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර සිටි අවස්ථාවේ රාගම වෛද්‍ය විදුහලේ පීඨාධිපති මහාචාර්ය ජානකි හේවාවිසන්ති මහත්මිය ඇතුළු වෛද්‍ය සිසුන් විශාල පිරිසක් උසාවි භූමියේ රැුඳී සිටිනු දක්නට ලැබිණි.

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ජාතික සංගමයේ සංවිධායක අසෝක රන්වල මහතා කියා සිටියේ සමහර දේශපාලනඥයන්ගේ පූර්ණ ආශීර්වාදය හා රැකවරණය මැද රාගම වෛද්‍ය පීඨයේ සිදු කළ මැර ප‍්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය නීතිය හරියටම කි‍්‍රයාත්මක කළා. ඒ ගැන ගැටලූවක් නැහැ. ඉදිරියටත් අපි ඒ අයුරින්ම සාධාරණය බලාපොරොත්තු වනවා යනුවෙනි.

රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකි හේවාවිසන්ති මහත්මියගෙන් උදාවී ඇති තත්ත්වය පිළිබඳව විමසා සිටීමේදී ඇය පැවසුවේ රාගම වෛද්‍ය පීඨය තුළ සිදුවූ ගැටුම අධිකරණය දක්වා ගොස් ඇති නිසා ඒ පිළිබඳව වැඩි යමක් පැවසිය නොහැකි බවයි.

බී. ටී. කේ. – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment